අග්‍ර දායකත්වය දැරූ කැළණි රජමහා විහාරයත් රනිල්ට අහිමි වෙයි

රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත.

කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මතවාදය සමඟ දැඩි බැඳීමකින් කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට අතර උන්වහන්සේද මේ වන විට රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දමා, මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය “දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජාතියේ වාසනාවට සිදු වූවක්” බව පවසා ඇත.

‘බටහිර රටවල් අපේ රටට කෙතරම් සම්බාධක පැනෙව්වත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දවසකට එක වේලක් කාලා හරි අපි මේ රට ගොඩනඟමු’ යැයි කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙරේදා (03) කැලණිය රජ මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී පැවසූහ.

වසර තුනහමාරක පමණ කාලයක සිට මෙරට මහ ජාතියට සහ සංස්කෘතියට සිදුකරන විනාශයත්, මේ රට බේරා ගත් උදාර රණවිරුවන්ට සිදු කරන බරපතළ මානසික කම්පනයත් පිළිබඳව අප්‍රමාණව කම්පාවට පත්ව සිටි බවද උන්වහන්සේ පැවැසූහ.

කෙසේ වුවත් එයින් රට බේරා ගැනීමට දෙවියන්ගේ ආශීර්වාදය හිමි වූවාක් මෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක් වී එකම අදහසකට පැමිණ මේ පරිවර්තනය සිදු කළ බවත් එය පෞද්ගලික සිතුවිල්ලක් නොව මේ රට වෙනුවෙන් ගත් දැඩි තීරණයක් බවත් සංඝරක්ඛිත හිමියෝ පෙන්වා දුන්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේ සිදුවුණු පරිවර්නය කරණකොටගෙන මේ රටේ මහා සංඝයා වහන්සේ රටේ ජනතාව පුදුම විදියේ ශක්තියක් ආරෝපණය කරගෙන ජීවත් වෙනවා, අපිට නැවතත් පිළිසරණක් තියෙනවා කියලා. ගිය ආණ්ඩුවට මම පෞද්ගලිකව ඡන්දය ලබා දුන්නා. නමුත් පසුගිය රජය රටට කරපු විනාශය නිසා පෞද්ගලිකව මම දැන් ඒ රජයට කැමැති නැහැ. පාර්ලිමේන්තුවේ හිස්ගෙඩිවලින් නොවේ කැමැත්ත බැලිය යුත්තේ රටේ ජනතාවගේ හිස් ගෙඩිවලිනුයි.

අද අපිට පුවත්පත්වලින් දැන ගන්න ලැබෙනවා බටහිර රටවල් අපේ රටට තහංචි පනවන්න යනවා කියලා. තහංචි දානවාට මම පෞද්ගලිකව කැමැතියි. තහංචි දැම්මාට පස්සේ තමයි මේ රටේ මිනිස්සු අවදි වෙන්නේ. එතකොට මේ රටේ මිනිස්සු මහන්සි වෙනවා. එතකොට රට දියුණු වෙනවා. කොච්චර තහංචි දැම්මත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දවසකට තුන්වේලෙන් එක වේලක්වත් කාලා හරි අපි මේ රට ගොඩනඟමු.

පසුගිය කාලේ ස්වභාවධර්මය පවා මේ රජය සමඟ හිටියේ නැහැ. විපත්ති ආවා. දැන් හොඳට වැහැලා රට සශ්‍රීක කරන්න පුළුවන් පරිසරයක් පවා නිර්මාණය වෙලා තියෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.