
ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ලබා දුන් සාධනීය විසඳුමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතව සිටින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිස එම උද්ඝෝෂණය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ.
කොන්ත්‍රාත් කාලය අවසන් වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිසක් සහ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර සාකච්ඡාවක් (26 දින) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා උද්ඝෝෂණයේ නිරත වන පිරිස අතරින් 22 දෙදෙනෙකු සහභාගී වූ අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීම මත කෙටිකලක් තුළදී මෙම අවස්ථාව ඔවුන් සඳහා ලබා දෙන ලදි.
මෙම සාකච්ඡාවට සහභාගී වූ පිරිස සඳහන් කර සිටියේ මේ වන විට තමන් ඇතුළු 2000 කට ආසන්න පිරිසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සේවයෙන් ඉවත් කර ඇති බවත්, තමන් සියලු දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙසත්ය.
රාජ්‍ය සේවය තුළ දින 180 කට වැඩි කාලයක් කටයුතු කර ඇති අය ස්ථිර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේකයක් නිකුත් වී ඇති බවත්, තමන් සියලු දෙනා දින 180 කට වැඩි කාලයක් සේවය කර ඇති බැවින් එය පදනම් කර ගනිමින් තම පිරිස සඳහා නැවත රැකියා ලබා දෙන ලෙසත් ඔවුන් මෙහිදි ඉල්ලා සිටියහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉවත් කළ පිරිස 2000 කට ආසන්න වුවද මේ වනවිට ස්ව කැමැත්තෙන් රැකියාව හැරගිය පිරිස හැරුණු විට දැනට ඉතිරිව ඇත්තේ 1000 කට අඩු පිරිසක් බවද ඔවුන් පවසන ලදි.
දින 180 කට වැඩි කාලයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු කර ඇති තමන් සියලු දෙනා පසුගිය ආණ්ඩුව විසින් ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින අතර පැවැති ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ නියෝග මත එම කටයුතු නතර කළ බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙහිදී අමාත්‍යවරයා ඔවුන්ට පෙන්වා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ මෙම පිරිස වත්මන් ආණ්ඩුව විසින් සේවයෙන් පහ නොකළ බවත්, කොන්ත්‍රාත් කාල සීමාව අවසන් වීම හේතුවෙන් ඔවුන්ට ඉවත් වීමට සිදු වූ බවත්ය. පසුගිය ආණ්ඩු සමයේදී මෙම සේවකයින් ස්ථිර කරනවා යැයි පවසා ඔවුන්ට ලබා දීමට සුදානම් වී ඇත්තේ නිසි පත්වීම් ලිපියක් නොව එහි ආකෘතියක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ දින 180 ට අදාල චක්‍රලේඛය පිළිබඳව සමාලෝචනය කර ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත සුදුසුකම් සපුරා ඇති අයට රැකියා ලබා දීමට හැකි බවයි. මේ වන විට රැකියාව අහිමි වී ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලු දෙනා සඳහා එම අධිකාරියේ හෝ වෙනත් ආයතනයක රැකියාව ලබා දීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ඔවුන්ට පැවසීය.
අමාත්‍යවරයා විසින් සිදු කළ යෝජනාවට කැමැතිද නැතහොත් වෙනත් ඉල්ලීම් තිබේද කියා මෙහිදී අමාත්‍යවරයා ඔවුන්ගෙන් විමසා සිටියහ.
එහිදී ඔවුන් පැවැසුයේ මේ වනවිට මෙම පිරිසට රැකියාව අහිමිවීම නිසා සිංහල අලුත් අවුරැද්ද සැමරීමට නොහැකි වී ඇති අතර මේ හේතුවෙන් තම දරු පවුල්ද අනාත වී ඇති බවයි. එම නිසා ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මැතිවරණය අවසන් වන තුරු නොසිට ඊට පෙර එනම් සිංහල අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් කොන්ත්‍රාත් පදනමින් හෝ තමන් ඇතුළු පිරිස නැවත සේවයට බදවා ගන්නා ලෙසයි. එවිට පසුගිය ආණ්ඩුව සමයේදී ලබා දුන් නිවාස ණය වලට අදාල ණය වාරික යම් කිසි ඉලක්කයක් මත අයකර ගැනීම සඳහා තමන් ඇතුළු පිරිසට හැකි බවයි. එහිදී නිවාස වාරික අයකර ගැනීමෙන් තමන්ට හිමිවන කොමිස් මුදලින් ආයතනයට බරක් නොවී අලුත් අවුරුදු සැමරීමට හැකියාව උදාවන බවයි. එම නිසා මේ පිළිබඳව ඔබතුමන් මානුෂිය ලෙස සිතා බලා තමන් ඇතුළු පිරිස සඳහා නැවත රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
සාකච්ඡාවට සහභාගී වූ පිරිස මෙහිදී පවසා සිටියේ හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් තමන් ඇතුළු පිරිසට කොන්ත්‍රාත් පදනම මත රැකියා ලබා දුන් බවත්, ඒවා නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් මේ වනවිට තමන් ඇතුළු පිරිසට සේවය අහිමි වීම නිසා පීඩාවට පත්ව ඇත්තේ තමන් බවත්ය.
හිටපු නිවාස අමාත්‍යවරයා තමන් ඇතුළු පිරිසගේ සේවය ස්ථිර නොකිරීම නිසා තමන් අනාථ වී ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සියලු දෙනා හිටපු නිවාස ඇමැතිවරයාට ඡන්දය ලබා නොදෙන බවත්, එතුමට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවත් මොවුන් පැවසීය. හිටපු නිවාස ඇමැතිවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම පිරිස සමඟ මේ වනතුරු කතා නොකළ බවද මොවුන් මෙහිදී පැවැසීය.
පසුව අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ පිරිස අතරින් නැවත රැකියාව සිදු කිරීමට කැමැති අය පිළිබඳව විස්තර කඩිනමින් දිස්ත්‍රික් මට්ටමින් ලබා දෙන ලෙසත්, එවිට මෙම පිරිසට රැකියා ලබා දීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි බවත්ය.
තමන් සඳහා සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් සහ තම ගැටළුවට සාධනීය විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් නිවාස රාජ්‍ය අමාත්‍යතුමාට, අගමැතිතුමාට, ජනාධිපතිතුමාට සහ රජයට තම පිරිස ස්තූතිය පුද කර සිටන බවද මොවුන් මෙහිදී පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්තුමා, මාධ්‍ය ලේකම්තුමා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරීතුමා ද සහභාගී වූහ.