ජනප්‍රිය නොවු තීරණ මා ගත්තේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් මිස තනතුර හෝ ජීවිතය ගැන නොසිතායි

ජනප්‍රිය නොවූ දැඩි විවේචනාත්මක තීන්දු තීරණ තමා විසින් ගනු ලැබුයේ තනතුර හෝ තම ජීවිතය ගැන කිසිත් නොසිතා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2018 වර්ෂය සඳහා පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ දවස පුරා පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීය.

අද පාර්ලිමේන්තුවේ මුළු දවසම ඒක පාක්ෂිකව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඔවුනගේ විවාදය සඳහා කාලය ගොඩක් වැය කරනු ලැබුවේ ජනාධිපතිවරයා ගැන බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම තම දියණිය විසින් ලියන ලද ජනාධිපති තාත්තා නැමති පොත අද දින පාර්ලිමේන්තුවේ බොහෝ සකච්ඡාවට ලක්වූ බව ජනාධිපතිවරයා පෙන්නා දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා විසින් එළඹෙන ජනාවාරී මාසය තුළදී රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය නමින් තවත් පොතක් පිට කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසීය.

තවද රට වෙනුවෙන් හෙට දවසේ ජයග‍්‍රහණය කළහැකි වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් ගෙන යන සටනේ දී කිසිදු තැනක තමා තනී වී නොමැති බවත්, රටට ආදරය කරන සියලූ පොදු ජනතාව තමා සමග අත්වැල් බැඳගෙන සිටින බවත් කියා සිටියේය.

2015 ජනවාරි 08 වනදා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් තමා සිදු කළේ දේශපාලනයේ උඩුගම්බලා පිහිනීමක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද දවසේ රටට අහිතකර සියලූ බලවේගයන් ඉවත් කරමින් ගෙන යන මෙම වැඩපිළිවෙළ ද දේශපාලනයේ උඩුගම් බලා පිහිනීමක් බව කියා සිටියේය.

එම සටනේ දී තමාට අහිවීමට ඇත්තේ තම තනතුර සහ ජීවිතය පමණක් බව ද සඳහන් කළ ජනාධිපතිතුමා එම අහිමිවීම් වුවද මාතෘ භූමියේ වෙනුවෙන් සතුටින් පිළිගැනීමට සූදානම් බව කියා සිටියේය.

තමාගේ සටන දුෂණයට, වංචාවට, ඒකාධිපතිත්වට, සමාජ විරෝධි කි‍්‍රයාවලට, මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමට, අයුක්තියට, අසාධාරණයට, දේශද්‍රෝහිත්වයට සහ රටට අහිතකර සියලූ බලවේගවලට එරෙහිව බව සඳහන් කළ ජනාධිපතිවරයා අද දවසේ තමා වැරදි ලෙස පෙනෙන සියලූ දෙනා හෙට දවසේ තමන් නිවරුදි නායකයෙකු ලෙස හඳුනාගනු ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම තම සටනේ දී සුදු කළු බේදයක් තමාට නොමැති බව ද පැවසු ජනාධිපතිවරයා එම සටනේදී තමා කිසිදු අවස්ථාවක, කිසිදු තැනක සෙලවී නොමැති බව ද කියා සිටියේය.

වැරදිකරුවන් සහ නිවැරදි කරුවන් කවුද කියා හෙට දවසේ දී හෙළිවනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සංවාදයකට තමා සමග පැමිණෙන්නැයි තමන් ඉහළ පෙළේ ඕනෑම දේශපාලනඥයෙක්ට ආරාධනා කරන බවත් වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් කවුද කියා පැහැදිළි කර දීමට එහිදී තමා සූදානම් බවත් පැවසීය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් තනතුරුවල බලෙන් රැදී සිටීමට වෙර දරන අයෙක් නොව තම ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් රට වෙනුවෙන් නිසි ලෙස ඉටුකර සතුටින් නික්ම යන කෙනෙක් බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.