ගෝඨා, ජොනී සහ අර්ජුනගේ නඩු සියල්ල ජනවාරියට කල්යයි; දිනපතා නඩු විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද(04) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මේ අතර අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් වාර්තා ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2010 වසර සහ 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මීට අමතරව පසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *