රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට වහාම ජනාධිපති කොමිසමක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා ඔවුන්ගේ තවත් වංචා – දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

ඊයේ (25) ජනාධිපති නිල නිවෙසේදී විදෙස් ජනමාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් නිසා රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත් නොකරන බවත්, එය මේ වන විට තමන් එජාපයට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත්ය.

දිගින් දිගටම සිදුවූ අක්‍රමිකතාවන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදූරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යෑමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බවද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.

තමන් ඝාතනය කිරීමට උත්සාහ දැරූ දූෂිතයන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමා වෙනුවෙන් අපේක්‍ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයකු විය යුතු බව විදෙස් ජනමාධ්‍යවේදීන්ට පෙන්වා දුන් ජනාධිපතිවරයා, වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තම දේශපාලන ප්‍රතිපත්තිය එය නොවන බවත්, දැඩි ලෙසම දූෂණයට විරුද්ධව තමා නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයකු වන බවත්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.