අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්

දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) සහ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇය මෙසේද සදහන් කළාය. ‘මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්නවීම, ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ජාව ආදී තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා හැකි නම් මේ දින කිහිපය තුළ සියලු ක‍්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සීනි අධික බීම පානය කිරීමෙන් වැළකීම, එළිමහනේ යනවිට කුඩයක් භාවිතා කිරීම, දෛනිකව වැඩිම උෂ්ණත්වයක් පවතින උදෑසන 11.00ත් සවස 03.00 ත් අතර කාලයේදී හිස්වැසුමක් භාවිතා කිරීම, සැහැල්ලූ කපු ලා පැහැති ඇඳුම් පාවිච්චි කිරීම, අවදානමක සිටී නම් ප‍්‍රථමාධාර ලබා දීම සහ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීම ආදිය මගින් මෙම තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැකියි.

මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් මරණයට පවා පත්ව ඇති නිසා මෙම උවදුරෙන් මිදීම සඳහා දිගුකාලීන මෙන්ම කෙටිකාලීන පියවර අනුගමනය කළ යුතුයි.

මීට අමතරව රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් යැවීමෙන් වැළකීම, පාසල්වල පන්ති කාමරයන්හි ජල බඳුන් තැබීම, විදුලි පංකා ඇත්නම් භාවිතය හා දොර ජනෙල් විවෘත කර හොඳින් වාතාශ‍්‍රය ලැබීමට සැලැස්වීම ආදී පියවරයන් ද අනුගමනය කළ හැකි බව වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *