ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය මධ්‍යම රජය අවධාරණය කරයි.
යම් රටක රජය වෙනස් වුවද කිසිදු අවස්ථාවක ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවද ඉන්දීය මධ්‍යම රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශකර තිබේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති විශේෂ සාකච්ඡාවක දී එම ප්‍රකාශකයා මේ බව පවසා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉතා දීර්ඝ කාලයක සිට සමීප සබඳතා පවතින බවද එම සබඳතා අඛණ්ඩව ඉදිරියට පවතින බවද ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කරන අතර දෙරට අතර සිදුවන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මත්තල ගුවන් තොටුපළ ව්‍යාපෘතිය වාණිජමය පරමාර්ථය ඇතිව සිදුවන බවද කියාසිටී.
ඊට අමතරව එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වන ද්වීපාර්ශ්වීය කටයුතු අවසන් අදියරේ පවතින අතර එහි ඉදිරි කටයුතු ශ්‍රී ලංකා රජයේ උනන්දුව මත සිදුවන බවද පැවසු අතර, ඉන්දියානු සාගර කලාපයේ රටවල් සමඟ තමන් සැමවිටම සමගිව කටයුතු කරන බවත් සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සියයට 50 ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.