රට රකින ජනමහිමය අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවගේ ප්‍රාර්ථනාවක් මල්ඵල ගැන්වීමක්. අද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරට වෙලා ජනතාව හා විදෙස් මාධ්‍ය නොමඟ යවමින් සිටිනවා. දිනෙන් දින ආර්ථික පීඩනයකට ලක්වෙමින් සිටි ජනතාවට යළි සහනයක් ලබා දෙමින් යුද්ධය දිනු නායකයා ලෙස රට යළි ගොඩනගයි කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා.

බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුකරමින් රට බෙදන ව්‍යවස්ථා සකස් කරමින්, සංස්කෘතික වටිනාකම් දියාරු කරමින්, මේ රට අනාගාමික රටක් බවට පත්කරමින්, ජාතික සම්පත් දිනෙන් විදේශිකයන්ට විකුණා දමමින් පැවති හොරිකඩ ආණ්ඩුව ඇති කළ ජාතික අපගමනයට පිළිතුරු දෙන්න ජනතාව ලක්ෂ ගණනින් පාර්ලිමේන්තුව වටරවුමට රොද බැදගනියි. ඒ නිසා මේ මාතෘභූමිය නාමයෙන් සියලු බේද අතහැර දමා අද පාර්ලිමේන්තු වට රවුමට එක්වෙන ලෙස ජනතාවට ආරාධනා කරනවා.

මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

මේ අතර අද(05) දහවල් 12.00න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *