මහින්දගේ අගමැතිධුරයට එරෙහි පෙත්සමත් අධිකරණය විභාගයට ගනී

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම ලබන 30 වනදා සහ මීළඟ 03 වන දා සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

එම දිනටපෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා සිටියේය.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *