මහින්ද එක්ක බැලුවම රනිල් ගැන කනගාටුයි

මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපති ධුරයෙන් පහකළ පසු ඒ මහතා එදා උදෑසන 5.15 ට පමණ ඉතාම ගෞරවාන්විත ලෙස පිටව ගිය බවත්, බුද්ධිමතකු ලෙස සැළකූ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ පැලපදියම් වී සිටිමින් ඉතා පහත් තත්ත්වයට ඇදවැටීම පිළිබඳව අප කවුරුත් කනගාටුවිය යුතු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බැව් සඳහන් කළේ ඊයේ (01) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ,

මේ රටට ආදරේ නම්, මුදල්වලට යට නොවී පත් වී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න එකට එකතු වන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම පවසන බවත් මහා සංඝ රත්නයේ හඬටත් ඇහුම්කන් නො දී හිතුවක්කාර ලෙස කටයුතු කරනවා නම් ගෙයින් ගෙට යමින් ශක්තිමත් පැවිදි හඬක් නඟන්නට කටයුතු කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග හිටපු අගමැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිගන්නේ නැති නම් වහාම මහ මැතිවරණයකට, ජනමත විචාරණයකට ගමන් කරන්න කියා ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (1) පැවැති ‘පැවිදි හඬ’ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහි දී උන්වහන්සේ තවදුරටත් මෙසේ ද පැවසූහ.

මේ වන විට රට පත්වී තිබෙන ඉරණම ගැන කිව යුතු වෙනවා. රටේ අවුල් වියවුල් වැඩි වෙමින් පවතිනවා. බල ලෝභී තත්ත්වයක් ඇති කරන වැඩි මුදලක් ලබා දිය හැක්කේ කාටද එය මත ආණ්ඩුව කරන්නේ කවුද යන තත්ත්වයට පත් වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු තුනහමාරක කාලයක් ගත කර හෝ සත්‍ය වැටහී, සත්‍ය අවබෝධ කරගෙන සිදු කළ ක්‍රියාව ගැන ස්තූතිවන්ත වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව එතුමා ක්‍රියාත්මක කළ තීන්දුව තවම එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමාගේ ගෝලයන් විසින් පිළිනොගන්නා තත්ත්වයක් තිබෙනවා. අරලිය ගහ මන්දිරය, අගමැති නිල නිවස අවභාවිත කරමින් සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා පැරදුණු අවස්ථාවේ දී උදෑසන 5.15 ට පමණ ඉතාම ගෞරවාන්විත ලෙස පිටව ගියා.

බුද්ධිමතකු ලෙස සැලකූ රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වයට වැටීම ගැන කනගාටු විය යුතුයි.

අද රනිල් වික්‍රමසිංහ මහතා කොහොම කතා කලත් දිමූ ජයරත්න අගමැති තුමා සිටිද්දී තමයි එතුමාත් දිවුරුම් දුන්නේ. මේ වාගේ බැලූ විට පහදා දිය හැකි බොහොමයක් දේවල් තිබෙනවා.

රටේ නායකයා ලෙස ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කර තිබෙනවා. අද මේවා අභියෝගයකට ලක් කරමින් දෙස් විදෙස් ආධාර ලබා ගෙන තනාපතිවරු නොමඟ යවා කටයුතු කරනවා. පසුගිය දවස්වල සිදු වූ වැරදි සිදු කර තිබෙන්නේ හිටපු අගමැති තුමයි. ජනාධිපති තුමාගේ කතාවට සවන් දුන් විට හිටපු අගමැතිතුමාගේ දුර්වලකම් ගැන පැහැදිලි වෙනවා.

ජනාධිපති තුමාගේ නියෝග හිටපු අගමැති සහ ඔහුගේ අනුගාමිකයන් පිළිගන්නේ නැතිනම් වහාම මහ මැතිවරණයකට යන්න, ආණ්ඩුව විසුරුවන්න බැහැ යි කියනවා නම් ජනමත විචාරණයකට යන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට කියනවා ආත්ම ගෞරවය තියාගෙන නිල නිවසින් පිටව යන්න, ආපසු ජයග්‍රහණය කලොත් ආයෙම එන්න කියන ඉල්ලීමත් කරනවා.

ඒ වගේම මේ රටට ආදරේ නම්, මුදල්වලට යටනොවී පත් වී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න එකාමෙන් එකතු වෙන්න කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ටම කියනවා . මහා මැතිවරණයකට යන්න කටයුතු කරන්න යැයි කියනවා.

ප්‍රාණ ආපකාරයන් 225ටම කියන්නේ මහා සංඝ රත්නයේ හඬටවත් ඇහුම්කන් නොදී හිතුවක්කාර ලෙස කටයුතු කරනවා නම් ගෙයින් ගෙට යමින් ශක්තිමත් පැවිදි හඬක් නඟන්නට කටයුතු කරනවා.

තවම මේ රටේ මිනිස්සු භික්ෂුන් වහන්සේලාට සලකනවා. රටට ආදරේ නම් තමන්ගේ පෞද්ගලිකත්වය පැත්තකට දමා වහාම මහ මැතිවරණයකට යන්න එසේ නොමැති නම් ජනාධිපතිතුමා ජනමත විචාරණයකට යන්න කියා ඉල්ලනවා.

පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හාමුදුරුවෝ-

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට හේතු වූ කරුණු කිහිපයක් සොයා බැලූ විට, සෑම පැත්තකින්ම රට අරාජික වී තිබෙන අවසථාවක, ආර්ථිකමය වශයෙන් වුවත් මහ බැංකුව මහ දවල් කොල්ලකෑම සිදු කර මුළු ආර්ථිකයම මස්තබාල්දු කළා. අධ්‍යාපනය, රටේ සවෛරීයත්වය යන අංශවල ගැටලු ඇති වී තිබෙනවා. රණවිරුවන්ට පහර දෙමින්, ආගමික ජාතියට කතා කළ මහා සංඝරත්නයට අසීමිතව නින්දා කළා, උන්වහන්සේලා සිරගත කළා. අන්‍ය ආගමික පූජකවරුන්ට පවා ඉතාම පහත් මට්ටමෙන් බැන වැදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලය කටයුතු කළා. එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ ජනාධිපතිතුමාගේ ක්‍රියාව ගැන යම්කිසි අමනාපයක් තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ තැනට ගමන් කිරීමට හේතුව ඔවුන් බුද්ධිමත්ව සිතන්න අවශ්‍යයි. රටේ ආරාජිකත්වය ඇති වී තිබේ කියා මාධ්‍ය මවා පෑමක් කරන්න හදනවා. ඇත්තටම එය සිදු වූයේ අද ඊයේ නොවේ. අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නාට පසු යම් කිසි ස්ථාවරත්වයක් ඇති වී ඇති බව පෙනෙනවා. කොටස් වෙළඳ පොළේ යම් ඉහළ නැඟිමක් සිදු වුණා.

එහි දී පැවිදි හඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ ද අදහස් පැවසූ හ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *