රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..

‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය.

සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත කිරීම් කිහිපයක් ඇතුළු වැඩසටහන් රාශියක් සඳහාය. සෙනසුරාදා තවත් නිල රාජකාරි කිහිපයක් යොදාගෙන තිබූ නිසා සිකුරාදා රාත්‍රිය ගාල්ලේ වජිර අබේවර්ධන ඇමැතිවරයාගේ නිවෙසේ ගතකොට පසුදින සන්ධ්‍යාවේ කොළඹට පැමිණීම අගමැති රනිල්ගේ රාජකාරි සැලසුම වූයේය. එහෙත් මූසල හැන්දෑවේ වැහි බීරිම අතරින් එන්නට පටන්ගත් දුරකථන පණිවුඩ වැලැක් නිසා අගමැතිවරයාගේ සියලු සැලැසුම් උඩුකුරු යටිකුරු වූයේය.

හරියටම 26 වැනිදා පස්වරු 6.41ට රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ සැප පුටුවක ඇල වී සිටියදී ඔහු හාංකවිසියක් නොදැනම අගමැති පුටුව පෙරළී තිබුණේය. අගමැති පුටුව මතු නොව ආණ්ඩුවද පෙරළී තිබිණි. තකහනියේ කොළඹට එන්නට හෙලිකොප්ටරයට නැග්ගත් වැසි අඳුර නිසා අහසට නඟින්නට නොහැකි බව ගුවන් නියමුවන් කීහ. අන්තිමට අධිවේගයේ කොළඹ එනවිට සියල්ල සිදු වී හමාරය. ඒ වන විට ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. රනිල් වික්‍රමසිංහ නිකම්ම නිකම් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.

රනිල්ගේ ජීවිතය මෙවැනි අකරතැබ්බවලින් ගහනය. 1993 මැයි මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ තරුණ කටයුතු ඇමැතිවරයාය. මැයි පළමුවැනිදා එජාප මැයි පෙළපාළියේදී ජනාධිපතිවරයා කොටි සංවිධානයේ බෝම්බයකට ගොදුරු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපති තනතුරෙහි දිවුරුම් දුන්නේය. අරලියගහ මැඳුරෙන් විසි වූ අගමැති ඔටුන්න පාත් වුණේ කොළඹ 7 පස්වැනි පටුමඟේ සිටි රනිල් වික්‍රමසිංහගේ ඔළුවටය. 1993 මැයි 7 වැනිදා ඔහු අගමැති තනතුරෙහි දිවුරුම් දුන්නේය. ඒ ප්‍රථම වතාවය. 1994 අගෝස්තු 19 වැනිදා ආණ්ඩුව විසුරුවා හැරීමත් සමඟ අවුරුදු 1යි මාස 2කින් රනිල්ට අගමැතිකම අහිමි විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය බලයේ සිටියදී 2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් නැවතත් රනිල් අගමැති පුටුවට ආවේය. 2001 දෙසැම්බර් 9 වැනිදා ඔහු දෙවැනි වරට අගමැති තනතුරෙහි දිවුරුම් දුන්නේය. එහෙත් අවුරුදු 3 මාස 2ක් ගෙවුණුතැන අගමැති පුටුවට යළිත් කණකොකා හැඬුවේය. එවරද සිදු වූයේ මෙවැනිම අලකලංචියකි. පුටුවට තට්ටුවෙන තෙක් අගමැති කිසිවක් දැන සිටියේ නැත. ඔහු බොහෝ විට විවේකී මොහොතක ගත කළේ බි්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් වැනි ලෝක ප්‍රකට නායකයන්ගේ ජීවිත කතා කියවමිනි. අගමැති පුටුවට ඉහළින් කෙස් ගසකින් එල්ලූ අසිපතක් ඇති බව රනිල් වික්‍රමසිංහ නිකමටවත් කල්පනා කළේ නැත.

2004 අප්‍රේල් මාසයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරයට සහභාගි වනු පිණිස අගමැති රනිල් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. ඒ වන විට ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති රනිල් අතර ප්‍රතිවිරෝධයන් ගුණයෙන් මෙන්ම ප්‍රමාණයෙන්ද වැඩිදියුණු වී පුපුරා යන්නට ආසන්නව පැවැතියත් රනිල් එය දැන සිටියේ නැත. ඔවුන් දෙදෙනාම කුඩා අවධියේ සුදර්ශියේ එකම නැටුම් පන්තියක එකට නැටුම් පුහුණු වූ අතීතයක් තිබිණි. ඒ නිසා මේ නැටුමත් එවැනි නැටුමක් වේ යැයි රනිල් සිතන්නට ඇත. නමුත් චන්ද්‍රිකා එසේ සිතා නැති බව රනිල් දැන ගත්තේ අගමැති පුටුව පෙරළුණු විටය.

එවකට ආරක්ෂක අමාත්‍යාංශය තිබුණේ අගමැති රනිල් අතේය. එහි ලේකම් වූයේ කලක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ජනාධිපති ලේකම්ව සිටි ඔස්ටින් ප්‍රනාන්දුය. අගමැති ජිනීවා ගිය පසු ආරක්ෂක ලේකම් ඔස්ටින් ලන්ඩන් ගියේය. ඔස්ටින් ප්‍රනාන්දු පවසන්නේ ජනාධිපති හා අගමැති අතර නොහොඳ නෝක්කාඩුව පුපුරායන්නට ආසන්න බව තමා දැන සිටි නමුත් තමාගේ දැනුවත් කිරීම කිසිවකු පිළි නොගත් බවය.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා වරෙක පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පැවැසීය.

‘මම එංගලන්තෙ යන්න එයාර්පෝට් එකට ගිය වෙලාවෙ මට පත්තරයක කර්තෘ කෙනෙක් හමු වුණා. මා ඔහුට කීවා මා ආරක්ෂක ලේකම් හැටියට රටින් පිට යනවා. එනකොට මේ තනතුර තියේද හිතන්න බෑ කියලා. එහෙම වෙන්න විදියක් නෑ කියලා ඔහු කීවා. කෝකටත් මම මෙහෙම කිව්වා කියලා ඩයරියේ ලියාගන්න කියලා මම ගියා. අපි යනකන් ඉඳලා ජනාධිපතිනිය ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු, ජනමාධ්‍ය අමාත්‍යාංශ තුනම පවරා ගත්තා. මාවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාර් අබේසිංහවයි අස්කළා. සටන් විරාමය කාලෙ එල්ටීටීඊ එක ‘ඉස්ගා’ කියලා ප්‍රොපෝෂල් එකක් ආණ්ඩුවට දීලා තිබුණා. මේක තමයි ජනාධිපතිනිය අමාත්‍යාංශ පවරාගන්න යොදා ගත්තේ. රටේ පාලනය කොටින්ට දෙන්න හදනවා කියලා චෝදනාවක් දමලා අමාත්‍යාංශ තුන ගත්තා.

‘මෙහෙම වෙන්න ඉඩ තියෙන බව මා දැන සිටියා. ආණ්ඩුව පෙරළෙන පසුබිමකට යන්න ඉඩ තියෙන බවට කරුණු 4ක් පෙන්නලා මම ලිපියක් සකස් කළා. ඒකෙ පළමු වැන්න හැටියට අමාත්‍යාංශ පවරා ගැනීම සඳහන් කළා. මේ ලිපිය පළමුවෙන්ම පෙන්නුවේ ජාතික තොරතුරු මණ්ඩලයේ (එන්.අයි.බී.) ලොක්කෙකුට. මිනිහ හිනා වෙලා පිස්සුද එහෙම දෙයක් වෙන්නෙ නැහැ කිව්වා. ඊළඟට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ලේකම් ජුනයිඩ් මහත්තයාට පෙන්නුවා. අපි එකම ගොඩනැඟිල්ලක වැඩ කළේ ‘ජුන්ඩා තේ එකක් බොන්න යමු’ කියලා එක්ක ගිහින් ඔහුට මේක පෙන්නුවා.

‘පිස්සුද එහෙම කරන්න පුළුවන්ද’ කියල ඔහු හිනා වුණා.

‘එහෙම දෙයක් වෙන්නෙම නෑ’ කිව්වා. එතකොට ඔහු පොලිසිය භාර ලොකුම රාජ්‍ය නිලධාරියා. ඊළඟට මම ලන්ඩන් යන ප්ලේන් එකේදී මට හමු වුණා විදේශ ඇමැති ටිරෝන් ප්‍රනාන්දු. ඔහුටත් මේ කතාව කිව්වා. ඔහුත් සමච්චලයට හිනා වුණා. මගේ කතාව ඇමැතිවරුවත්, එන්.අයි.බී. එකවත්, මාධ්‍යවත් පිළිගත්තෙ නැහැ.

චන්ද්‍රිකා ජනාධිපතිනිය හදිසියේම ආණ්ඩුව විසුරුවා හැරියේ 2004 අප්‍රේල් 4 වැනිදා. මට තේරුණා බොහොම ඉක්මනට ආණ්ඩුව පෙරළෙන බව. මේ ගැන මම හදපු සටහන බර්නාඩ් ගුණතිලකට දුන්නා. එයා ඒක කියවලා වචනයක්වත් කතා නොකර ආපසු දුන්නා. මිලින්ද මොරගොඩට දුන්නා. මම මිලින්ද ඇමැති ළඟ ඉන්න වෙලාවෙ ඉන්දීය තානාපති නිරූපම් සෙන් එතැනට ආවා. මිලින්ද ඔහුට කීවා ආණ්ඩුව ළඟදී විසුරුවන බවට ඔස්ටින් ප්‍රනාන්දු ලිපියක් ලියා තිබෙන බව. එවිට ඉන්දියන් තානාපති කිව්වා.

‘මිත්‍රයා ඔබ වැරැදියි එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිනිය ඉන්දියාවේ අගමැතිට පොරොන්දුවක් දී තිබෙනවා ආණ්ඩුව විසුරුවන්නෙ නැහැ කියලා. කීයටවත් ඒක වෙන්නෙ නැහැ’ කියලා කිව්වා.

මම කිව්වා ‘ජනාධිපතිනිය ඔයාගේ අගමැතිත් අපේ ඇමැතිවරුත් රවටලායි තියෙන්නේ කියලා. කොහොම වුණත් ඊට පස්සේ මම අගමැති රනිල් හමුවෙන්න අරලියගහ මන්දිරයට ගියා. මම ලියපු කොළ දෙක අගමැති අතට දීලා ආණ්ඩුව පෙරළෙන අවදානමක් තිබෙන බව කිව්වා. වික්‍රමසිංහ මහතා ඒ වෙලාවේ හිටගෙන හිටියේ. මම කියන එක අහගෙන හිටියා මිසක ලියැවිල්ල බැලුවේ නැහැ. ඒක නොබලාම මේසය මත තිබූ බැහැර යන ලිපි ට්‍රේ එකට දමලා යන්න පිටත් වුණා. මාත් පස්සෙන් ගියා.

‘ඔස්ටින් ආණ්ඩුව විසිරෙව්වත් ඡන්දෙන් අපි දිනනවා කියලා කාරෙකට නැග්ගා.’

‘ජනාධිපතිනිය ආණ්ඩුව විසිරෙව්වා. එජාපයෙ කවුරුත් හිතුවෙ නැහැ ඒක කරයි කියා. ආණ්ඩුවත් නොමඟ ඇරියා. ඉන්දියාවත් නොමඟ ඇරියා. ඡන්දය තිබ්බා රනිල් පැරැදුණා.’

අමාත්‍යාංශ තුන ජනාධිපතිනිය පවරා ගැනීමෙන් අනතුරුව ජිනීවා සිට කටුනායකට පැමිණි අගමැති රනිල් පිළිගැනීමට මඟදිගට ආධාරකරුවෝ රොද බැඳ සිටියහ. රනිල්ට කටුනායක සිට කැලණි පාලම උඩට එන්නට පැය 9ක් ගතවූ බව කියති. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දය පැවැත්වූ විට රනිල් පරාදය. ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවේ. එසේ සිදු වන්නේ නම් එය දෙවැනි වතාවේ විගඩමක ස්වරූපය ගනී. මේ සිදුවෙන්නේ ඒ විගඩම දැයි දෙවරක් සිතා බැලිය යුතු නැත.

උදේනි සමන් කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *