පවතින ගැටලුකාරී තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ.
කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ඉකුත්දා (10දා) මහ නායක හිමියෝ මේ බව කීහ.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහ විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් පිළිබඳව අදහසක් ජනාධිපතිවරයාට නොතිබුණු නමුත් කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වීම නිසා මෙවැනි තීරණයකට එළැඹුණු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවැනි ගැටලු සහගත තත්ත්වයක් දිගටම පැවැතුණේ නම් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරෙන තරම් තත්ත්වයක් නිර්මාණය විය හැකිව තිබිණි යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් හමුවේ කියා සිටියේය.
මහ නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.
මැතිවරණයේදී අප කුමන පක්ෂයෙන් ඉදිරිපත් වන්නේද යන්න ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමට නියමිතයි. පෙර අවස්ථාවේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් ඉදිරිපත් වුණා. ඒ අයුරින් ඉදිරිපත් වෙනවා නම් සුදුසු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
රණවිරුවන් අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, දේශීය සම්පත් විකිණීම්, ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස හැසිරීම යනාදියට පසුබිම් වූ තත්ත්වයන් පරීක්ෂා කර බලා දේශීයත්වයට සුදුසු වැඩපිළිවෙළක් යොදා ගනිමින් අපි මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මැතිවරණය පවත්වන්නේ මනාප ක්‍රමයටයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදුකෙරුණක්. එහි කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු වී නැහැ. මීට එරෙහිව ප්‍රකාශ කරන්නේ මැතිවරණයට මුහුණදීමට බැරි අයයි. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට මුහුණදීමට අද අවස්ථාව උදා වී තිබෙනවා.
කථානායකවරයා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළා නම්, මේ ගැටලුව පාර්ලිමේන්තුවේදී විස¼දා ගැනීමට තිබුණා. එසේ නොමැතිව මේ තත්ත්වය මෙසේ දිගටම පැවතුණා නම් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරීම සිදුවිය හැකිව තිබුණා” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.