ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි.
මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් බොරු තොරතුරක් මත මේ පුවත ලියා ඇතැයි දැනට විදේශ ගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි.
සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් උතුරට ස්වයංපාලනයක් ලබාදෙන බවට ආර්.සම්බන්ධන් මහතා පැවසියයි 2010 වසරේ දී ද මේ මාධ්‍යවේදිනිය විසින්ම බොරු පුවතක් නිර්මාණය කරතිබු බවද එජාප ජ්‍යේෂ්ඨයා මෙහිදී සිහිපත්කර සිටියා.
කෙසේ වෙතත් තමා යළි ඉදිරි ජනාධිපතිවරණයේ “පොදු අපේක්ෂකයා” ලෙසට නම් කරන මෙන් සිරිසේන මහතාගේ පාර්ශවයෙන් නිල නොවන මට්ටමින් ඉල්ලීම් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් එම ඉල්ලීම සම්බන්ධයෙන් නිලනොවන මට්ටමින් සංවාදයට බඳුන් කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි ජනාධිපති කමට පත්කිරීම තබා පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමට යෝජනා කිරීමටවත් එජාප පාක්ෂිකයින් ඉදිරියට ගොස් විමසීමේ හැකියාවක් වත් නොමැති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, එජාපයේ අති බහුතර ජන්දවලින් සහ කැපවීම් මතින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම සිදුකළේ සම්මුතිවාදී ආණ්ඩුවටත්, එජාපයට සහ එජාප පක්ෂිකයින්ට පහරදෙමින්, තමාගෙන් ගිලිහී දිය වී යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට වෙර දැරීම පමණක් බවත්ය.