වර්තමානයේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා වහාම පක්ෂ සම්මේලනයක් කැඳවන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝ ඉල්ලති. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 24දෙනෙක් සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 43 දෙනෙක් මෙම ඉල්ලීම කර ඇත්තේ එම පක්ෂයේ මහලේකම්වරයා වෙත යවන ලද ලිපියක් මගිනි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පෙරාතුරව පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ 40 ලක්ෂයක් වන පාක්ෂිකයන්ගේ අයිතිය තහවුරු කිරීමක් බවත් ඔවුහූ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
මීළඟ මැතිවරණයේ දී පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා ද එසේත් නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා ද යන්න ගැටලුවක් නොවෙතත් එය පක්ෂයේ බහුතර කැමැත්ත පරිදි කෙරෙන තේරීමක් විය යුතු බවත් ඔවුහූ කියා සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එවැනි මහ සම්මේලනයක් කැඳවීමේ කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දී ඇති ඔවුහූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද බලය ලැබෙන්නේ සම්මේලනය තුළින් බැවින් වහාම සම්මේලනයක් කැඳවන්නැයි ඉල්ලීමක් කර තිබේ.
එම මන්ත්‍රීවරුන් කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද යොමු කර ඇති බව එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරයි.