සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ සෙසු අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසය. එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වා සහ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස කඩිනමින් ඉදිකර අවසන් කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.

එමෙන්ම ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කළ යුතු බව කී ජනාධිපතිවරයා නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන්කර එම ප්‍රදේශයේ මාර්ග තදබදයට විසඳුම් ලබාදිය යුතු බවද සඳහන් කළේය.

මෙම මාර්ග පද්ධති ඉදිකර අවසන් වූ පසුව මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවයක් ඇති ආර්ථික කොරිඩෝවක් නිර්මාණය වන බවද ජනාධිපතිවරයා එහිදී කීය.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය කළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවෙල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ නගරය දෙසට උදෑසන සහ සවස පවතින අධික මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් සොයන ලෙසටද නිලධාරීන්ට උපදෙස් දුන්හ.

එමෙන්ම කොළඹ නගරයට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසිය යුතු බවත් ඉදිකිරීම් වලදී විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානිය නතර කිරීමට සියලුම ආයතන සමඟ එකාබද්ධව ක්‍රියා කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාර්ග ඉදිකිරීමට සමාන්තරව පොදු ප්‍රවාහන සේවා දියුණු කළ යුතු බව කී ජනාධිපතිවරයා මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමත් සුඛෝපබෝගී බස් රථ සහ පාසල් රථ සේවාවන් විධිමත් කිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරිණ.

මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර,මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර් ආටිගල, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහත්වරුන් ඇතළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.     

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.