ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි අනතුරක! ICCයෙන් රතු නිවේදනයක්!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය ඉරිදා (සැප්.30) තමන් හමුවූ බවත්, ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා සම්බන්ධව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉතාමත් භයානක තත්ත්වයක පවතින බව ඇලෙක්ස් මහතා පැවැසූ බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි.

තවද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මාෂල් මහතා තමන් පමණක් නොව මෙරට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාද හමුවූ බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ තවත් පැනයන්ට පිළිතුරු දෙමින් “ක්‍රිකට් ක්‍රීඩාව කරන ප්‍රධාන රටවල් 12 දෙස බලන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් අයහපත් කියලා මාෂල් මහතා මා සමඟ ප්‍රකාශ කළා. ඒ වගේම මම ඔහුගෙන් ඉල්ලීමක් කළා අපේ රටේ නීති රාමුව හා දූෂණ මර්දන ඒකකය දියුණු තත්ත්වයට පත්කරන්න. ඔවුන්ගේ නිලධාරීන් දෙදෙනක් මෙහාට එවලා මාස 6ක පුහුණුවක් ලබා දීලා අපිට උදවු කරන්න කියලා. ක්‍රිකට් තරග පාවා දීම සම්බන්ධව සොයා බලා කටයුතු කරන්න අපේ රටේ නීතියක් නැහැ. ඒ සඳහා නීති රාමුවක් අපි සකස් කරගත යුතුයි” යනුවෙන් කීය.

එබැවින් ක්‍රිකට් දූෂණයන් පිළිබඳව මෙරට තුළ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අයි.සී.සී.යේ තාක්‍ෂණික සහාය අවශ්‍ය වන බවද කී ක්‍රීඩා අමාත්‍යවරයා, “අපේ ටෙස්ට් තත්ත්වය හෝ එක්දින තරගවල අයි.සී.සී. තත්ත්වය නැති කිරීමේ අවදානමක් පිළිබඳව අයි.සී.සී. යේ නිලධාරීන් මා සමඟ සාකච්ඡාකළේ නැහැ. ඕනෑම කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. දූෂණය නිවැරදි කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරමු” යැයිද පැවැසීය.

මේ අතර ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් පවසා සිටින්නේ තම කණ්ඩායම අදාළ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින බවත්, තමන් වෙත ලැබුණු ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමු වී තම කණ්ඩායමේ විමර්ශන කටයුතු පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළ බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත්, මෙම විමර්ශන කටයුතු කිසිසේත්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් සංචාරයට අදාළ නොවන බවත් මාෂල් මහතා එම නිවේදනය මඟින් අවධාරණය කර සිටී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම් දෙකම හමු වී ඉදිරි දිනවලදී ඔවුන්ට තරග දූෂිතයන්ගෙන් ප්‍රවේශම් වී කටයුතු කරන ලෙස දන්වා සිටින ලෙස කරුණු පහදා දීමට බලාපොරොත්තු වෙනවා.

යැයිද කියා ඇති ඇලෙක්ස් මහතා “අපේ විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නීති නිලධාරියා ඇතුළු සියලුම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලැබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දයත් තවමත් පවත්වා නොමැති තත්ත්වයකයි තිබෙන්නේ” යනුවෙන් සඳහන් කර ඇත. තවද ඊයේ අප වෙත වාර්තා වූ පරිදි විමර්ශන කටයුතුවල යෙදී සිටින අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ හිටපු වමත් වේගපන්දු යවන්නකු භාවිත කරන ලද ජංගම දුරකථනයක්ද ඔවුන්ගේ භාරයට ගෙන ඇතැයිද පැවැසේ.

එමෙන්ම මෙම පරීක්ෂණය කලකට පෙර ආරම්භ කළ එකක් බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත තරගාවලිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයක් නොවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *