වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි

සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03 සාමාන්‍ය සංචාරකයන් වීම ගැටලුවක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී අපට වඩාත් වැදගත් වන්නේ පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවට වඩා ඔවුන් මේ රට තුළදී වැයකරන මුදල් ප්‍රමාණය බැවින් ඊට සාපේක්ෂව ඔවුන්ට අවශ්‍ය සත්කාරක සේවා ඉහළ ප්‍රමිතියකින් යුතුව සැපයීමට අප සූදානම් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පසුගියදා කොළඹ ෂැන්ගි්‍රලා හෝටලයේ පැවැති හෝටල් සංසදයේ 53 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් පළකරමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් පළමුව අපි සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගතයුතු වෙනවා. ඒ සඳහා තිබෙන බාධාවන් හඳුනාගනිමින් ඒවා අවම කිරීමටත් කටයුතු කළයුතු වෙනවා.

අපේ දේශීය ගුවන් සමාගම ගැන අපි බලවත් අවධානයක් යොමුකර තිබෙනවා. මීට බොහෝ කලකට පෙර තොණ්ඩමාන් මහතා සංචාරක අමාත්‍යවරයාව කටයුතු කරනවිට ඔහු ඇසුවේ අප මුල්තැන දිය යුත්තේ ශ්‍රී ලංකාවටද එසේත් නැතිනම් ශ්‍රී ලන්කන් සමාගමටද කියායි. එතුමා එදා මතුකළ කරුණ නිවැරදි බව දැන් අපට තේරෙනවා. අප මුල් තැන දිය යුත්තේ ශ්‍රී ලංකාවටයි. ඒ නිසා අපි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පත් කිරීමට අදහස් කරනවා. හොඳ ගුවන් යානා මිලදී ගැනීමට, වඩාත් යහපත් සේවාවන් සැපයීමට, එහි කළමනාකාරිත්වය හා පරිපාලනය ඉහළ නැංවීමට ක්‍රියාකළ යුත්තේ රටට බරක් නොවන ලෙසටයි.

අපගේ අභ්‍යන්තර ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. මඩකළපුව, පලාලි ආදී අභ්‍යන්තර ගුවන් ගමනාන්ත ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ ස්වාධීනව කටයුතු කරන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් වීමත් සමඟ ඒ ආශි්‍රතව ඇතිවන බොහොමයක් ක්‍රියාකාරකම් ඔස්සේ ගුවන්තොටුපොළ ප්‍රවර්ධනය කිරීමට අපට හැකිවෙනවා.

අනෙක් කාරණය තමයි කර්මාන්තයක් වශයෙන් ගත් විට අපේ සංචාරක කර්මාන්තය තව තවත් දියුණු කිරීමට ඇති හැකියාව වැඩියි. අපි සමස්තයක් ලෙස ඔබව අපනයන අංශයක් ලෙස සලකනවා. ඒ වුණත් මේ කර්මාන්තය නිරන්තර වෙනස්වීම්වලට ලක්වන කර්මාන්තයක්. මීට කලකට ඉහතදී, එනම් 19 වැනි සියවසේ අගභාගයේදී පමණ අපි මේ කර්මාන්තයේ පෙරමුණ ගත්තා.

මොකද කියනවා නම් අපිට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෝල්ෆේස් හෝටලය, ගල්කිස්ස හෝටලය, ක්වීන්ස් සහ ග්‍රෑන්ඩ් වැනි දැවැන්ත හෝටල් තිබුණා. නමුත් අද මේ කර්මාන්තය හෝටල්වලින් පමණක් ගෙනියන්න අමාරුයි. ඒ යුගය දැන් ඉවරයි. අද වන විට ඉඳුම් හිටුම් සේවා අංශයේ පෙර නොවූ විරූ විකාශනයක් ඇති වෙලා තිබෙනවා. අධික මිල මුදල් වියදම් කොට සුවපහසු කාමර වෙන්කරවා ගැනීමට සංචාරකයන් අද පෙලඹී තිබෙනවා. ඩොලර් විසිපහක් වියදම් කරලා කාමරයක් වෙන්කරගන්න සංචාරකයන් වගේම ඩොලර් දෙදහසක් වියදම්කරලා කාමරයක් බලාපොරොත්තුවෙන අයගේත් යන දෙගොල්ලන්ගේම ඉල්ලීම් ඉටුකිරීමට ඔබ සූදානම් වෙන්න වුවමනායි.

කොහොම වුණත් ඩොලර් දෙසීයක් හෝ ඊට වැඩි මුදලක් කාමරයකින් අයකරගන්න පුළුවන් මට්ටමේ හෝටල් පහසුකම් පවත්වාගෙන යන්න ඔබ උත්සාහ කළයුතු වෙනවා.

අපි කොහොමද අපේ රටේ වෙළෙඳකටයුතු ප්‍රවර්ධනය කරන්නෙ? ඒ සඳහා අපි ඔබට ලබාදෙන දිරිගැන්වීම් මොනවාද? පළමුවැන්න වශයෙන් ඔබගේ වාණිජ සැලැස්ම සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව අලෙවි කටයුතු සිදුකිරීම දැන් ඔබට භාරයි. ඔබ වැඩි වශයෙන් ඉන්දියාව තුළ අපේ රටෙ ප්‍රවර්ධනය කළ යුතු බව මම හිතනවා. ඉන්දියාව ඔබගේ අසල්වැසි රට බවට පත්ව තිබියදීත් ඔබ ප්‍රමාණවත් තරම් ඔබගේ රටේ වෙළෙ¼දාම ඉන්දියාව තුළ ප්‍රවර්ධනය නොකරන බව ඉන්දීය අගමැති මෝදි මැතිතුමා මා සමඟ පැවසුවා.

අද බොහොමයක් සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ ඉන්දියාව, චීනය වගේම සිංගප්පූරුව, තායිලන්තය වැනි ආසියාන් සාමාජික රටවලවලින් වගේම මැදපෙරදිග රටවල්වලින්. ඔබ මතක තබාගත යුතු වැදගත් කාරණය තමයි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කියන්නේ හෝටල් කාමර අලෙවි කිරීම පමණක් නොවන බව. ඇත්තටම ඔබ කළ යුත්තේ මේ ක්ෂේත්‍රය තුළ නව අත්දැකීම් අලෙවිකිරීමක්. අනුරාධපුරය වැනි ප්‍රදේශයක සංචාරකයන් එක් රැයක්වත් නවතින්නේ නෑ. එහි ඇති ඓතිහාසික වටිනාකම සලකා බලද්දී අඩු තරමින් රෑ තුනක්වත් ගත කිරීමට පසුබිම සැකසිය යුතුයි. මේ ගැන අප අලුතින් සිතා බැලිය යුතුයි.

මෙහිදී තවත් වැදගත් කාරණයක් සිහිපත් කරන්නම්, ඔබ විසින් හෝටල් කාමර ඉදිකිරීමට පළමුව හෝටල් පාසල් ඇති කළ යුතු වෙනවා. ඔබ ඒ සඳහා පළමු පියවර තබන්නේ නම් හෝටල් සංවර්ධනය කිරීම සඳහා ලබාදෙන දිරිගැන්වීමට සමාන දිරිගැන්වීමක් හෝටල් පාසල් සඳහා ලබාදීමට මම සූදානම්.

එසේ නම් අපි සැවොම එක්ව මේ අරමුණ මුදුන් පමුණුවා ගන්න කටයුතු කරමු. සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් එක්කරමින්, අපගේ සේවාවන් තව තවත් ගුණාත්මකව වැඩිදියුණු කිරීමට කටයුතු කරමු. එහිදී රජයක් ලෙස ඔබ දිරිගැන්වීමට සහ අවශ්‍ය සහාය ලබාදීමට අප සූදානම්.

මේ අවස්ථාවේ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මැතිතුමා මා සමඟ පැවසූ අදහසක් සිහිපත් කරන්න කැමැතියි. “සාර්ථක සංචාරක කර්මාන්තය හරියට දක්ෂ ගැටකපන්නකු වගෙයි.” එයින් අදහස් කරන්නේ සංචාරක කර්මාන්තය තුළ අප ලබාදෙන සේවාවන් හරහා ඔවුන් නොදැනම ඔවුන්ගේ මුදල් අප රට තුළ වියදම් කරන්නට සලස්වනවා යන්නයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *