සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!

පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ අයුරකින් මේ මොහොතේ එජාපය යළි ආණ්ඩු බලය අත්පත් කරගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. එය හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බවත්, මංගල දිව රෑ නොබලා කෙතරම් ජාත්‍යන්තර බලපෑම් එල්ල කිරීම සිදුකළද ඒවා මෛත්‍රී සහ මහින්ද පයිසකටවත් නොගන්නා බවත් මෙම පිරිසේ පොදු මතය වී තිබේ. එම නිසා වත්මන් නායක රනිල් වික්‍රමසිංහව එජාපයේ ජ්‍යේෂ්ඨ නායකත්වයට සහ උපදේශක තනතුරට දිවි ඇති තුරා පත්කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අග්‍රාමාත්‍යධුරය ලබාගන්නා සජිත් ප්‍රේමදාසටත්, නියෝජ්‍ය සහ උප නායකත්වය රවී කරුණානායක සහ නවීන් දිසානායකටත් ලබාදෙන ලෙස යෝජනා වී තිබේ.

මෙම යෝජනා පෞද්ගලික හෝ කමිටු ඉල්ලීම් වශයෙන් ඉදිරිපත් නොකර, සාමුහික ඉල්ලීමක් වශයෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ හමුවේ සිදුකිරීමට මෙම මන්ත්‍රීවරු කණ්ඩායම සුදානමින් සිටිති. යම් හෙයකින් මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයෙන් බලය මුළුමනින්ම ගිලිහී ගියහොත් යළි දශක දෙකකින් මෙහා ආණ්ඩු බලයක් ලබාගැනීම සිහිනයක්ම පමණක් වනු ඇති බව ඔවුන්ගේ තදබල විශ්වාසයයි.

පාර්ලිමේන්තුවේ බහුතරය නිසි ලෙස පෙන්නා රනිල් වික්‍රමසිංහ හැර එජාපයේ වෙනත් ඕනෑම අයකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 16දා පස්වරුවේ තමන් හමුවූ එජාපය ඇතුළු බොහෝ පක්ෂ නියෝජිතයන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇති බැවින්ද, දැනට ඇති එකම විසඳුම අග්‍රාමාත්‍යවරයා වශයෙන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීම බවද ඔවුන් පෙන්වාදී තිබේ.

කුමන තත්වයක් යටතේ වුවද රනිල් තම ස්වකැමැත්තෙන් නායකත්වය පිරිනමන්නේ නම් හැර පක්ෂ නායකත්වය භාරගැනීමට තමන් ඉදිරිපත් නොවන බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ දැඩි ස්ථාවරය බවට පත්ව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *