ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම ව්‍යවස්ථානුකූල බවට නීතිපති ඇතුළු නීතිඥවරු රැසක් කරුණු දැක්වූ අයුරු

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද(13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය.

ජනාධිපතිරවයා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම පිළිබ‍ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද විභාගය – දෙවැනි දිනය (2018 නොවැම්බර් 13).

නීතිපති ජයන්ත ජයසූරිය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි සහ 04 වැනි ව්‍යවස්ථා හරහා මෙරට ස්වාධිපත්‍ය බලය මහජනතාවට පවරා තිබෙනවා. රටේ ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා වෙත පවරා තිබෙනවා. මහජනතාව සිය ස්වාධිපත්‍ය බලය පවත්වාගෙන යන්නේ සර්වජන ඡන්ද බලය හරහා. එම නිසා ගරු ස්වාමීනි රටේ ස්වාධිපත්‍ය බලය දරන විධායකය වශයෙන් ජනාධිපතිවරයාට හිමි බලය 19 වන සංශෝධනයෙන් පසුව ද අඛණ්ඩව පවතින්නක්. මෙකී බලයට පදනම්වන ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්හි භාෂාව ඉතාම පැහැදිලියි, ඒ සදහා බලපැවැත්වෙන හේතු සාධකත් ඉතාම පැහැදිලියි. කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ බලය අඩාල කරන හෝ එයට වඩා බලය වැඩි වෙනත් ඒකකයක් රට තුළ නිර්මාණය වෙලා නැහැ. ගරු අධිකරණය වන ඔබ තුමන්ලාගේ ක්‍රියාකාරීත්වය, බලතල සහ විනිශ්චය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතයි පදනම් වෙන්නේ. මේ අවස්ථාවේ මෙම ගැටලුව සදහා මැදිහත්වීමට අධිකරණයට කිසිම නෛතික පදනමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එමනිසා ගරු ස්වාමීනී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 33(2)(ඇ) හරහා විධායකයට පැවරෙන බලය මත පදනම්වූ මුලුමනින්ම ව්‍යවස්ථානුකූල තීරණයක්. ඒ හරහා අවසානයට බලගැන්වෙන්නේ මේ රටේ මහජනතාවගේ ස්වාධිපත්‍ය බලයයි.

ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට මැදිහත්වීම සදහා පාර්ශව 05 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. ප්‍රේමනාත් සී. දොලවත්ත, මහාචාර්ය ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, සහ චන්න ජයසුමන යන පාර්ශව මෙසේ මූලික නඩු විභාගය සදහා මැදිහත්වීමට අවසර ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *