කිසිඳු ලෙසකින් රනිල් යළි අගමැති නොකරන බවට ජනපතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක්!

යළි කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් නොකරන බවත් එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම සඳහන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සහතික විය.

අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී විදෙස් ජනමාධ්‍යවේදින් සමඟ පැවති හමුවකදී ය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ උදෙසා ඉතාමත් සද්භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද සඳහන් කළේය.

දිගින් දිගටම සිදුවූ අක්‍රමිකතාවයන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තමන් ඝාතනය කිරීමට උත්සහ දැරු දූෂිතයන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයෙකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දේශපාලන ප්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දූෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප්‍රකාශ කළේය.

පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක විය යුතු පිළිවෙතට නොවන අතර, ආණ්ඩුවක් පත් කර ගැනීම සහ ආණ්ඩුවක් වෙනස් කර ගැනීම යන ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී හඬ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්ද විමසීම වැනි විධිමත් ක්‍රමයක් භාවිතා විය යුතු බවත්, ඒ පිළිබඳ තමා කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳ සතුටු වන අතර, එම සියලූදෙනාට ස්තූතිය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම ගැන කතා කළ ජනාධිපතිවරයා ‘‘ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඡන්දය ගැනීමේ ක්‍රම තුනක් තිබෙනවා.

පළවෙනි එක ශබ්දය අනුව ගැනීම. දෙවැනි එක මන්ත්‍රීවරුන්ගේ නම කතා කරලා යර්ස්, නෝ කියලා කැමතිද නැද්ද කියලා ගන්න එක. ඊළඟට ඉලෙට්‍රෝනික් සිස්ටම් එක. ආණ්ඩුවක් වෙනස් කිරීම වැඩි බරපතල දේකදි නිකං හායි කියලා හඬ අනුව නෙමෙයි නමින් හෝ ඉලෙට්‍රෝනික් සිස්ටම් එකෙන් ඉදිරිපත් කරන්න කියලයි මම ඔවුන්ට යෝජනා කළේ. ඔවුන් පෙරේදා ඉලෙට්‍රෝනික් සිස්ටම් එකට ඡන්දය පැවැත්තුවා.

මම කතානායක ඇතුළු මන්ත්‍රීවරුන්ට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ බහුතරය මම පිළිගන්න කෙනෙක්. බහුතරය විනිවිද භාවයෙන් යුතු වෙන්න ඕනා. ‘‘ යැයි සඳහන් කළේය.

‘‘පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම දැඩි සේ පිළිකුල් කරනවා. මොන පක්ෂයේද කියන එක නෙමෙයි කවුරු වුණත් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම වැරදි. ‘‘ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා රැසක් එල්ල කර දැන් ඔහු අගමැති ලෙස පත් කිරීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘අපි හැම වෙලාවෙම අතීතයේ චෝදනා ගැන කතා කළොත් ලෝකයේ කිසිම දේශපාලනඥයෙකුට එකතු වෙන්න බෑ. 1956 ඉඳන්ම අපේ රටේ සන්ධාන ආණ්ඩු තියෙනවා. ඒ එකතු වුණ අයත් ඊට කලින් අසමගි වෙලා හිටපු අය. දේශපාලන නායකයො දේශපාලන පක්ෂ නායකයන් එකතු වෙලා තියෙන්නේ ඒ ලබපු අත්දැකීම් එක්ක එතනින් එහාට අලුත් වැඩපිළිවෙලක් එක්ක යන්නේ කොහොමද කියලා. ‘‘

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ කළැයි කියන දූෂණ අක්‍රමිකතා සහ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමසද්දී ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘ ඒවට වග කියන්න ඕනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අධිකරණය, සීඅයිඩිය, පොලිසිය ඔක්කොම තිබ්බේ එක්සත් ජාතික පක්ෂය යටතේ. ජනාධිපතිවරයා වුවත් සම්මුතිය අනුව අනිත් ඒවට ඇඟිලි නොගැසීමේ එකඟතාවක් තිබුණා.‘‘ එම චෝදනාව එජාපයෙන් කරන්නේ ජනාධිපතිවරයාට බව කී විට ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘එහෙනම් ඒ කාලේ ඔප්පු කරන්න තිබ්බානේ. ඒකට එයාලට කොන්ද පන තිබ්බේ නැද්ද? ඒ සියල්ලට රනිල් වික්‍රමසිංහ මහතා සහ සාගල රත්නායක මහතා වගකිව යුතුයි.‘‘

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *