ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් ඉන්නේ ශ්‍රී ලංකාවේ

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂ ව එය ඉතා අඩු කාලයක් බව ද සඳහන් කරන අමාත්‍යවරයා, එසේ තිබිය දීත් ප්‍රාථමික ශ්‍රේණිවල සිට ම දරුවන්ගේ දැනුම විභාග මතින් පරීක්ෂා කිරීමට තවමත් අප යොමුව සිටීම වෙනස් විය යුතු තත්ත්වයක් බවත්, පින්ලන්තය වැනි ලෝකයේ අධ්‍යාපනය අතින් දියුණු රටවල ප්‍රාථමික පන්තිවල දී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බව ද පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

රටේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ද ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ද සුවිශේෂ අභිප්‍රායක් වූ බවත්, විශේෂයෙන් ම පසුගිය ආණ්ඩු සමයේ මෙන් පාට, පක්ෂ, දේශපාලන හිතවත්කම්, ආදී භේද නොසලකා සියල්ලන්ට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් ඉංග්‍රීසි, ගණිතය, විදේශ භාෂා, සෞන්දර්ය, විද්‍යාව, තාක්ෂණය, ආදී විෂයයන්ගෙන් උපාධි ලැබූ සියලු උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී මෙරට පාසල් පද්ධතියි තුළ දැනට පවත්නා ගුරු හිඟය තුරන් කළ හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.