පාර්ලිමේන්තු කාරක සභාවට නියෝජිතයින් නම් කිරීමේදී ආණ්ඩු පක්ෂයට බහුතර මන්ත්‍රී නියෝජනයක් හිමි විය යුතු අතර මේ වන විට රටේ ආණ්ඩුවක් නොමැති හෙයින් මහින්ද පාර්ශවයට එහි බහුතරය හිමි නොවන බව එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කරයි.
මේ වන විටත් 122ක බහුතරය එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමට පවතින හෙයින් මහින්ද පිලට කිසි ලෙසකින්වත් කාරක සභාවේ බහුතරය හිමි නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මේ වන විට දිනේශ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් 7 දෙනාගේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමුකර තිබේ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරු දෙදෙනා කාරක සභාවට නම් කර ඇත.
කාරක සභාවට නම් කිරීමේදී බලය හිමි ප්‍රමාණය අනුව නියෝජිතයන්ගේ ප්‍රමාණය තීරණය වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ අරලියගහ මන්දිරයේ පවතී මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කාරක සභාවේ වැඩි නියෝජනයක් හිමි නොවන අතර ඔවුන්ට ආණ්ඩු බලයක් හිමි නැති බව ඉතා ඉක්මණින් තේරුම් ගත යුතු බවයි සේනාරත්න මහතා පෙන්වාදුන්නේ.
ඒ අනුව කාරක සභා ප්‍රශ්නය විසඳෙන ලකුණු පෙනෙන්නට නොමැති අතර එය අද දිනයේ යළි පාර්ලිමේන්තුව නොසන්සුන් වීමට හේතුවක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව තුළ බහුතරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇති බව පෙන්වා පසුව කාරක සභාවේ වැඩි නියෝජනය ලබා ගත හැකි බව එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර තිබේ.
එසේ නොවන පසුබිමක් තුළ කිසිලෙසකින්වත් කාරක සභාවේ බහුතර නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දී අහක බලා ගැනීමට සූදානම් නැති බව එක්සත් ජාතික පෙරමුණ සාකච්ජා කර ඇත.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා කාරක සභාව පිහිටුවා ගත යුතු නමුත් පවත්නා තත්ත්වය අනුව එය පුස්සක් බවයි වාර්තා වන්නේ. පවත්නා ව්‍යාකූල තත්ත්වය මත අද දිනයේද පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය මෙන්ම විශේෂ ආරාධිතයන් සඳහා වන ගැලරියද විවෘත නොකිරීමට තීරණය කර ඇත.
අනෙක් පසින් මහින්ද රාජපක්ෂ මහතාද අගමැති ධූරය හැර යාමේ කිසිදි සූදානමක් නොමැති බවද වාර්තා වෙයි.