මෛත්‍රීපාල සිරිසේන මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා – ඇමති ප්‍රසන්න

මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු         වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා පොහොට්ටුව හා එහි නායකයන්ව රැකගැනීම සදහා දොරටු පාලකයෙකු වීමට වුවද තමන් සුදානම් බව ද කීවේය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ උපාධිධාරින් ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (23) පැවති රැස්‍වීමක දී රණතුංග මහතා  මේ බව සදහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපාධිධාරින් සංගමයේ මිනුවන්ගොඩ ශාඛාව රැස්වීම සංවිධානය කර තිබුණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

‘සජිත් ඇතුළු දේශ ද්‍රෝහී නඩය පරීපූරක ඇස්තමේන්තුව පරද්දන්න උත්සාහ කළේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන එක නවත්තන්න, අ.පො.ස (සා/පෙ) දක්වා ඉගෙන ගත්ත ලක්ෂයකට රස්සා දෙන එක නවත්තන්න. අපි මේ පරිපූරකය දැමීමේ 2019 වර්ෂයේ සිදු කර තිබු වැඩ වලට අදාළව මුදල් ගෙවන්නයි. පසුගිය ආණ්ඩුව මේ රටේ පොහොර ආනයනකරුවන්ට ඉදි කිරීම් සමාගම් වලට කෝටි ගණන් පොලු තියලා. මේ නිසා මේ සමාගම්වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරමට ම වැටිලා. මේ පඩි ටික ගෙවලා ජනතාවට සහන සලසන්නයි අපි උත්සාහ කළේ. හැබැයි සජිත්ලා ඒකට බය වුණා. සජිත්ලා මොන උප්පරවැට්ටි දැම්මත් අපි අපේ ගමන යනවා. ඒ නිසා උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන වැඩපිළිවෙල කිසිසේත් නතර වෙන්නේ නෑ.

මේක පොදුජන අරගලයේ අවසන් සටන. මේක පොහොට්ටුවට, පොහාට්ටුවේ නායකයන්ට කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වෙන වෙලාව. නායකයන් ව තනි කරන්න හොද නැති වෙලාවක් මේක. මොකද කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වුණොත් ජනතාව අපෙන් ඈත් වෙනවා. මං පසුගිය දවසක එහෙම ආපු කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ගැන කිවුවාම කාටුන් චිත්‍ර ශීල්පීන් මගේ බඩ එහෙම දාලා මාව දොරටුපාලකයෙකු වගේ ඇදලා තිබුණා. මාව පොහොට්ටුවේ දොරටු පාලකයා වගේ ඇන්දාට මං ඒ චිත්‍ර ශීල්පීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද ජනතාව වෙනුවෙනුයි මම ඒ දොරටුපාලකකම කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා. කලාකාරයන්ට ගහපු, ගුරුවරු දණ ගස්වපු අයට ඡන්දය ඉල්ලන්න දුන්නේ මෛත්‍රී. රණවිරුවෝ හිරේ දැම්මේ, ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ, මහා බැංකුව මංකොල්ල කෑවේ පසුගිය ආණ්ඩුවෙන්. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව.

එහෙම කරපු ආණ්ඩුවේ එක නායකයෙක් ඔය  මෛත්‍රීපාල සිරිසේන. ඒ වගකීමෙන් මිදෙන්න ඔහුට බෑ. අපි අහිංසක ශ්‍රී ලංකාකාරයෝ අපි එක්ක එකතු වෙනවාට විරුද්ධ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම ගැන අපිට ප්‍රසාදයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම එවපු නිසා එකතු කර ගත්ත බව මහින්ද මහත්තයත් කිව්වා. කොහොම වුණත් ජනාතාව ඉදිරි මැතිවරණයේ දී මේ වගේ අය ගැන තීන්දුවක් ගනිවි යැ‘යි අපි හිතනවා. ’

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහිදී කථා ක‍ළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.