ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මේ බව අවධාරණය කළේය.
නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියේය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කථානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
අගවිනිසුරු නලින් පෙරේරා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.