මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අරලියගහ මන්දිරයේදී පෙරේදා (10) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ හමුවේදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් ප්‍රකාශ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් එජාප නායකයා මෙසේද කීවේය.

ඔක්තෝබර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවට එරෙහිව ගොස් රට පාලනය කිරීමට ගත් පියවරට එරෙහිව රටපුරා ජනතා විරෝධය මතු වී තිබෙනවා.

ඔක්තෝබර් 26 දින රාත්‍රිය මම ගත කළේ අරලියගහ මන්දිරයේ. මා සාමාන්‍යයෙන් රාත්‍රිය ගතකරන්නේ මගේ පෞද්ගලික නිවෙසේ බව ඔබ දන්නවා. නමුත් මා එදා එම තත්ත්වය වෙනස් කොට රාත්‍රි මෙහි ගත කළා. පසුදින අලුයම වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. මුලින්ම මේ විරුද්ධත්වය ආරම්භ වුණේ පාක්ෂිකයන්ගෙන් බව කිව යුතුයි. නමුත් දින දෙක තුනක් ගතවෙද්දී එජාප නොවන කණ්ඩායම් පවා මෙහි රැස්වෙන්නට පටන් ගත්තා.

බොහෝ නිර්පාක්ෂික මැදහත් ජනතාව විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා සිදු කළ මේ ක්‍රියාව අශෝභන මෙන්ම අයුක්ති සහගත එකක් ලෙසයි. එම නිසා මේ තත්ත්වය අද විශාල ජනතා ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

අපි දැන් අධිකරණයට ගොස් තිබෙනවා. අධිකරණය තහනම් නියෝගයන් ලබාදී තිබෙනවා. ඇමැතිවරුන් පත්කිරීම පිළිබඳව නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව රජයේ නිලධාරීන් අද නීතියට අනුව කටයුතු කළයුතුව තිබෙනවා. මේ සියල්ල 2015දී අපි ඇති කළ 19 සංශෝධනය නිසා ඇති වූ ප්‍රතිඵලයි. ස්වාධීන කොමිෂන් සභා සහ එමඟින් අධිකරණය ශක්තිමත් කළ නිසා අත් වූ ප්‍රතිඵලයි.

නමුත් මේ සියලු තීරණවලට විධායකය ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි විශාල ජනබල මෙහෙයුමකට යෑමට තීරණය කොට තිබෙනවා. එමඟින් කොළඹදී අපි රටේ ජනතාවගේ විරෝධය ප්‍රකාශ කරනවා.

අපි සියලු දෙනාම එකට එක්ව ජනබල මෙහෙයුම සාර්ථකව පැවැත්විය යුතුයි.

ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වුණත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා විය හැකි බව අපේ නීතිඥ මහත්වරුන් දන්වා තිබෙනවා. එලෙස නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙස සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා.

මේක ජනතාවගේ සටනක්. අපි ජනතාව කියන දේ කළ යුතුයි. මෙයින් පසුව අපි අපේ අඩුපාඩුකම් හදාගත යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද? කරදරයකින් තොරව ජීවත් විය හැකි පාලනයක්. ජනතාව බලාපොරොත්තු වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්ද? මාධ්‍ය සම්ප්‍රදාය කුමක්ද? ඒ අරමුණ ඉටුකර දීමට අප සෑම විටම කැප විය යුතුයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *