ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකාව තවත් කල් ඉල්ලයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රීලංකාවේද සම අනුග්‍රහය ඇතිව 2015 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් කාලය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති හිමිකාරීත්වයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමග ඵලදායී ලෙස සහසම්බන්ධවීමේ සහ සංවාදයක් පවත්වාගැනීමේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිපත්තියත් මෙම ක්‍රියාමාර්ගය මගින් තවදුරටත් තහවුරු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජය තවත් වසර දෙකක කාලයක් ඉල්ලා සිටීමට අපෙක්ෂා කරයි.

2017 පෙබරවාරි – මාර්තු මාසවලදී පැවැත්වුණු මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී, 2015 ඔක්තෝබර් 01 වැනි දිනැති 30/1 යෝජනා සම්මතයේ කාලසීමාව වසර දෙකක කාලයකින් දීර්ඝ කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ අනුග්‍රහය දැක්වූ කණ්ඩායම (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ) සමග සමීපව සම්බන්ධීකරණ කටයුතු සිදු කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමගම, ශ්‍රී ලංකාව හා සම්බන්ධ කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ කණ්ඩායමේ නායකත්වය එක්සත් රාජධානියට හිමිව තිබේ. ඒ අනුව අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාලය ලබාගැනීම සඳහා එක්සත් රාජධානිය සමග ශ්‍රී ලංකාව එක්වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වළක්වාලීමට මෙම කාලය ඉල්ලා සිටීමේ උපායමාර්ගය සමත් වනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කල් ඉල්ලා සිටීමේ යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමට එරෙහිව නැඟෙන චෝදනා මහජනතාව නොමඟ යැවීමටත්, අයුතු දේශපාලන වාසි ලබාගැනීමටත් කටයුතු කරන්නක් බවද එම නිවේදනයේ දැක්වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *