එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී


දැන් ඔබ නිහඬ දේශපාලන චරිතයක් බවට පත්වෙලා නේද?

ඔබේ පත්තරේ විතරනේ මට ඒ අවස්ථාව දෙන්නේ නැත්තේ. අනිත් හැම පත්තරේම දෙනවා ඕනෑ තරම්. ඕගොල්ලෝ අපිව නිශ්ශබ්ද කරන්න හදනවානේ.

එ.ජා.ප. යේ බහුතරයක් “මව්බිම” එක්ක මොකක්ද මේ තිබෙන විවේචනය?

නෑ මව්බිමට විවේචනයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ ලියන ආකාරය. සමහර වෙලාවට ඕගොල්ලෝ මූණ බලාගෙන වෙන එකක් ලියනවා.

ඔබ කුමක් කිව්වත් පසුගිය කාල සීමාවල තුළ ඔබ පක්‍ෂයෙන් දුරස් වී සිටි බව පිළිගන්නේ නැද්ද?

නැහැ. පක්‍ෂයෙන් මම දුරස් වුණේ නෑ. පක්‍ෂයේ ඉන්න කළු බැටලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් දුරස්ථ කරන්න හැදුවා.

ඒ “කළු බැටලුවෝ” කවුද කියලා කියන්න පුළුවන්ද?

අලි නොවන කට්ටිය. ඒ ගොල්ලන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කට්ටියක්.

ඔබ පසුගිය කාලය පුරාම වැඩිපුර කතා කළේ ආර්ථිකය ගැන. නමුත් අන්තිමට ලැබුණේ විදුලිබල අමාත්‍යාංශය. මොකද හිතෙන්නේ ඒ ගැන?

මට ඕනෑ එකක් ගන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒත් පක්‍ෂයක් තියෙනවා. නායකතුමා වෙනින් එකක් දීලා තියෙනවා. සමහර විට අමාරු බැරෑරුම් ඒවා දෙනවා. ඕවා තමයි අර කළු බැටලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇති කරන ප්‍රශ්න. හැබැයි අපි ඕනෑ අභියෝගයක් භාර ගන්නවා.

ඔබ මොන කතන්දරය කිව්වත් ඇත්තටම බලාගෙන හිටියේ මුදල් අමාත්‍යාංශය දෙනතුරු නේද?

ඔව්.

නොලැබුණේ?

දන්න එක්කෙනෙක්ට දෙන්න මිසක් නොදන්න එක්කෙනෙක්ට දීලා හරියනවයැ. දැන් ඔබට දක්‍ෂතාව තියෙනවා මාධ්‍ය පැත්තෙන්. හැබැයි වෙනින් දෙයක් භාර දුන්නොත් ඒක නෙමේනේ සැබෑ එක. අන්න ඒ වගේ දෙයක් තමයි අපට වෙලා තියෙන්නේ. මං වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒ දක්‍ෂතාව මං පෙන්නලා තියෙනවා. නැති නම් ආසියාවේ හොඳම මුදල් ඇමැති වශයෙන් බි්‍රතාන්‍ය එහෙම තක්සේරු කරලා දෙන්නේ නෑනේ.

තවමත් කලකිරීමෙන් වගේ කතා කරන්නේ?

කලකිරීමක් නෑ. මට ඒ වගේ කිසිදෙයක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ අපේ ජනතාවට සේවය කරන්න. මොනවා වුණත් එක්සත් ජාතික පක්‍ෂය රැකගෙන ඉන්න කට්ටිය තමයි අපි. ඒක අපි කරගෙන යනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්න ඒ කෙනෙහිලිකම් දැකලා තියෙනවා. අන්තිමට ඒ කරපු කට්ටියටම අපි අවශ්‍ය වෙලා තියෙනවා.

ඔබට අනුව එක්සත් ජාතික පක්‍ෂයේ තීන්දු තීරණ ගන්නේ කළු බැටලුවෝ ටිකක්ද?

තීන්දු ගන්නවා එක්කෙනෙක් දෙන්නෙක්. නමුත් ඔය කළු බැටලුවෝ ටික ඒක වෙනස් කරන්න හදනවා.

ඔබ හිතන ආකාරයට ඔබට මුදල් අමාත්‍යාංශය නොලැබෙන්න තව කාරණා හේතු වුණාද? ඔබේ පසුගිය වකවානුවේ සිදු වූ දේවල් බලපෑවද?

මොනවද වුණේ? මගේ වැඩක්යැ. අනිත් අයගේ පව් අපි කර ගහන්නේ මොකටද?

මං ඔබට එක උදාහරණයක් කියන්නම් ඔබේ මුදල් අමාත්‍ය ධුරය ඔබට අහිමි වුණා යම් චෝදනාවක් මත?

අහිමි වුණේ නෑ. මං ඉවත් වුණා. අනිත් අය වගේ පෙරේතකමින් හිටියේ නැහැ. ආදර්ශවත් මට්ටමට එය පෙන්වලා දුන්නා. ඒක තමයි කළ යුත්තේ. ඊට වඩා ලොකු චෝදනා තියෙන කට්ටිය ඉන්නවා. නමුත් අපි පෙන්නුවා ඒක තමයි ආදර්ශවත් කියලා.

ඔබ වටෙන් නොයා ඇයි සෘජුවම මේ මේ පුද්ගලයා කියලා ඒ දෝෂාරෝපණය පවරන්නේ නැත්තේ? පක්‍ෂයේ අයම නිසා ඔබ හිරවීමකට ලක්වෙලාද?

පක්‍ෂයක් ඇතුළේ ඉන්නකොට විනයක් තියෙනවනේ. මාධ්‍ය ඇහුවා කියලා නිකම් බැන බැන යන චරිතයක් නෙමේ මට තියෙන්නේ. මගේ පක්‍ෂය, මගේ රට ආරක්‍ෂා කරන්න ඕනෑ. නමුත් ඒ අතරතුරේ ඔය පක්‍ෂය වැරැදි කරන කට්ටිය ගැන අපි කිසි ප්‍රශ්නයක් නැතිව හෙළිදරව් කරනවා.

යූ.එන්.පී.ය ආවොත් රට ගොඩ, ආර්ථිකය ගොඩ කියා ගොඩනඟා තිබූ මතය වසර 4ක් තුළ නිෂ්ඵල, එය යථාර්ථයක් නොවන මතයක් බවට පත් වුණා නේද?

මං දන්නේ නැහැ. අපි දුවනකොට ඒක හොඳට ගියා. ඊට පස්සේ මට වගකියන්න බෑ.

නමුත් ඔබත් මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයෙක්?

මම කියන්නේ මං මුදල් අමාත්‍යාංශය දරන කාලේ ආර්ථිකයේ වර්ධනයක් පෙනුණනේ. ප්‍රවර්ධනය මොකක්ද කියලා.

ඔබ හිටපු මුදල් අමාත්‍යවරයෙක් ලෙස දැන් එහි තිබෙන තත්ත්වය ගැන මොකක්ද තක්සේරුව?

ආණ්ඩු කරනකොට නොයෙක් නොයෙක් ප්‍රශ්න තිබෙනවා. මට සදාචාර අයිතියක් නැහැ වෙනින් අය ගැන කතාකරන්න.

විපක්‍ෂයේ තර්කය නම් ආර්ථික ඔස්තාර්ලා කියාගෙන ඇවිත් තිබුණු ආර්ථිකයත් බංකොළොත් කළ බවයි. එය ඔබ පිළිගන්නවාද?

ඒගොල්ලොනේ බංකොළොත් කළේ.

රට ණය කන්දක සිර වී ඇති බව සමස්ත ජනතාවම දන්නා කාරණයක්. නමුත් ඇමැතිතුමා ඔබලාගේ ආණ්ඩුවට වසර හතරක් ගත වී තිබෙනවා. මොනවද රට, ජනතාව වෙනුවෙන් කළේ කියලා අහන්න හැකියාවක් ඉතිරි වී තිබෙනවා නේද?

නැහැ. මෙහෙම හිතන්නකෝ. ආණ්ඩුව ලබාගත්තට පස්සේ ඒ මෙහොතේම මොකුත් පව් නැතිනම් ඇදගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේ පිට උඩ තියෙන්නේ අනුන්ගේ බර නම් ඒවත් උඩින්නේ යන්න තියෙන්නේ. ඒක ලේසි ගමනක් නෙමේනේ. ඉතින් ඒවත් එක්කම තමයි නිවැරැදි කරගෙන යන්න තියෙන්නේ. ළමයෙක් කුසට ආවත් මාස 9ක් යනවා ඉපදෙන්න. ඊට පස්සේ අවුරුදු දෙක තුනක් යනවා ඇවිදින්න. කතා කරන්න. ඒ වගේ කාලාන්තරයක් දෙන්න තියෙනවා. ඉතින් ඔබතුමිය කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳලාම දුවන්න ඕනෑ කියලා.

ඔබ ඔය කියන කාලාන්තරය වසර හැත්තෑවක් තිස්සේ මේ දේශපාලනයේ අපි දකිනවා?

ඒක හරි. මේ රටේ තියෙන්නේ අපේ දේශපාලනඥයෝ එන ඡන්දේ ගැන හිතනවා මිසක් රටක් ගැන හිතන්නේ නැහැ. මේක තමයි කරුමය. අවුරුදු 71ක් සුද්දට බැනලා නිදහස ලබා ගත්තා. ගත්තට පස්සේ අපි දන්නේ නැහැ කොහොමද ඒක ආරක්‍ෂා කරගන්නේ කියලා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට හැකියාව නැති එක නෙමේ. ප්‍රශ්නය කරන්න ඕනෑකමක් නැති එකයි. එකමුතු භාවයක් නැහැ. බලාගෙන ඉන්නේ අනෙක් කෙනා පල්ලෙහාට ගේන එක මිසක් ඔක්කෝම එකට උඩට තල්ලු වෙන එක නෙමේ. මේක තමයි වෙනස.

ඔබ මුදල් ආමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව කියනවා. කෙසේ හෝ අමාත්‍ය ධුරය අහිමි වුණා. නමුත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ප්‍රධාන චූදිතයන් තවමත් නිදැල්ලේ?

මගෙන් අහන්නේ ඇයි. මගෙන් අහන්න එපා. මගේ විෂයක් නෙමේනේ. ඕක තමයි තියෙන ප්‍රශ්නය. මව්බිම අහන්නේ. ඕගොල්ලොත් දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. නැති දෙයක් ඇති කරලා තියෙද්දී මගෙන් අහලා හරියනවයැ.

නමුත් ඔබ එවකට හිටපු මුදල් ඇමැතිනේ?

අපේ සම්බන්ධකමක් නැහැනේ. මට වාණිජ බැංකු තිබ්බෙත් නැහැ. මහ බැංකුව තිබ්බෙත් නැහැ. ඉතින් මං කොහොමද මැදිහත් වෙන්නේ.

මහ බැංකුව තිබුණේ ඔබේ නායකයා යටතේ?

ඒත් ඔබ මගෙන්නේ ප්‍රශ්නය ඇහුවේ.

ඒක හරි. නමුත් මේ ගනුදෙනුවට සම්බන්ධතා ජාලයක් තියෙනවා. ඔබ එවක මුදල් ඇමැතිවරයා, මහ බැංකුව භාරව හිටියේ ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මහතා. ඒ ගනුදෙනුව ගැනයි මං අහන්නේ?

ඉතින් ඔච්චර චෝදනා කරනවා නම් ඇයි මේ ප්‍රශ්නය ඉවරයක් නොකරන්නේ?

ඔක්කෝම කෑගහනවා. ඕගොල්ලෝ උඩ පනිනවා. තියෙන ප්‍රශ්න උඩට ගේන්නේ නැහැ. අහක යන ඒවා තමයි උඩට ගන්නේ.

ඔබ ඔහොම කිව්වට මේ බැඳුම්කර ගනුදෙනුවෙන් රටේ ආ්ර්ථිකයට වැදුණේ ප්‍රබල පහරක්?

නෑ. අමූලික බොරුවක්. ඕක මීට පෙර හිටපු මහ බැංකුවේ නිලධාරීන් දෙන්නෙක්, තුන්දෙනෙක් අතින් තමයි ඔය ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ. ඒ කාලය තුළ වුණාම තමයි ඔබ කියන ප්‍රශ්නය තියෙන්නේ. ඒක මේ පැත්තෙන් වෙනින් විකෘති කරලා අද වෙනින් දේවල් පෙන්නනවා. බලන්න අපේ කාලේ බැඳුම්කරයක් නිකුත් කළා. 4.4-5.5%ක් අතර අද 7.8%යි. අවුරුදු 10කට මොකක්ද මේ තියෙන්නේ. අද වෙනිසියුලාවේ බලන්න. අද තායිලන්තයේ 2.35%යි. මැලේසියාවේ 3.2% බොස්ටිවානාවේ 4.9යි. ගී්‍රසියේ 3.87%යි. මෙන්න මේකයි කියන්නේ හැමදෙනාම දේශපාලනඥයෝ නොමඟ යවන ක්‍රියාවක් තමයි මහ බැංකුව කරන්නේ. මම මහ බැංකුව ඉලක්ක කරලා තියෙන්නේ. මේ රටේ මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශ්න කරගෙන යන ආයතනයක් තමයි මහ බැංකුව. එහි ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් වෙනින් දේවල් කර කර අන්තිමට අහිංසක ජනතාවට ප්‍රශ්න කර කර ඉන්නවා.

දැන් ඔක්තෝබර් (26) කාලේ මුළු ආර්ථිකයේම ප්‍රශ්නයක්. අස්ථාවර භාවයක් තිබුණනේ. හැබැයි රුපියල අධි ප්‍රමාණය වුණේ ඒ කාලේ. මේවා කෘත්‍රිමව කරන බව පේනවා. මෙතෙක් දුර උද්ධමනය 5.6%යි. මේ ගොල්ලෝ මේ හිතන්නේ කොළේ වහලා ගහන්න පුළුවන් කියලා.

මට තියෙන්නේ අහිංසක ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී 15-20% ණය ගන්නකොට මොන අපරාධයක්ද?

මම ඔබෙන් අහන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට රතු නිවේදන පවා යොමු කර තිබියදීත් ගෙන්වන්නේ නැහැ.

එවකට විෂය භාර ඇමැති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහටත් චෝදනාව එල්ල වී තිබෙනවා. පක්‍ෂයක් ලෙසින් එ.ජා.ප.යට මෙයින් ගැලවිය හැකිද?

ඔය කියන ප්‍රශ්නය කියනවා නම් බලන්න අද පොලිසිය ජනාධිපති ළඟ ප්‍රශ්න ගණනාවක් කියනවා. මං හිතන්නේ අනවශ්‍ය ලෙස මේවා පුම්බලා.

ප්‍රශ්න තියෙනවා. හැබැයි කියන ප්‍රශ්න නෙමේ කියන්නේ. ඕක තමයි ප්‍රශ්නය. දැන් ඔය බන්දුල ගුණවර්ධනලා කෑ ගහනවා උදේ ඉඳලා රෑ වෙනකම්.

එයාටම එයා අස්සන් කරපු මිලියන 20ක් හොයාගන්න බැරි මනුස්සයෙක් ආර්ථිකය ගැන කතා කරනවා. විළිලැජ්ජාවක් නැද්ද?

රු. 2,500කින් කවන්න හදනවා. මෙන්න මේ වගේ කට්ටිය තමයි අපේ චරිත ඝාතනය කරන්නේ. දැක්කනේ, උසාවියෙන්නේ උත්තර ලැබුණේ. මේ වගේ කට්ටිය තමයි බිලියන ගණන් කිව්වේ. කොහෙද බිලියන ගණන් දාලා තියෙන්නේ මිලියන ගණන් මේවා බොරුවට ප්‍රශ්න ඇති කළා. අවිශ්වාසයක් ඇති කරගෙන කුහකභාවය ඇති කරන්න හදනවා. ඔච්චර දෙයක් කියනවා නම් උසාවිය මෙච්චර කල් හිටියනේ. මොකක්ද එළියට ඇවිත් තිබෙන්නේ? දැන් ඕගොල්ලො උසාවි විශ්වාස කරනවනේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැනේ.

ඔබේ ආණ්ඩුව යටතේත් අධිකරණය විශ්වාස කරන්න බැහැ කියලද ඔබ මේ කියන්නේ?

මං කියන්නේ අධිකරණය විශ්වාස කරන නිසා අපි ඇඟිලි ගහන්නේ නැහැ කියලා. ඉතින් කොහෙද මේක තියෙන්නේ. ඔච්චර බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි මේවා උඩට නොගන්නේ?

හරි. මේ සරල කාරණයට උත්තරයක් දෙන්න. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නන්නේ නැතිව කවුද හිරකරලා තිබෙන්නේ?

ඉතින් මගෙන් අහන්න පුළුවන්ද? මං දන්නවද?

ඔබේ අදහස?

එයාට මොනවද කරන්න තියෙන්නේ කියලා නිසි බලධාරීන්ගෙන් අහන්න ඕනෑ. ඒ වගේම උදයංග වීරතුංග මේ ඔක්කොම එකයි. ඕක තමයි මං කිව්වේ ‘මව්බිමේ’ ප්‍රශ්න. එකක් විතරක් අහගෙන යනවා. අනෙක් ඒවා ගැන අහන්නෙ නෑ. මේ ආර්ථිකය කඩා වට්ටලා කඩන් වැටුණට පස්සේ සුද්ද කරන එකාට ගහනවා. වැඩකරන එකාට තමයි ගහන්නේ. ඵල තියෙන රුකට තමයි ගහන්නේ. දැන් නිහඬ වෙන්න බැහැනේ, ඔබට මං ඔහොම උත්තර දෙනකොට.

නිහඬ වෙන්න ඔබටත් බැහැ. මටත් බැහැ?

නැහැ. ඔබතුමිය කිව්වේ මං නිහඬයි කියලනේ.

මෙතැන ප්‍රශ්නයක් තිබෙන බව ඔබ විශ්වාස කරනවද?

නැහැ.

පිළිගන්නෙ නැහැ එතකොට?

නැහැ. බොරුවට ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. වැඩියෙන්ම කරලා තියෙන්නේ මාධ්‍යයෙන්.

එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න ටික රාජ්‍ය නිලධාරීන්ගේ පිට පටවලා අත පිහදාගන්න හදනවා. උදාහරණයක් විදියට අර්ජුන් ඇලෝසියස්ලා ඉදිරියට දාලා මේකට එජාපය සම්බන්ධ නැහැ සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් කියලා ප්‍රශ්නෙන් ගැලවෙනවා. ඒක අසාධාරණයි නේද?

ඇයි මගෙන්ම අහන්නේ. අහන්න අනෙක් කට්ටියගෙන්.

ඇහුවා. ඔබෙනුත් ඇසිය යුතුයි?

50%ක් ප්‍රශ්න අහලා තියෙන්නෙ එක ප්‍රශ්නයක් ගැන. ඕක තමයි ඔබලාගේ ප්‍රශ්නය.

ඒ වගේම මහ බැංකුව නැවත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් වසර පහකට ඩොලර් බිලියනයකුත් වසර 10කට ඩොලර් බිලියන 1.4කුත් නිකුත් කරන්න යනවා. මෙතෙක් කලාපීය රටවල් නොගත් අධික පොලියට (7.85%) මෙම ණය ගන්න කටයුතු කරන්නේ.


මොකක්ද ඒ ගැන අදහස?

අපි ඒක පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

මේක තවත් දූෂිත බැඳුම්කර ගනුදෙනුවක්ද?

නෑ. ඒක දූෂිත කියලා නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය. ඉතින් ඔහොම නම් ඒ කාලේ 14%ට දුන්නම. ඒ ගැන මොකුත් ප්‍රශ්න අහන්නෙ නැහැ. ඔබතුමියලා ඒ ආණ්ඩුවට උදවු කරන නිසා එහෙම ප්‍රශ්න නැහැ. ඔය වගේ තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ?

ඇයි ඔබ මට එවැනි චෝදනාවක් කරන්නේ?

ඉතින් ඔබ අහනවා පොලිය ගැන. 14%ක් පොලිය අනුපාතයට ගත්තොත් ප්‍රශ්නයක් නැහැනේ එතකොට. ඉතින් මෙතැන තියෙන්නේ ඒ වගේ අඩු පොලියට ගන්න හැකියාවක් තියෙද්දී ඇයි ඊට වැඩියෙන් ගන්නේ කියන ප්‍රශ්නය. ඒකට උත්තර දෙන්නෙ මහ බැංකුවෙ නිලධාරීන්. තව කවුද? ඒකයි මං පෙන්නන්න හදන්නේ.

ඔබ කැබිනට් අමාත්‍යවරයෙක්. ආර්ථිකය සම්බන්ධ හොඳ දැනුමක් ඇති පුද්ගලයෙක්. ඉතින් ඔබෙන් මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුයි කියලා මං විශ්වාස කරනවා?

අනිවාර්යයෙන්.

ඒ නිසාම ඔබ ආවේගශීලී නොවී පිළිතුරු දුන්නොත් හොඳයි?

ආවේගශීලී නෙමේනේ මං. ඔබතුමිය එම ප්‍රශ්නය විකෘති කර එක තැනම කැරකෙනවා.

හරි. අපි පසුගිය බැඳුම්කර ගනුදෙනුවේ මහේන්ද්‍රන්, ඇලෝසියස් දැනට පැත්තකින් තියමු. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න?

ඇයි. ඒ නම් ගේන්නේ මොකටද?

මං එකම ප්‍රශ්නය මතු කළේ නැහැ. ඇමැතිතුමා ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගන්නා අලුත් ණය ගැන මං ඔබෙන් ප්‍රශ්න කළේ මේ කාරණා දෙකක්?

නැහැ. මං කිව්වේ පත්තරේ ප්‍රශ්නය තමයි ඕක කියලා.

ඔබ මහ බැංකුවේ නිලධාරීන්ට ‍ෙදාස් කියනවා. මහ බැංකු නිලධාරීන් ආර්ථිකය හසුරුවනවා නම් මොකටද රටට ආණ්ඩුවක්?

ඒක තමයි මමත් අහන්නේ?

කොතැනද ගැටලුව තිබෙන්නේ?

මගෙ මීට පෙර තිබ්බ අභියෝග බැලුවා නම් මේක තේරෙනවා.

ඔබ සමහර ප්‍රශ්නවලින් මඟහරිනවා?

සමහර ප්‍රශ්න හරි නැහැ.

එහෙනම් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව පැහැදිලි පිළිතුරක් නොලැබුණේ?

මේක ආණ්ඩුව තුළින් ගේනවා. මහ බැංකුව ගෙනියනවා. ඊට පස්සේ ඒකට යම් කිසි ප්‍රතිශතයක් ඒගොල්ලො ගන්නවා. එහෙම නොගෙන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබුණා. ඒවා බැලුවම මහ බැංකුවට කියන්න තිබුණා යම් ප්‍රමාණයකට වැඩිය ගන්නෙ නැහැ කියලා. ඇයි ඒ තරම් පහළට ගියේ?

මහ බැංකුවේ නිලධාරීන් මෙහෙයවන්නේ කවුද එහෙනම්?

නිලධාරීන් ඉන්නෙ මහ බැංකුවේ නෙවේ. වෙන ලෝකෙක.

ඉහළ දේශපාලනයක බලපෑමක් තිබෙනවාද?

නෑ. ඒගොල්ලො දේශපාලනඥයො නටවන්න හදනවා. මහා බැංකුවේ දෙන්නෙක් තුන්දෙනෙක්. ඒගොල්ලො හිතන්නෙ මහ බැංකුව කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික උරුමයක් කියලා.

එවැනි අත්තනෝමතිකව කටයුතු කරනවා නම් රාජ්‍ය නිලධාරියකුට එරෙහිව රජයට ක්‍රියාමාර්ග ගතහැකියි නේද?

නැත්නම්. ඒ වගේ එක්කෙනෙක්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. අනෙක් අය ඇතුළේ ඉන්නවා. මේ අය එළියෙ ඉන්නවා. ඒ විතරක් නෙවේ.

මහ බැංකුවට ගෙවන නීතිඥයා ගෙවන්නෙත් මහබැංකුව. ඒවා හොඳද? පවතින රජය මීට එරෙහිව මැදිහත් විය යුතුයි නේද?

නැත්නම්. කාටද කියන්නේ. කවුද ඒකට අවසර දෙන්නේ?

ඒක තමයි මමත් අහන්නේ ඔබෙන්?

හෙළිදරව් කරනවා වැඩිකල් යන්න පෙර. ඒ වගේම ඔය ඊ.ටී.අයි. වගේ ඒවත්. කවුද ඒක කඩා වැට්ටුවේ. මහ බැංකුව නේද? මුදල් ඇමැතිලා නෙමේනේ. ඉතින් ඇයි එහෙනම් ආරක්ෂාව සුපරීක්ෂාභාවය ඇති කරන්න සිටින කට්ටිය ඇයි ඒවා වහගෙන ඉන්නේ?

ඊ.ටී.අයි. ගනුදෙනුවේදී එහෙට මෙහෙට චෝදනා කිරීමට වඩා රජය පාර්ශ්වයෙන් කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි නේද?

මං ඉන්නෙ මෙහි හරි පැත්තේ. එදා මේක බැහැයි කියපු එක. ඊට පස්සෙ එතැන ඉන්න කට්ටිය ඒ පුද්ගලයා බැහැයි කිව්වට පස්සෙ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙස පත් කළා. ඊට පස්සේ බැහැයි කියපු එක හරියි කිව්වම කොහොමද තැන්පත් අනාරක්ෂිත වුණේ?

පසුගියදා පාර්ලිමේන්තුවේදී අය – වැය සම්මත වුණා?

ඇයි සම්මත වුණා කියන්නේ. දුකද?

දුකක් නැහැ ඇමැතිතුමා. මං අහන්න හැදුවේ අය – වැයට ඡන්දෙ දීමේදී ශ්‍රී ලනිපය නියෝජනය කරන මන්ත්‍රිවරු සහභාගි වුණේ නැහැ. නැවත ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමේ පෙරනිමිත්තක් නේද මේ පෙන්නුම් කළේ?

ඉතින් ජනාධිපතිතුමා, අපි ඔක්කොම එකට වැඩ කරනවනේ.

නමුත් ආණ්ඩුවේ ඉන්න බැහැ කියලා ශ්‍රී ලනිපයෙ කොටසක් ආණ්ඩුවෙන් එළියට ආවනේ?

ඔව් ඉතින්. එහෙම බැහැ කියන කොටසක් එහෙ ඉන්නවා. මෙහෙ බැහැ කියන කොටසක් මෙහෙ ඉන්නවා. නමුත් අන්තිමට අපි පෙන්නුවා අපේ කාර්යය. වැඩිකල් යන්න පෙර නැවත අපි පෙන්වනවා අපේ කාර්යභාරය. කුමන්ත්‍රණයක් දෙකක් කළේ ඔය එකට වැඩකරන ස්වරූපය නැති කළේ අර කළු බැටලු දෙන්නෙක් තුන්දෙනෙක් ඇති කළ ප්‍රශ්න නිසා. ඔක්තෝබර් 26දා ප්‍රශ්නය ඇති කළේ අපෙත් ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඇතිකළ ප්‍රශ්න නිසා.

එජාපය මේ කුමන්ත්‍රණයට මැදිහත් වූ බවද කියන්නේ?

එජාප නෙමේ. අර කළු බැටලුවො ගැන කිව්වේ.

ඔබේ පක්ෂ මහලේකම්වරයා පසුගිය දිනෙක රැස්වීමකදී එජාප තනි ආණ්ඩු යැයි ප්‍රකාශ කළ නිවේදකයකුට ‍ෙදාස් කිව්වා. ඉන් පෙන්නුම් කරන්නෙත් නැවත ජාතික ආණ්ඩුවක සේයාවක් නේද?

මං කියන දේ හැර අනෙක් අය කියන දේවල් මගෙන් අහන්න එපා ඔබ.

ඔබත් එජාපයේ ජේ‍යෂ්ඨයෙක්. මෙවැනි පක්ෂයට සම්බන්ධ ප්‍රශ්නයක් විමසීම වැරැදි නැහැ කියලා මං හිතනවාද?

මං දන්නෙ නැහැනේ. එහෙම කිව්වද නැද්ද කියලා. ඕගොල්ලො කියලා නටවනවා. ඊට පස්සේ මගෙන් අහනවා

හරි, එහෙනම් කෙළින්ම අහන්නම් ඔබෙන් ජාතික ආණ්ඩුව යෝජනාව සම්බන්ධ ඔබේ ස්ථාවරය කුමක්ද?

ඔව් ඉතින් ජාතික ආණ්ඩුවක්නේ අපි ජනවාරි 8 ඇති කළේ.

නමුත් ඔක්තෝබර් 26න් පසු ඒ දේශපාලන පෙරළියත් සමඟ නැවත ජාතික ආණ්ඩුවක් ඔබලාට ගොඩනඟන්න බැහැ නේද?

මේකයි මෙතැන යම් විශ්වාසයක් පලුදු වෙලා තිබෙනවා. ඉතින් අපි මේ වඳින්න යන දේවාලේ ගිහින් නිකම් අනාගන්න ඕනේ නැහැනේ. ඒ පලුදු වූ විශ්වාසය නැවත ඇති කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා ප්‍රශ්න තියෙනවා.

ඔබත් ඒ කියන්නේ ජතික ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයේ සිටින කෙනෙක්?

මම කියන්නේ සියලුදෙනාම මේකට සෑම පක්‍ෂයක්ම ගේන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. හැබැයි එහෙම කියන කොටත් කියනවා හැම හොරාම ඉන්නේ එකට කියලා. ඔය වගේ ප්‍රශ්න තමයි මාධ්‍ය තුළින් ප්‍රකාශ වෙන්නෙ. නමුත් මම හිතන්නේ අපි රට ගැන ඉලක්ක කරලා දක්‍ෂයෝ පහළොවක්, විස්සක් එකතු වෙලා මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නැහැ පුළුවන්. ඒක තමයි අවශ්‍ය.

අපි මේ පාට මාරු කර කර අරක හොඳයි මේක හොඳයි කිව්වට ගත්තට පස්සේ මොකද වෙන්නේ. අර වඩාගෙන ඉන්නකොට අඬනවා දුවන්න ඕනෑ කියලා බිම තිබ්බම දණ ගාන්නවත් බැරි වෙලා තියෙනවා. අන්න ඒවගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔක්කොම එකතුවෙලා යම් ඉලක්කයකට වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ශීඝ්‍ර සංවර්ධනය වන්නේ.

වසර 4ක් ඔබලා කටයුතු කළෙත් ජාතික ආණ්ඩුවක් තුළ, එවිට චෝදනා කළා වැඩ කරන්න නොදී කකුලෙන් අදිනවා කියලා. නීතිය ක්‍රියාත්මක කරන්න නොදෙන බව වැනි කාරණා. නැවත ගොඩනැඟුණත් ප්‍රශ්නය එක තැන නේද?

මං අවංකව උත්තර දෙන්න අවශ්‍යයිනේ. අවංකව අපි මේක ඉදිරියට ගෙන යන්න කැමැත්තක් දැක්වූවා. ඉතින් ඒකෙ යම් ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්න ඇති වුණාම ඒවා කොළේ වහගෙන කතා කරලා හරියන්නේ නෑ. ඒක නිවැරැදි කරන්න ඕනෑ. නැත්නම් ප්‍රශ්නය ඇති වුණේ කොහොමද බලන්න ඕනේ.

රටට මොනවා වුණත් එක දෙයක් තියෙනවා කවදාවත් නොදැකපු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා දැන් ඔබතුමිය මේ වගේ ප්‍රශ්න අපෙන් අද අහනවා. මීට අවුරුදු හතරකට ඉස්සරවෙලා ඇහුවා නම් අනේ ඔබතුමිය ජීවතුන් අතර ඉන්නවද දන්නේ නැහැ. ඒ වගේ වාතාවරණයක් දුන්නු අපිට තමයි ඔය වගේ උඩ පැන පැන ගහන්නේ. මේ මිල නොකළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්.

අපි රුපියල් 100ක වැඩ කරද්දී මාධ්‍ය අපිට රුපියලක වටිනාකමක් දෙන්නේ නැහැ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව ඔබ සිටින්නේ කොතැනද?

මමයි මූලිකව කිව්වේ මේක අහෝසි කරන්න ඕනෑ කියලා. මං එදාත් හිටියා අදත් ඉන්නවා ඉදිරියටත් සිටිනවා ඒ ස්ථාවරයේ. මට පේන විදියට අපේ හිටපු ගරුතර අපවත් වී වදාළ සෝභිත හිමියන් මේකට පුදුම වෑයමක් දැරුවා. අපි ඔක්කොම එක මතයෙ සිටින්නේ. ඒකට ජනාධිපතිතුමාත්, අගමැතිතුමත් අපි ඔක්කොම එක් ස්ථාවරයෙ දැනුත් ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ ඊට අදාළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා?

බොහොම හො¼දයි.

ඊට පක්‍ෂව ඔබ ඡන්දෙ දෙන බව ස්ථිරද?

ජ.ව.පෙ කිව යුතු නැහැ. 20 නෙමේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ සෑම දෙනාටම භාරගන්න පුළුවන් ඒකීයභාවය, බෞද්ධාගමට මුල් තැන දීම ඇතුළු ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි.

ඔබ ඒ ස්ථාවරයේ හිටියත් අවුරුදු 70ක් ආ දේශපාලන ගමන්මඟ බැලුවම විධායක ධුරය අහෝසි කර ගැනීම අපහසු වුණා. මෙවරත් යම් හෙයකින් අහෝසි කරගත නොහැකි වුණොත් දෙසැම්බර් 9දාට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. පක්‍ෂයේ සූදානම කොහොමද?

අපි හරි වෙලාවට කියන්නම්. හැබැයි මට 99.99%ක්ම විධායක ධුරය අහෝසි කරනවා කියන විශ්වාසය තිබෙනවා. මොකද මේ අපි පොරොන්දු දුන්නේ ඒකට. දුන් පොරොන්දු කඩ කරන්න බැහැ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් එය විශ්වාස කරනවා වගේ මට පේනවා. මහින්ද රාජපක්‍ෂ මහතාත් මීට එකඟ වී තිබෙනවා. එතකොට කවුද නවත්තන්නේ?

ඔබේ පක්‍ෂයේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් නම් කියන්නේ විධායක ජනපති ධුරය අහෝසි කිරීම සම්බන්ධ ස්ථාවරයකට මෙතෙක් ඇවිත් නොමැති බව?

නෑ. ඔය කියන්නේ අර කළු බැටලු එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. ඒ ගොල්ලො හිතන්නේ වෙනම උරුමයක් තියෙනවා කියලා. ඒවට කිසිම ඉඩක් යූ.එන්.පී. එකේ නැහැ. අපේ ස්ථාවරය අරන් තියෙන්නේ.

සමුළු දෙකකදී පොරොන්දු වුණා.

ඔව් සමුළු දෙකකදී වගේම ඡන්දෙට ආවෙත් ඒකෙන්. ඕකෙන් හැංගෙන්න යන්නේ පක්‍ෂ ස්වරූපයක් නැති කට්ටිය.

ඒ වගේම ජනාධිපති අපේක්‍ෂකම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙ සීතල යුද්ධයක් පටන්ගෙන තිබෙනවා?

නැහැ. කිසිම යුද්ධයක් නැහැ. අහෝසි කිරීම තමයි අපේ අරමුණ. නැති තැනකට දේවල් ඇති කරන්න ඕනෑ.

නමුත් ජනපති අපේක්‍ෂකකම සම්බන්ධයේදී කොටස් දෙක තුනකට කැඩිලා සිටින බව ඔබට පේන්නෙ නැද්ද?

මං කිව්වේ ප්‍රශ්නේ ආයෙත් එන්නෙ එක තැනකට. කණ්ඩායම් ස්වරූපය නැති කට්ටිය තමයි ඕවා කරන්නෙ.

සමහරු කියනව සජිත් ප්‍රේමදාස, සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ කියලා?

අපිට ඕනි දිනන්න මිසක් පරාජය කරන්න නෙමේ. ඔබ කිව්වනෙ නමක්. අපිට ඕනෑ දිනන්න මිසක් පරාජය වෙන්න නොවෙයි.

ඔබ යම් ඉඟියක් නේද දුන්නේ?

ඒක තමයි. දිනන්න තමයි එජාපෙ එන්නේ පරදින්න නෙමේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔබේ ආණ්ඩුවේ වැරැදි 50ක් පමණ ඉදිරිපත් කළා මොකද හිතෙන්නේ?

ඒක එතුමගේ අයිතියක්. එතුමා විපක්‍ෂ නායකනේ. අපේ හොඳ කියන්න පුළුවන්ද? අපේ 50ක් කියනකෙට ඒගොල්ලන්ගේ 500ක් කියන්න පුළුවන්. මං හිතන විදියට මේ කුහක දේශපාලනය පැත්තකට දාලා ඔක්කොම මනුෂ්‍යභාවයෙන් රටක් පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් එක් වුණා නම් මේ රට සුන්දර රටක් වෙනවා.

මට කෙටියෙන් කියන්න මෙවර අය-වැය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?

මේකේ සීමිත සම්පත් අසීමිත ඉල්ලීම්වලට යන දෙයක් වගේම අමාරු ගමනක මුදල් ඇමැතිට අමාරු තියෙනවා. එකක් දුන්නොත් ඇයි දෙකක් නොදුන්නේ. දෙකක් දුන්නොත් ඇයි තුනක් දෙන්නේ නැත්තේ කියන ස්වරූපය තියෙනවා. ඒ අමාරු අවස්ථාවක අපි අය-වැයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි එදා වැටිච්ච ආර්ථිකය හදලා වසර තුන හමාරක් ආ ඍජු මාර්ගය තවම තියෙනවා.

අය-වැය සම්මත කළ දිනම මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැම්මා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිල සූත්‍රය මේ ක්‍රියාත්මක කරන්නේ. ඔබ මෙය අනුමත කරනවද?

මම නම් බොහොම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා මේක අනවශ්‍ය ක්‍රියාවක් අපිට හොඳ ගැන කියන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍ය නැහැ. මේක නිකරුණේ ප්‍රශ්න කරනවා. රජයේ නිලධාරීන් සමඟ එකතුවෙලා නිර්මාණශීලීව අලුතින් හිතන්න බැරි වැඩපිළිවෙළවල් නැති නිසයි ඕවට එන්නේ. ඔය හැම එකකටම සූත්‍ර ඕනෑ නම් ආණ්ඩුවක් ඕනෑ යෑ.

මේ අය-වැය බැලූ බැල්මට පේන්නේ සහන ණය යෝජනා ක්‍රමයක ලියවිල්ලක් බව. රටේ ග්‍රාමීය ණය බරිත භාවය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ණය ගෙවාගන්න බැරිව වැඩිම දිවිනසා ගැනීම් සිදුව තිබෙන්නේ උතුරේ.

මේ අය-වැයෙනුත් එවැනි ණය යෝජනා ඉදිරිපත් කරලා ඇත්තටම ජනතාව අසහනයට පත්කිරීමක් නේද සිද්ධ කරන්නේ?

ඒකේ අසහනයට පත්වීම නොවෙයි තිබෙන්නේ. ඒකෙන් පුළුවන් තරම් අපි ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමක් තියෙන්නේ. මේකේ කිසි වැරැද්දක් නැහැ. මං කලින් කිව්වා වගේ හැම වෙලාවෙම විපක්ෂය පෙන්නන්න හදනවා තියෙන දේට වඩා අඩුවෙන් දුන්නා කියලා. අමාරු අවස්ථාවක ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතුයි.

කෙරවලපිටිය ඹ්ව්ට් බලාගාරය සම්බන්ධ ගැටලුවක් මතුව තිබෙනවා. ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ 63%ක් අයත් විදුලිබල මණ්ඩලයට. එවැනි සමාගමක් තිබියදී ඇයි වෙනත් සමාගමකට පැවරුවේ?

මේක මගේ කාලයේ තිබ්බ එකක් නෙමේනේ. ඊට පෙර හිටපු අමාත්‍යවරයෙක් කරපු දෙයක්. නමුත් ඒ කරපු දේ හරි. හරි දේ මම ඉදිරියට ගෙන යනවා.

ආණ්ඩුව ගෙන ඒමට හදන ප්‍රතිත්‍රස්ත පනත ප්‍රබල මාතෘකාවක් වගේම ඉන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවලට වගේම වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සමස්ත ජනතාවට බලපෑම් එල්ල විය හැකි බව පෙන්නුම් කරනවා. ඔබ මීට අත ඔසවනවද?

අනේ මං ඇත්තටම ඔය ගැන අහලා තිබුණට මං ඔය ගැන තවම අධීක්‍ෂණය කර නැහැ. නමුත් මෙතැන කිසියම් තර්ජනය වන වැඩක් වෙනවා නම් ඒකට සහාය දෙන්නෙ නැහැ. නමුත් එජාපය ඒවගේ දේවල් ගේන්නෙ නැහැ. නමුත් ඕවා කළා වගේම මාධ්‍යයෙන් තර්ජන තිබෙනවානේ. බොරු ප්‍රචාරය කරනවා. දැන් කියනවා විදුලිය ඇනහිටිනවා කියලා. ඕවට මොනවද කියන්නේ. ත්‍රස්තවාදී පනතට වැඩිය අන්තයි ඔය වගේ දේවල්. අපට හොඳ නෑ. ඕගොලලන්ට හොඳයි. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? ඉතින් ඔබතුමියලා අඳුරට ශාප නොකර රටක් හදන්න උදවු කරන්න.

ඔබලා මේ තරම් මාධ්‍යයට චෝදනා කරන්නේ ආණ්ඩුවේ අසමත්කම් වසාගත නොහැකි නිසා නේද?

ඒක මාධ්‍ය කරන බොරුවක්. මේ ගෙන යන බොරු ගමනේ තව එකක් ඔබ මගෙන් ඇහුවේ. කිසිම බයක් නෑ. ඔබතුමිය මෙච්චර වෙලා ප්‍රශ්න ඇහුවේ ඔළුව අතගගා නෙමේනේ. බිත්තියට තල්ලු කරලා ප්‍රශ්න ඇහුවේ.

මොනවද ජනතාවට කියන්න තියෙන්නේ.

මට කියන්න තියෙන්නේ මේ රට හදන්න බැරි නැහැ පුළුවන්.

රටේ යටිතල පහසුකම් ටික බලන්න, උසාවි නඩු තීන්දු වුණත් කල් යනවා වැඩියි. මාධ්‍ය ශීලාචාරව හැසිරිය යුතුයි. අපි උත්තර දෙනවා. නමුත් චරිත ඝාතනය කරනවා. තරුණ තරුණියන් එක්ව අපි රට හදමු. රටක් ගැන මිස මා එන ඡන්දයක් ගැන හිතන පුද්ගලයෙක් නෙමේ

මව්බිම

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *