රොනී ද මංගල


මෛත්‍රි රාජ්‍ය නායකයා කරවමින් ‘යහපාලන ආණ්ඩුවක්’ ඇති කළා වුවද එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් හැටියට හා ආණ්ඩුවක් හැටියට වෙන්ව, තනිව ඉදිරිපත් කළ අය – වැය ගෙන එන්නට සිදු වූයේ මාතර මහානාම සමරවීරගේත්, ඛේමා පද්මාවතී සමරවීගේත් පුත් මංගල සමරවීරටය. ඒ දැනට වයස 62ක් වූ, දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වී සිටින මාතර ‘ඛේමාගේ කොලුවා’ය.

මෙවර අය වැයෙන් මෛත්‍රිටවත්, මෛත්‍රි වටා සිටින ශ්‍රී ලනිප සාමාජිකයන්ටවත් එම දේශපාලන ව්‍යාපාරයේ කවරකුටවත් කතා කරන්නට බැරි වන තරමට හිර කළ වාතාවරණයක් තුළ මෙම අය – වැය ගැන එක එක කතා තිබිණි. එය ‘ජනතාවට සහන දෙන එකක් වේවි’ ය කියා රනිල් ගේ පිලටත් වඩා සිතා සිටියේ විරුද්ධ පාර්ශ්වයය. ඒ මැතිවරණ වැලක් එක පෙළට පෙළ ගැසෙනා ඉසව්වක තිබීමේ සුවිශේෂතාව නිසාය. සහන නොදී ජනතාව දිනාගන්නට බැරි බව සත්‍ය වුවත් දෙන සහන ඇඟට දැනෙන්නට, හිතට වදින්නට තිබිය යුතු වීමෙන් එහි කුතුහලය වැඩි වෙමින් තිබිණි.

මංගල, ‘ඛේමාගේ කොලුවා’ නමින් ජනගත වුණු සහ පසුගිය පෙබරවාරි 28දා මෛත්‍රිත්, මහින්දත්, චන්ද්‍රිකාත් ඇතුළු බලගතු පිරිසක් ඉදිරියේ රනිල් පොඩි ඉඟියක්ද දී තිබුණේය. ඒ මෙසේය.

‘හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් දෙපැත්තේ ඉන්නවා. එය සතුටට කරුණක්. මංගල සමරවීර මහතා සමඟ එදා පාර්ලිමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන තිදෙනාමත් මෙහි සිටිනවා. මංගල දේශපාලනය පටන් ගත්තෙ මගේ පැත්තෙන් නොවේ. ඔහු මට විද්ධව මාව විවේචනය කළ මුල් පෙළේම චරිතයක්. නමුත් ශ්‍රී ලාංකික අනන්‍යතාව, දේශප්‍රේමී බව වෙනුවෙන් අප එක ස්ථාවරයක සිට කටයුතු කළා. මංගල ඒ නිසා අපේ එම ප්‍රත්පත්ති මත, අප සමඟ වැඩ කරන්න එජාපයට එක් වුණා. අමාරුම කාලයේ අප සමඟ සිටියා. 2015 දීත් විදේශ කටයුතු අමාත්‍යාංශය භාරගෙන රටේ ගෞරවය යළි ස්ථාපනය කළා. හෙට අනිද්දා වන විට මංගල මුදල් ඇමැතිවරයා ලෙස අලුත් අය – වැයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එතුමා ඒ නිසා සිතා බලා අය වැයට පෙර මේ උත්සවය පැවැත්වුවා. ප්‍රශංසා ලැබුවා. අය – වැයෙන් පස්සේ ජනතාව මොනවා කියාවි දැයි දන්නේ නෑ.’

රනිල් එසේ කියන්නට ඇත්තේ බජට් එකෙන් පසු එක එක විවේචනද එන නිසා වන්නට පුළුවන. ඒ නිසාම 77 බලයට පත් ජේ.ආර්. ගේ හයෙන් පහක බලයක් සහිත බලගතුම ආණ්ඩුවේ පළමුවැනි අය – වැය කතාව ඉදිරිපත් කළ අය – වැය කතාවේ පටන් මේ දක්වා අය – වැය කතා අසා සිටි රනිල් එහෙව් කතාවක් කියුවේ නිකමටද වෙන්නට බැරිය. ජේ.ආර්. කාලයක් පුරා ලෝකයේ වෙනස් වෙමින් පවතින ආර්ථිකය කොයි දිශාවට යා දෝ යි ඉව අල්ලමින් සිටි කාලයේ රනිල්ලාද තරුණ ගැටව්ය. හැත්තෑ හතේ ජේ.ආර්. බලයට පත් වන විට රනිල්ගේ වයස 28කි.

ජේ.ආර්.ගේ පළමු බජට් එක රොනී ගෙන එද්දී එය අසා සිටි රනිල් ගේ වයස 29කි. ඒ අනුව වසරක් පාසා එක දිගට අය – වැය කතා ගණනාවක්ම අසා මේ තාක් අසමින් 1977 සිට පාර්ලිමේන්තුවේ රැඳී සිටින දෙතුන් දෙනාගෙන් රනිල් ප්‍රමුඛයාය. මහින්දද ප්‍රමුඛයෙකි. ජයවික්‍රම පෙරේරාද ප්‍රබල සාක්ෂි කාරයෙකි. ඒ නිසා රනිල්ගේ පැත්තේ නොසිටි, රනිල්ට හිටු කියා දේශපාලනමය වශයෙන් ගැසූ, විවේචනය කළ, රනිල්ව ‘මිස්ටර් බීන්’ට ඇන්ද වූ මංගල දැන් රනිල් ගේ මුදල් ඇමැතිය. රනිල්ගේ ආණ්ඩුවේ වගකිව යුතුම හදවත යාවත්කාලීන කරන දේශපාලන වෛද්‍යවරයාය.

මේ කියන මංගල 1977 ආණ්ඩුව පිහිටුවද්දී ඊට ගව් ගාණක් දුරින් වෙනම තැනක සිටියේය. වෙනම ක්‍ෂේත්‍රයක සිටියේය. 1977 ජේ.ආර්. හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවද්දී තරුණයෙක් වූ රනිල් අඩුම වයසෙන් පාර්ලිමේන්තු ගිහින් පළමු අය – වැය කතාව අසා සිටිද්දී මංගලට වයස 21කි. 1956 අප්‍රේල් 21දා උපන් මංගල පනස් හයේ පෙරළිය සිහි කරවන්නට නම නියම වූ වසරක උපන්නේ වුව ඔහු දැන් 56 පෙරළියෙන් සිදු වූ අතුරු ප්‍රතිවිපාකවලට බෙහෙත් දෙන, ආර්ථික ලෙඩ සුවපත් කරන දේශපාලන කඳවුරක ප්‍රමුඛයෙකි.

දෛවෝපගත සිදුවීම නම් මංගලගේ පියා දේශපාලනය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂයෙනි. අනතුරුව 1956 මහජන එක්සත් පෙරමුණ යටතේ බණ්ඩාරනායක බලයට පත් කරන්නට වෙහෙසුණේය. 1956 මාතර අසුන ‘අත’ ලකුණ යටතේ දිනාගන්න මහනාම සමරවීර ඡන්ද 18,571ක් ලබා ගනිමින් එජාපයේ ඩී.එස්. පණ්ඩිත ගුණවර්ධනව පරාජය කොට පැමිණියේය. වැඩි ඡන්ද 11,229ක් දිනා මාතරින් නැඟිටින මහනාම සමරවීර පසුව එක්සත් ජාතික පක්ෂයට ගියේ ඩඩ්ලිගේ දෑත ශක්තිමත් කර එජාප රජය දිනා දෙන්නටය. 1965 ඩඩ්ලිට ශක්තියක් දෙමින් මාතර අසුනට සභාගයකින් ඉදිරිපත්වන මහානාම සමරවීර ‘සූර්යා’ ලකුණින් ඡන්ද 14,287ක් ලබාගත්තද කොමියුනිස්ට් පක්ෂයේ ‘තරුව’ ලකුණින් තරග කළ බී.වයි. තුඩාවේට පරදින්නේය. ඒ ඡන්ද 920ක් වැනි සුළු ගණනකිනි. කෙසේ නමුත් මහානාම සමරවීර යනු දේශපාලන තිරයේ පිටුපස බරපතළ පෙරළිකාරයෙකි. එහෙව් මහානාමගේ පුත්‍රයා වූ මංගලට දැන් සිදුව තිබෙන්නේද තාත්තා ගිය මඟම ගොස් රට හදන බලවේගයක් හැටියට යූඑන්පීය තෝරාගෙන, මාතරින්ම ඡන්ද අරගෙන ජයගෙන දිනා ජේ.ආර්.ගේ බෑනා වූ රනිල්ගේ ආණ්ඩුවේ බරපතළම අය – වැය ගෙනඑන්නටය.

ජේ.ආර්. දුරදිග සිතා බලා, හතර අතේ දිග පළල මැනලා විවෘත ආර්ථික ක්‍රමය මේ රටට හඳුන්වා දෙන්නට සූදානම් වූයේ ඊට ගැළපෙන ක්‍රියාශීලී සහපිරිවරත් සමඟය. ඒ අනුව බලද්දී ජේ.ආර්.ට ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී වැනි ප්‍රමුඛයන් සිටි අතර රනිල්ටද ඒ අනුව තමන්ගේ නියම ගමන පටන් ගන්නට ක්‍රියාශීලී සහපිරිවරක් අවශ්‍යය. එදා රොනීට ජේ.ආර්. පැවැරූ රාජකාරිය ඔහු නියමාකාරයෙන්ම ඉටු කළේය. ඒ වෙනුවෙන් රොනීට හොඳ දැනුමක්ද තිබුණේය. ආර්ථිකය ගැන පමණක් නොව විවිධ විෂයයන් ගැනත්, පරිවර්තන ක්‍රියාවලියක යථාරූපී තත්ත්වයත් රොනී දැන උන්නේය.

1977 ජේ.ආර්.ගේ හයෙන් පහක බලයක් සහිත බලගතුම ආණ්ඩුවේ ආර්ථිකයේ හදවත හදන වගකීම භාර වුණේ රොනී ද මෙල්ටය.

ජේ.ආර්. ට වයස අවුරුදු 72ක් වෙද්දී මේ වගකීම භාරගත් රොනීට ඒ වෙද්දී වයස 52කි. එය හොඳින් තෙම්පරාදු වූ වයසකි. ඒ අනුව පළ පුරුද්දයි දැනුමයි එකතුව රොනී රටේ පරිවර්තනයක් කර පෙන්නුවේය. ආර්ථික කළමනාකරණයට යමක් එකතු කළේය. රොනීට ඒ වගකීම දෙද්දී ජේ. ආර්. අගමැති කළේ ඒ වෙද්දී හොඳින් තෙම්පරාදු වී සිටි ජනප්‍රියම පුද්ගලයා වූ, සාමාන්‍ය පන්තියෙන් හිස එස වූ ප්‍රේමදාසය. ප්‍රේමදාසට 1977 බලයට පත් වෙද්දී වයස අවු. 53කි. රොනීට වඩා ඔහු අවුරුද්දකින් වැඩිමල්ය. ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් නියෝජනය කරන්නට, එම වගකීම වෙළෙඳ හා නාවික කටයුතුවලට නතු කොට ලලිත්ට පවරද්දී ඔහුට වයස අවුරුදු 41කි. මහා වාරි කර්මාන්තයක විස්මිත හැරවුම් ලක්ෂ්‍යයක්, සනිටුහන් කරන බරපතළම වගකීම ජේ.ආර්. පැවැසුවේ ගාමිණීටය. ගාමිණීට ඒ වෙද්දී වයස අවු. 35කි.

ඒ අනුව රනිල්ද දැන් එකින් එක තමන්ගේ ගමනට අවශ්‍ය සහපිරිවර එකතු කර ගනිමින්, තම සටන් පෙරමුණට ක්‍රියාධරයන් කැඳවමින් සිටින බව පෙනෙයි. රනිල්ගේ පිලේ මුදල් ඇමැතිකමට සුදුසු විෂය ගැන දන්නා දෙතුන් දෙනකු සිටියත් ඛේමාගේ කොලුවාටම මුදල් ඇමැතිකම දුන්නේද නිකමට නොවන බව පෙනෙයි. රනිල්ට ඕනෑ කරන්නේ එළැඹෙන ආර්ථික යුද්ධයට සරිලන රටක් නිර්මාණය උදෙසා ශීඝ්‍ර පියවර තබා වහ වහා ඊට අවැසි වටපිටාව හදන්නට පුළුවන් අය සමඟ යන්නටය. ඒ සඳහා වසර කිහිපයක්ම ගත වී ගියේය. ආරම්භයේ පටන් රනිල්ට මේ පිම්ම පනින්න ඉඩ නොතියන කකුල් මාට්ටුකරුවන් රැසක් සිටි අතර ඉන් බහුතරයක් රනිල් සමඟ එක් වී එජාපයේ ගාල් වී ගෙන ආ ආණ්ඩුවේ අයවලුන්ය. ඒ නිසාම සතුරන්, මිතුරන් ලෙස දත් විලිස්සා එකට එක්ව බෙල්ල කපමින් ගමන් ගිය අතර තමන් ළඟම සිටිමින් විශ්වාස කළ නොහැකි තරමට පාවාදීම් සිදු කළ අයද වූහ. මේ කවුරු කවුරුත් රනිල් හොඳින් තේරුම් ගෙන තිබෙන බැව් ඔහුගේ හීන්සීරු ගමනින් හා රට පුරා යමින් කරගෙන යමින් සිටින දෙයින් පැහැදිලිය. ඒ නිසා ඊළඟ ආණ්ඩුවක් ශක්තිමත්ව පිහිටුවන්නට රනිල් කාටත් ඉස්සරින් දැන්ම වැඩ පටන් අරගෙන ඇති බවක් පෙනෙයි. ඛේමාගේ කොලුවා රනිල්ගේ දර්ශනය ප්‍රායෝගිකව මහ පොළොවේ පැළ කරන්න හොඳ දක්ෂයෙක් බව මෙවර අය – වැය තුළින් පෙන්නුම් කර ඇත. එය රනිල් ඇතුළු ඔහු වටා සිටින විශ්වාසවන්තයන් හා ආර්ථික විද්වතුන් මෙන්ම සමාජ අවශ්‍යතා හඳුනාගන්නවුන්ගේ උපදෙස් ද සමඟ මංගල හා කතිකා කරගෙන යහමින් සකස් කළ එකක් බැව් පැහැදිලිය.

මංගල ආර්ථික විද්‍යා විශාරදයකු නොවූවත් ආර්ථික න්‍යායන් මතම රළු තීන්දු තීරණ ගනිමින් ජනතාවට මහා හිසරදයක් දනවන අය – වැය යෝජනාවලින් තොරව යම් සමාජ සාධාරණත්වයක් උදෙසා සහනශීලී බවක් පෙන්නුම් කරන පියවර රැසක් ගෙන ඇත. රජයේ සේවකයන්ට එක්සත් ජාතික පෙරමුණ රජයෙන් ලබා දුන් රු. 10,000ක මූලික වැටුපට එක් කෙරුණු පඩි වැඩිවීමටම සීමා නොවී තවත් රුපියල් 2500ක හෝ දීමනාවක් ලබාදී ඇත්තේ විපක්ෂයට කරකියා ගන්නට බැරි තත්ත්වයක් ඇති කරමිනි. එය එළිපිට නොකීවද අය – වැය දා තේ පැන් සංග්‍රහයේදී ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරු ආණ්ඩු පක්ෂයේ අයට ළං වී කසු කුසු ගෑ හැටියෙන්ම එය තහවුරු වෙයි.

රජයේ සේවකයන්ට රු. 2500 දීමනාව දීමත්, විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ දැමීමට පියවර ගැනීමත් මධ්‍යම පාන්තිකයන් ආකර්ෂණය කර ගත් පියවරකි. විදුලි කාර් බද්ධ පහත දැමීමත්, ත්‍රිවිධ හමුදා කොමාන්ඩෝ දීමනාව වැඩි කිරීමත්, අලුත් ජෝඩුවලට අඩු පොලියට දිගුකාලීනව ගෙවා දැමිය හැකි වන සේ සැකසූ රුපියල් කෝටියක නිවාස ණයත් ප්‍රගතිශීලීය. එය තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කර වූවකි. සමෘද්ධිය තවත් ලක්ෂ 6කට ලබා දීමට තීරණය කිරීමත්, සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උපාධි පාඨමාලා හදාරන්න ලක්ෂ 11ක ණයක් ලබා දීමත්, කුඩා ට්‍රක් රථ මිල පහත දැමීමත්, රණවිරු කුලී දීමනාව දෙගුණ කිරීමත්, උසස් පෙළ විශිෂ්ටයන්ට විදේශ ශිෂ්‍යත්ව සඳහා පහසුකම් ලබාදීම යන කාරණා මංගල මුල් වී මංගල කටයුත්තක් ලෙස ඉදිරිපත් කිරීම එක්සත් ජාතික පෙරමුණට සුබදායකය.

මේ සියලු ප්‍රයත්නයන් පිටුපස මැතිවරණ වසරක් එළැඹ තිබීම සිහිකට යුත්තක් වන අතර මෙම යෝජනා එම ව්‍යායාමයේදී ජයග්‍රහණයන් වෙනුවෙන් උත්තේජක සැපයීමක්ය.

ඒ නිසා රනිල් ඛේමාගේ කොලුවා ලවා කාගේ කාගේත් උපදෙස් මත ඉදිරිපත් කළ අය – වැය දෙස බලද්දී සිහිවන්නේ ජේ.ආර්. 77 බලයට පත්ව රොනී ද මැල් හරහා ඉදිරිපත් කළ සාර්ථකම අය – වැයයි. මැතිවරණ දිනන, ජනතාවට අලුත් ආර්ථික දර්ශනයක් ලබා දෙන අය – වැය යෝජනා එහි තිබුණු අතර රොනී එය ඇල්වතුර බිබී, රහට විස්තර කරමින් කියූ ආකාරයද යළි සිහිගන්වන්නේය.

ජේ.ආර්., රොනී හරහා පැන්න පිම්ම කාටත් වෙනස් කරන්නට බැරි වුවත් කොටි සංවිධානයේ ප්‍රභාකරන්නට නම් එජාප නායකයන් එක පෙළට මරා දමා එම ගමන වළක්වන්නට හැකි විය. දැන් කොටි නැති අතර නැඟිටින කොටින් ගැන කිය කියා ජාතිවාදී විසබීජ පතුරවා යෑමද වලංගු නොවන තැනට කටයුතු යෙදී ඇත.

ඒ අනුව බලන විට ජේ.ආර්.ගෙ හොඳම මුදල් ඇමැති සගයා වූ රොනී ද මැල් ඇල් වතුර බිබී රහකරමින් ඉදිරිපත් කළ 77 පෙරැළිකාර අය – වැය කතාවෙන් දැමූ අඩිතාලමේ දෙවැනි පියවර දැන් රඟදෙන්නේය. එදා රොනී ගහපු දහන් ගැට මෙදා ඛේමාගේ කොලුවා රහ කර කර විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් කීම දෛවෝපගතය. ඒ අනුව බලන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බත් කාපු රොනීලා, මංගලලා අන්තිමට ආර්ථික පිමි පනින්න නතර වුණේ යූ.එන්.පීයේය. රොනී, ජේ.ආර්. යටතේත් මංගල, රනිල් යටතේත් මේ පනින්න හදන්නේ එහෙව් පිම්මක්ය.

සජිත් රෝහිත ලියනගේ
මව්බිම

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *