දුර බැහැර පෙදෙස්වල වී අස්වැන්න මිල දී ගැනීමේ කටයුතු ජංගම රථ මගින්

මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමගම රජය වී මිල දී ගැනීමේ වැඩසටහන ද ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ගොවීන්ව සූරාකෑමේ අවස්ථාව අවම වී ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට තෙතමනය සහිත වී ද රජය මිල දී ගැනීම ගොවීන්ට මහත් පහසුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (12) තලාව වී ගබඩා සංකීර්ණයේ කළ සංචාරයක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මේ වන විටත් ගොවීන් සිය වී අස්වැන්න රජයේ ගබඩා වෙත ලබා දීම ආරම්භ කර ඇති අතර අමාත්‍යවරයා කියා සිටියේ මෙම මස අවසානය වන විට සැලකිය යුතු වී අස්වැන්නක් රජයේ ගබඩා වෙත ලැබෙනු ඇති බවයි.

කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙනුවෙන් රජය කැපවන බවත් ඒ සඳහා කළ යුතු සියලු කටයුතු ඉටු කිරීම අපේක්ෂාව බවත් හෙතෙම පෙන්වා දෙයි. රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගොවීන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැති බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩසටහනේ කිසිදු ප්‍රමාදයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.

දුර බැහැර ප්‍රදේශවල අස්වැන්න මිල දී ගැනීම සඳහා ජංගම රථ යෙදවීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර ඇත. ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලැබේ.

පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියලුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබේ.ගොවීන්ට වඩාත් පහසුවෙන් වී රජය වෙත ලබාදීම සඳහා පහත ආකාර දෙකට වී මිලදී ගැනීම සිදු කරනු ලැබේ.

වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14%  කින් යුතු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර එම  වී සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක් ගොවීන්ට ලබා දෙනු ඇත.

එසේ ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව තෙතමනය 14% ඉක්මවන උපරිම තෙතමනය 22% නොඉක්ම වු වී කිලෝ ග්‍රෑම් එකක් රු.44 කට මිලදී ගැනීමට කටයුතු කර ඇත.එසේම,මෙම ක්‍රියාමාර්ගය තුළ තෙතමනය 14% ක් වු නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 කටද මිලදී ගනු ලැබේ.

ගොවීන් විසින් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිල දී ගන්න උපරිම වී ප්‍රමාණයන් ද රජය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අක්කර 1 දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1000 දක්වා ද, අක්කර 1 සිට 3 දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් කිලෝ ග්‍රෑම් 3,000 දක්වා ද, අක්කර 1 සිට 5 දක්වා වගාකර ඇති ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 5,000 දක්වා ද වී තොග රජය මගින් මිල දී ගනියි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රු.මි 3,830 ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.