කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය

 කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ දේශණය

ප‍්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ දේශනය පටන් ගන්නම්.

කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද? යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා කරනවා. ඔවුන්ව විවේචනය කරනවා. පසසනවා. හැබැයි මා මෙතනට ආවේ පරිපාලකයෙක් හෝ දේශපාලඥයෙක් ගැන කතා කිරීමට නොවේ. කරූ ජයසූරිය චරිතය ඒ දෙකට ලඝු කිරීමට සිදු වූයේ නම්, මම ඔහුගේ පොත වෙනුවෙන් පවත්වන මෙම උත්සවයේ දේශනය නොකරන්න තිබුණා. මම ආවේ statesmen කෙනෙක් ගැන කථා කරන්නයි. statesmen යන වචනයට ගැලපෙන ආසන්න සිංහල යෙදුම වශයෙන් මට හමුවන්නේ ධුරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා යන්නයි. අපගේ විශ්වවිද්‍යාල ප‍්‍රජාව නියෝජනය කරමින් කරූ ජයසූරිය නම් ධුරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා ගැන ඔබ ඉදිරියේ මම කතා කරන්නේ ආඩම්බරයෙන්.

දේශපාලඥයෙක් කියන්නේ දේශපාලනය වෘත්තියක් වශයෙන් කරගෙන යන පුද්ගලයෙකු ලෙසට සරලව හඳුනාගැනීමට පුළුවන්. පරිපාලකයෙකු යනු යම් ශිල්පීය ගුණයක් සහිත හා නිල තනතුරක් දරන්නෙක්. එහෙත් රාජ්‍ය තාන්ත‍්‍ර‍්‍රිකයා යනු කවරෙක් ද? කෙටියෙන් කියනවා නමි රාජ්‍ය තාන්ත‍්‍රිකයා යනු දුර දැක්මක් ඇතිව තමන්ගේ රටේ සමාජයේ යහපැවත්ම වෙනුවෙන් කැපවන විචක්ශණශීලි ලෙස සමාජ ගැටලු දෙස බලන්නෙක්.  

19 වන සියවසේ විසූ විශිෂ්ඨ ජර්මානු දේශපාලන විද්‍යාඥයකු වන බියන්ස්ලි ට අනුව උසස් සහ විශ්වීය සමානත්වයකින් ක‍්‍රියාවට නැගිය යුතු දේශපාලනය අයත්වන්නේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ටයි. මන්ද උසස් ලෙසත් සමානත්වයෙන් යුක්තවත් මිනිසුන් වෙතට ගෙන යා යුතු භාවිතාවක් වශයෙන් දේශපාලනය ක‍්‍රියාවට නැගිය හැක්කේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට පමණක් බැවිනි. කරු ජයසූරිය නැමති චරිතය තුළ මා දකින්නේ අද යුගයේ එබදු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. එම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නිහාල් ජගත්චන්ද්‍ර විසින් මෙම පොත හරහා එළියට ගෙන තිබේ ද? යන්න තමයි මගේ දේශනය ඔස්සේ සාකච්ඡා කරන්නේ.

කරූ ජයසූරිය යන චරිතය ධුරදර්ශි ප‍්‍රවින පරිණත රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස මෙම පොත හරහා හඳුන්වා දෙන්නේ කෙසේ ද?. මෙම ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දීමට යන විට එංගලන්තයේ රජු හා පාර්ලිමේන්තුව අතර 17 වන ශතවර්ශයේ පැවති ගැටුම පිලිබදව මතක් වෙනවා. එහිදී එංගලන්ත රජු ඉදිරියේ කතානායකවරයා ක‍්‍රියා කළ ආකාරය හා ඔහු තම මන්ත‍්‍රීවරුන් රැකගැනීමට ඉදිරියට පැමිණි ආකාරය පිළිබද කතන්දරය මතක් කල යුතුමයි. අද අපි කතා කරන”පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල ඉතිහාසය” ආරම්භ වන්නේ එතනින්,

2018 වර්ෂයේ ලංකාවේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුම මෙම පොතෙහි පිටු 459 සිට 481 දක්වා විග‍්‍රහ කොට තිබෙනවා. මෙම කොටස පටන් ගන්නේ, ”කරූ අගමැතිකම එපා කියයි” යන පරිච්ඡේදය යටතේයි. ඒ අනුව ඔහු අගමැතිකම ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාත්, මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් හමු වී පවත්නා අර්බුදය නිම කර ගැනීමට සාකච්ඡා කළ බව පොතේ දක්වනවා.

උපුටා ගැනීම පිටුව 460

”මම එම දෙපාර්ශවයට වෙන වෙනම කරුණු පැහැදිලි කිරීමෙන් පමණක් නොනැවතී එක වතාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාත් කැඳවාගෙන ජනපති හමුවීමට ගොස් මේ බව කියා සිටියා. මම එහිදී ඔවුන් දෙපොලටම පෙන්වා දුන්නා මේ තත්වය වහාම සමනය කර නොදුන්නහොත් ආණ්ඩුව තුළ ලොකු අවුලක් ඇතිවීමට තිබෙන අවධානම ගැන, ඒ අවස්ථාවේ ඔවුන් දෙපොළම ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූවත් එම සංහිඳියාව පැවතුණේ ඉතාමත් සුළු කාලයයි.”

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම අගමැතිකම ලබා දීමට ඇවිටිලි කළ ආකාරය පිටුව 461න් උපුටාගතහොත්,

”කරූ මට බෑ මේ තත්ත්වය යටතේ රනිල් එක්ක ආණ්ඩුව ගෙනියන්න. ඒ නිසා ඔයා අගමැතිකම භාරගන්න. මම හෙටම ඔයා අගමැති හැටියට පත් කරන්නම්.”

මෙම පොතේ දී කරු එය ප‍්‍රතික්ෂේප කළ ආකාරය විග‍්‍රහ කරනුයේ ජනමතයකින් තොරව එවැනි තනතුරු ලබා ගැනීමට අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නොතිබූ නිසා බවයි.

නමුත් 2018 ඔක්තෝබර් 26 ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව දැනගත් විට කරූගේ සිතුවිලි පොතේ පිටුව 464 හිදී මෙලෙස ගෙනහැර දක්වයි.

”ඒ සිද්ධිය දැනගත්තට පස්සේ මගේ සිතට පුදුම කම්පනයක් ඇති වුණා. මොකද එය ව්‍යවස්ථා විරෝධී හා සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් ලෙසයි එය මට පෙනුණේ.”

මේ තත්ත්වය මත රාජ්‍ය නායකයා හමු වී කතානායකවරයා තම ස්ථාවරය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස එඩිතරව මැනවින් ප‍්‍රකාශ කරනවා. උපුටා ගැනීම පිටුව 466.

”නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අභිනව අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වුව ද ඔහු ඉතා ඉක්මනින් තමාට පාර්ලිමේන්තුවේ අති බහුතරය පිළිබඳව තහවුරු කළ යුතු බවයි. එහෙම නැති වුණොත් මට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්න බැහැ. ඒ අනුව මගේ විරුද්ධත්වය මට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න වෙනවා යි” ජනාධිපතිවරයාගේ මුහුණටම කියා පැමිණීමෙන් පෙන්වන්නේ ඔහු තුළ පවතින රාජ්‍ය තාන්ත‍්‍රිකභාව සහ එඩිතරකමයි.

මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ හැල හැප්පීම් සහ මහජන නියෝජිතයන්ගේ නිර්ලජ්ජිත හැසිරීම් මෙම පොතෙන් ගෙනහැර දක්වන්නේ මෙලෙසින්. උපුටා ගැනීම පිටුව 478,

”මම දන්න හැටියට අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙනත් කිසිම දවසක මේ වගේ විදියේ අප‍්‍රසන්න සිද්ධියක් ඇති වෙලා නෑ. මට ආරංචියි සමහර සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇසිඞ් ගහන්නත්, මඟදී මට බෝම්බ ගහන්නත් සූදානමින් සිටියා කියලා”

ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබදව අනාගත පරපුර ලියනවිට සහ කියවනවිට වඩා වැඩියෙන් කතාකිරිමට සිදුවනුයේ එදා කතානායක ලෙස පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය වෙනුවෙන් ඔබ කි‍්‍රයාකල ආකාරයයි. මෙය සුවිශේෂි අරගලයක් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් ද එම ආයතනය සතු ව්‍යවස්ථාදායක බලයට එරෙහිව කි‍්‍රයාකරන විට ඔබ එම ආයතනයේ ගරුත්වය ආරක්ෂා කිරිමට පෙනි සිටිමයි. 

එඩිතරව සහ නොබියව ගැටුම් මෙන්ම අර්බුදවලට මුහුණ දීම තුළ මා දකිනුයේ කතානායකවරයා සොඳුරු ආඥාදායකයෙකු ලෙස ඇතැම්විට හැසැරුණු බවයි. ඔහුගේ ඒ සොඳුරු බව ඇතිවන්නේ මෙම පොතේ අත්තනගලූ විහාරය (පිටුව 24) හා දෙමව්පියන්ගෙන් ලද බෞද්ධ හා ජාති හිතෛෂී හැඟීම් (පිටුව 31) වගේම ඔහු තුළ වර්ධනය වෙමින් පැවති ස්වියත්වයයි. පෞරුෂත්වයයි.

පිටුව 33 දී ඉතාමත් රසවත් ආකාරයට කතුවරයා කරූ ජයසූරිය මහතාගේ ළමා විය විස්තර කරයි. එහි එක් කරුණක් පිළිබඳව මා සිත් ගත්තා.

”තම මව සූප්පුවෙන් කිරී බීම නතර කරන්නැයි තම පුතාට කීව ද, සිඟිත්තා ඇඬූ කඳුළින් කියා සිටියේ තමාට සූප්පුවෙන් කිරී බීමට නොහැකි නම්, තමා පාසලට අඩියක්වත් නොතියන බවයි”

ගැටුම් පිළිබඳව විශ්ලේෂණයේ දීගැටුමට සම්බන්ධ පාර්ශව විවිධ ස්ථාවර විසින් පවත්වාගෙන යයි. කරූ ද පෙර කී ආකාරයට ජනාධිපතිගේ මූණට ඍජු ලෙසම ප‍්‍රකාශ කරනුයේ එතුමාගේ කුඩා කළ සිට ඔහුගේ පෞරුෂය තුළ හෝ ස්ත‍්‍රි-පුරුෂ සමානාත්මතවයට අනුව යමින් කියන්නේ නම් තම ස්වියත්වය   (Personality) තුළ පැවති තද ස්ථාවරය මත පිහිටා ක‍්‍රියා කිරීමයි. මේ වනවිටත් දිගහැරෙන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ දි ද ඔහු ගන්නේ එවැනිම ස්ථාවරයක්. ඔහු වෙත පැම්ණෙන දෙපාර්ශවයටම කියන්නේ එකම දෙයයි. ඔබ දෙපාර්ශවයම සමගිව මගෙන් ඉල්ලීමක් කලහොත් එය සිතා බලන්නම්. මෙවැනි නිවැරදි තද ස්ථාවර මත පිහිටා කී‍්‍රයා කිරිම ඔහුගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක්.

ඔහු තුළ පැවති විශේෂයෙන්ම අද යුගයේ තරුණ පරම්පරාවට සහ ඊලග පරම්පරාවට ආදර්ශයට ගත හැකි ජනවර්ග අතර එකමුතුකම කරූගේ බලාපොරොත්තුවක්. මෑතකදී පවා මහ නා හිමිවරුන් හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට වැසියන් ජන වර්ගය මත හෝ ආගම් මත බෙදී යාමේ ප‍්‍රවණතාවය ඉතා කණගාටුදායක බවයි.

උපුටා ගැනීම පිටුව 34,

කරූ කන්දගමුව විද්‍යාලයේ ඉගෙනුම ලබන විට තමන් ගම්මුලාදෑනියාගේ පුත‍්‍රයා වූවත් දෙමළ ළමුන්, කම්කරු පවුල්වලට අයත් ළමුන්, සිටිය ද ඔවුන් සියල්ලන්ට එක සේ සමානව සැලකූ අන්දම මෙම පොතෙන්  විස්තර කරයි’. ඒ ළදරු වියේ ලබපු අත්දැකීම් තුළ මට හමුවන පරිණත සහ ධූරදර්ශී රාජ්‍ය තාන්ත‍්‍රිකයාගෙන් එවැනි ලක්ෂණ අදත් හඳුනා ගැනීමට ලැබෙනවා.

කරූ දේශපාලනයේ දි  තමාගේ කල්ලියක් හෝ තමාගේම අනුගාමිකයන් හෝ හෙන්චයියන් හදා ගත්තේ නෑ. ඒවා ළදරු වියේ සිටම මතු වූ ගුණාංගයි. ඒ එකින් එක විස්තර කිරීමට කාලය හරස් වන බැවින් මෙතන සිටින යොවුන් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පොතේ ඇති දේවල් ඉතා විචාරශීලීව සහ අද අපි දකින කරූට ඔහුගේ ළදරු වියේ සිට පාසැල් අධ්‍යාපනය අවසන් කර Harrison and Cross Field සමාගමේ රැකියාවක් කිරිමේ සිට කතානායක ධුරය දක්වා පැමිනි මග හරිම රසවත් ආකාරයට මෙම පොතෙන්  විස්තර කරනවා. මෙම පොතේ තවත් රසවත් කතාවක් මෙම සභාවේ සිටින යොවුන් පාර්ලාමේන්තුවේ මන්ත‍්‍රිතුන්ලාට ද පොදුයි කියා මට සිතේ. පිටුව 76

දැන් ඔන්න මම සති අන්තයේ හවස්වරුවේ මෝටර් සයිකලයෙන් ගෙදර යනකොට කඩවත රංමුතුගල හරියේ දි පාරෙන් ටිකක් එහාට වෙන්න පොඩි කදු ගැටයක් උඩ තියන ගෙයක් පේනවා. එතනදි මට හිතෙනවා මම කවදා හරි කසාද බදින්නේ මෙන්න මේ ගෙදරින් ගමයි කියලා.. ඉතිරි ටික දැනගන්න පොත කියවලා බලන්න. .

කරුගේ ආදරය, විවාහය, සැම්යාගේ භුම්කාව, ආදරණිය පියෙක් ලෙස කටයුතුකරන ආකාරය ද මේ පොතින් පාඨකයාට පැහැදිළි කරනවා.

කරූගේ විදේශීය රටවල් සමඟ සිදු කරන ලද රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු විශේෂයෙන් කතානායක ධුරයට පසුව ඔහුට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම් ආදිය මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස මහ නා හිමිවරුන් ඔහු ගැන කියන කතා පාර්ලිමේන්තුවේ ඔහු කරන ලද කතා ආදියෙන් ද වර්ණවත් වූයේ නම් මෙම පොත තවදුරටත් රසවත් වේවි. එහෙත් එහි වරද කතුවරයාගේ නොවේ. එහි වරද ඇත්තේ මේ පොතට පාදක වු චරිතයේ යි.

රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස ක්ෂේත‍්‍ර ගණනාවක් පුරා විසිරුණු කරූ ජයසූරිය චරිතය එක් පොතකින්, පරිච්ඡේද කිහිපයකින් කෙසේ නම් ලියා හමාර කරන්න ද ? එනිසාවෙන් නිහාල් ජගත්චන්ද්‍ර මේ ගත්ත උත්සාහය ප‍්‍රශංසනීයයි.

කාලය කෙටි වුවත් මේ ටිකත් කිව යුතුම වෙනවා. කරුගේ මනුස්සකම නැත්නම් මානව හිතවාදිබව සහ අවංකකමත් අනෙකාට සවන්දිමේ ගුනාංගයත් නිසා අද මෙතැනට කි දෙනෙක් පැමිණ ඇත් ද ?

එය මේ පොතෙන් උපුටා ගනුයේ මෙසේ යි.

යම් දිනෙක කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි නොදෙන කිසිදු නිතිඥයෙකු පෙනි නොසිටින නඩුවකට මුහුණ දිමට සිදුවනු ඇත. 

සොබා දහම නැමති විනිසුරු දෛවයේ විත්ති කුඩුවට නංවා අසන එම නඩුවේ සාක්ෂි දිමට සිටින එකම සාක්ෂිකරු හෟදය සාක්ෂිය පමණකි.

එදිනට හෟදය සාක්ෂිය තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ජිවත්වන නිර්දෝෂි මිනිසෙකු විම මාගේ දර්ශනය විය.

එදා 2015 දි ජනාධිපතිවරණය සදහා සෝභිත හිම්ගේ පළමු තේරිම වුයේ ද කරු ජයස්රිය වුයේ ද මේ නිසාම විය හැකියි. එය යථාර්ථයක් වුයේ නම්, පොඩිඩක් ඔබ සිතන්න. 

එමෙන්ම කරූ ජයසූරිය චරිතය තුළින් කල්ලිවාදයක් හෝ දෙබිඩි පිළිවෙතක් හෝ deal දේශපාලනයක්  අප දකින්නේ නෑ. නමුත් මේවා  බොහෝ දේශපාලඥයන් තුළ අද දක්නට ලැබෙන ලක්ෂණයන්. ඔවුන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ලෙස හඳුන්වන්නට අපට නොහැක්කේ ඒ නිසායි. කරූ ජයසූරිය නම්, යුග පුරුෂයාගේ චරිතය, වර්තමාන දේශපාලන නායකයන්ගේ ආධ්‍යාත්මය සකස් කරන විශිෂ්ට චරිතයක් බව මේ පොත තුළින් හඳුනාගත හැකිය.

එනිසාවෙන් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය තන්ත‍්‍රයේ යුග පුරුෂයාණෙනි, ඔබ හට විශ‍්‍රාම සුවයක් දිය නොහැකිය. ඔබ අපේ පරම්පරාවටත්, ඊළඟ පරම්පරාවටත් යා යුතු දේශපාලන මාර්ගය තව දුරටත් පෙන්වා දිය යුතු නොවේ ද ? විශේෂයෙන් අද ජරාජිර්ණ තත්ත්වයට පත් වි තිබෙන දේශපාලනය සහ සමාජ චර්යාව වෙනස් කිරිම සඳහා සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට සාධනීය මැදිහත් වීමක් කරන ලෙසට ඔබට සිවිල් පුරවැසියන් ලෙස අපි බල කර සිටින්නෙමු.

චිරං ජයතු. නන්රි, ස්තුතියි !

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *