‘අපට බාර දී ඇති විෂය අපි නිසි පරිදි මමත්, රාජ්‍ය ඇමැතිවරයාත්, ලංවිම ඉංජිනේරුවනුත් ගැටලු ඇති නොවන පරිදි ඉටු කරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ බාහිර පාර්ශ්වයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටලු කියලා. වසර ගණනාවක් පුරාවට මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්න ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, ඒ ප්‍රශ්නවලට වෘත්තිමය පදනමක් තුළින් පිළිතුරු සපයන බව අපට වගකීමෙන් කියන්න පුළුවන්. විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හිඟවීමක් මේ සියල්ලක්ම මුසාවක්. ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි ඒ අභියෝග බාරගෙන, නිර්භීතව කටයුතු කරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ බාහිර පාර්ශ්වයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටලු කියලා’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොළ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැවැති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. මේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී. එම්. එස්. බටගොඩ යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
සාම්පූර් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 200ක ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය මූලික කර ගනිමින් මේ හබරණ විදුලි උපපොළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. දැනට නොරොච්චෝල සිට නව අනුරාධපුරයට සහ වේයන්ගොඩට ගමන් ගන්නා සම්ප්‍රේෂණ මාර්ගයන්හි යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක දී පද්ධතිය තුළ ඇති වන්නා වූ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ විදුලි උපපොළ උපයෝගී කරගත හැකිවේ. 2020 පෙබරවාරි මස වන විට මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මේ හබරණ විදුලි උපපොළ ඉදි කිරීම් කටයුතු අවසන් වන විට සාම්පූර් බලාගාරයේ ද කටයුතු නිමවුවහොත් එය විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රටටම සුවිශාල ආර්ථික වාසියක් සලසා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. දේශීය සමාගමක් වන ඩිමෝ ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන මේ උපපොළ ඉදිකිරීම සඳහා යන වියදම රු. බිලියන 3.5ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ජයිකා ණය ආධාර මත ඉදිකෙරෙන මේ විදුලි උපපොළ අක්කර 16ක රජයේ ඉඩමක ඉදිකිරීම් සිදු කෙරේ.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති කරුණානායක මහතා,
‘කෝටි 150ක ව්‍යාපෘතියක්. 2020 දී අවසන් කරනවා මේ විදුලි උපපොළ ව්‍යාපෘතිය ජන ජීවිතයට උදවු වෙන, ඒ වගේම ආයෝජකයන්ට හොඳ අවස්ථාවක් ලබාදෙන ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය රැඳී තිබෙන්නේ මෙවැනි ව්‍යාපෘති මතයි. මේ නිහඬව රටේ සිදුවන සංවර්ධනයක්.
ඕනම කෙනෙක්ට මගේ අමාත්‍යාංශය සම්බන්ධ ඕනෑම ගැටලුවක් ගැන විමසන්න, කරුණු දැනගන්න මමත්, මගේ අමාත්‍යාංශයත් සෑම මොහොතකම විවෘතයි. මාධ්‍ය ඉදිරියේ බොරු රඟපෑම් නොකර, අවස්ථාව සලසා දුන්නම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ ගැටලු විසඳා ගත්තා නම් වැදගත් නේද? දේශපාලනඥයෙක් වුණාම උදේ ඉඳලා රෑ වෙනකල් චරිත ඝාතනවලට ලක්වෙන්න තමයි වෙන්නේ’ යැයි පැවැසීය.