අපේ හෙළ වටිනාකම් බැහැර නොකළා නම් අද අපිට කොරෝනා භීතියක් නෑ

වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය.

මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති  ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය වර්තමානය වනවිට  සෑම සමාජ තලයකම බොහෝ දෙනෙකු භීතියට පත්කිරීමට ඉහත කාරණා ඍජුවම හේතු වී ඇත.

මෙතෙකින් නොනැවතී, ‘කොරෝනා’ අභිභවමින් යන දරුණු වසංගතයන් බොහෝමයකට ද අනාගත ලෝ වැසියනට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, මේ සඳහා මීට වසර 15,000කට පමණ පෙර අහිතකර පරිසර සාධක මගහරවා ගැන්මට සුප්ත කාලයක් ගත කරමින් ග්ලැසියර තුළට වී සිටින ඉතාමත් අහිතකර බැක්ටීරියා හේතුවිය හැකි බවත් වසංගත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙමින් සිටින වර්තමාන ලෝකයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයන් ගේ මතයයි. මෙහිදී, ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩවම වැඩිවීමේ ප්‍රථිපලයක් ලෙස ග්ලැසියර දියව, ඉහත කී බැක්ටීරියා නිදහස්ව ඇතිවනු ලබන බලපෑමෙන් මිනිසුන් බොහෝමයක් මිහිපිටින් තුරන්ව යා හැකි බව ඔවුන් අනතුරු අඟවයි.

මෙවන් පසුබිමක් තුළ මිනිසුන්ට යම්තාක් දුරකට හෝ සුරක්ෂිතව ජීවත්වීමට හැකි යැයි හඳුනා ගත් රටවල් 20ක් පමණක් මුළු ලොවටම ඉතිරිවන බවත් ඒ අතර අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව ද ඉහලින්ම පවතින බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙනු ලබයි. මෙය ‘කොරෝනා’ වලින් භීතියට පත්ව ඇති අප ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නොදන්නා, එහෙත් මෙරටට බැල්ම හෙළන ලොව ඇතැම් බලවතුන් දන්නා වූ පරම සත්‍යයකි.

රෝගයක් පැතිර යාමේදී ඒ පිළිබඳව දැනුවත් වීම මෙන්ම ආරක්ෂක විධි විධාන අනුගමනය කිරීම අත්‍යවශයෙන්ම කළ යුත්තක් වුව ද අනවශ්‍යය භීතියක් ඇතිකර නොගත යුතු ය. කෙසේ වුව ද, කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ වනවිට  කලබලයට පත්ව ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල ව ඇත. සැවොම පාහේ වෙර දරනුයේ මෙම රෝගයට තමන් මෙන්ම තමන්ගේ සමීපතයන් ගොදුරු වීමෙන් වලකා ගන්නේ කෙසේද යන්න සොයා බලා කටයුතු කිරීමට යි.

චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මෙම වසංගතය පිළිවෙලින් ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව හා යුරෝපයේ රට වලට පැතිරීමට පටන් ගත්  කළ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතය වූයේ, මෙරට පවතින දේශගුණික තත්ත්වයන් හේතුවෙන් එම වෛරසය මෙරටට බලපෑම් නොකරාවි යන්න යි. අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් විපතක් හමුවේ වෙනත් කිසිදු රටකට, ජාතියකට, පුද්ගලයෙකුට අයහපතක් පැතු ජාතියක් නොවීම නිසාදෝ, ලොව අන් රට වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ස්වභාවික විපත්, වසංගත හා ඒ හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපල හානීන් ඉතා අවම අගයක පවතින බව ද අතීතය විමසන කළ මොනවට පැහැදිලි වේ.

කෙසේ වුව ද, ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ සිතෙහි පැවති ඒ සුරක්ෂිතභාවය යම් දුරකට පළුදු කරමින් ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය මේ මොහොත වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් ඉක්මවා අසාදනය කරමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ සියලුම ආසාදන තත්ත්වයනට මූලිකම හේතුව නම් ඉතාලිය ඇතුළු යුරෝපීය රට වල සීඝ්‍රයෙන් පැතිර පවතින කොරෝනා වෛරසයෙන් බේරෙනු වස් එම රට වල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තකට ලක් නොවී කල් ගත කිරීම යි. මෙයින් ගම්‍යය වනුයේ පෙර දවස අප තුල පැවති පරාර්ථකාමිත්වය යම් තරමකට හෝ බිඳ වැටී ඇති බව ය. එම අවස්ථාවේ වැඩි තැකීමක් නොකොට එසේ කටයුතු කළ ද, සිදු වීමට යන ව්‍යසනය තේරුම් ගෙන දැන් දැන් නැවත වතාවක් ශ්‍රී ලාංකිකයන් එකාවන්ව කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

අප බොහෝ දෙනෙකුගේ සිතෙහි මැවි මැවී පෙනෙනුයේ ලොව බලවත් යැයි සැලකෙන රාජ්‍යයන් කොරෝනා ඉදිරිපිට කොරවුණි නම් මෙයට වැට නොබැඳුවහොත් ශ්‍රී ලංකාවට කුමකින් කුමක් වේවිද යන්න යි? මේ සිදුවන දෑ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් තැති ගනිමින් අවිනිශ්චිත පසුබිමක පසු වුණ ද ශ්‍රී ලංකාව සතුව පැවති වැළලී ගිය උරුමයන් සඳහා යලි ඉහළ වටිනාකමක් දීමට මේ සිදුවීම් මාලාව සමත්ව තිබීම සැබැවින්ම ප්‍රශංසනීය වේ.

ඈත අතීතයේ පටන් බටහිර ජාතිකයන් අපගේ මෙම සිරිලක් මාතාවට බැල්ම හෙලු බව අපි හොඳින් දන්නා නමුත් ඒ මෙරට පැවති අග්‍රගණ්‍ය වූ සම්පත් මංකොල්ල කෑමට බැව් බොහෝ ශ්‍රී ලාංකිකයන් හරියාකාරව නොදත් කාරණයකි. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී ශ්‍රී ලංකාව සතුව ලොව කිසිදු රටක් සතුව නොතිබි වෛද්‍ය ක්‍රමයන්, වාරිමාර්ග තාක්ෂණ ක්‍රමෝපායන්, තාරකා විද්‍යා තාක්ෂණයන්, සටන් ශිල්ප ක්‍රමයන්, ගොවිතැන් ක්‍රමයන්, යහපත් සිරිත් විරත්, නොපසු බස්නා විර්යය, මනා පෝෂණ ගුණයන්ගෙන් යුත් ආහාර වට්ටෝරු මෙන්ම ලෙඩ රෝග යනාදියට ඉතා ඉහළින් මුහුණ දිය හැකි ප්‍රතිශක්තිකරණ හැකියාවක් පැවති බව ඉතිහාස පොත පත සාක්ෂි දරණු ඇත.

එසේම, ඉහත සම්පත් වලට පාදම වූ එකී ශාස්ත්‍රයන් ඇතුළත් අති විශාල පොත්පත් ප්‍රමාණයක් බටහිර ජාතිකයන් විසින් මෙරටින් රැගෙන ගොස් ඇති බවත් එම පොත් සියල්ලක්ම පාහේ ඒකී රාජ්‍යයන් සතුව වර්තමානය වන විට ද පවතින බවත් බටහිර ජාතිකයන් විසින්ම සාක්ෂ්‍යය දරයි. කෙසේ වුවද, අප ශ්‍රී ලංකාව සතුව ඒකී සෑම පොතකම පිටපතක් හෝ නොමැති වීම ජාතියේම අභාග්‍යයකි. මන්දයත් මුඛ පරම් පරාගතව එකී ශිල්පයන් මනා ලෙස ඉදිරියට රැගෙන යෑමට සිටි පිරිස් බොහොමයක්, බලයට කෑදර වූ සුළුතරයක් විසින් විදේශිකයනට එදවසම පාවා දී ඇති බව අතීතය ගෙනහැර පානු ලබයි.

සෑම විටම කෘතීම ආහාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අල්පේච්චයක් තරම් වූ හෙළ වෛද්‍ය පොත පත පෙන්නුම් කරයි. තවද හෙළ මාතාවක්, තමන්ගේ දරුවාට තන පුඩු අවලස්සන වේ යැයි නොසිතා සිත් සේ මව් කිරි ලබා දීම නිසාම ශ්‍රී ලාංකිකයන් ගේ මේකී ප්‍රතිශක්තිය වැඩි වීමට හේතූවක් වූවා ද විය හැකි ය.

මේ සියලු දෑ සුක්ෂමව වෙනස් කරමින් අපගේ දැනුම සොරාගත් විදේශිකයන් අවසානයේදී ඉතිහාසයේ අප සතුව පැවති වටිනාකම් ද සොරාගෙන වැරදි ජීවන මෙන්ම කෘතීම ආහාර රටාවකට ද හෙළයාව පුරුදු කරවීමට තරම් දක්ෂ විය. මේ හේතුව නිසාම එදාට වඩා අද සමාජයේ අප බොහෝ දෙනෙකු ගේ ප්‍රතිශක්තියේ යම් අඩුවක් තිබුණ ද තවමත් බටහිර ජාතිකයනට සාපේක්ෂව අප සතුව ලෙඩ රෝග වලට හොඳාකාරව මුහුණ දීමේ ශක්තියක් පවතී. මන්දයත්, මුඛ පරම් පරාවෙන් පැවතෙමින් හෝ එදවස අපට උරුම වූ වටිනාකම් අදටත් අප සතුව පවතින හෙයින් ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වී ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත යුතු අහර කවරේදැයි ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපට කියා දී ඇත.

මෙහිදී, යම්කිසි තැනැත්තෙකු කැකිරි, තිත්ත කැකිරි, පිපිඤ්ඤා, වම්බටු, තිබ්බටු, එලබටු,  ලබු, වට්ටක්කා, බතල, අළු කෙසෙල් බණ්ඩක්කා , කරවිල, තුඹ, මුරුංගා කොළ, මුරුංගා, මඤ්ඤොක්කා, මඤ්ඤොක්කා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, අඟුණු කොළ, නිවිති, සාරන, පැණි තෝර, තැල් කොළ මෙන්ම තල් පිටි, කිතුල් පිටි, කුරහන්, පෙරුම්කායන් කුඩු ගිතෙල් හා සුවදැල් කෙසෙල් හෝ රත් කෙසෙල් සමග මිශ්‍ර කර ආහාරයට එක්කර ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බව හෙළ වෙද සම්බන්ධ පොත පත පෙන්වා දෙයි.

තවද, අතීතයේ අපගේ මිත්තනියන් ආහාර රස කර ගැන්මට භාවිත කළ සුදු ළූණු, රතු ළූණු, ඉඟුරු, කරපිංචා, කුරුඳු, උළුහාල්, ගොරකා, කහ, සූදුරු, මහදුරු, ගම් මිරිස් යනාදිය කෑමට එක්කරගත හැකිනම් බොහෝ ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍යය ශක්තිය නැවතත් අපට ගොඩනගා ගත හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

එතැකින් නොනැවතුණු, ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපගේ ජීවිතයන ට බොහෝ පාඩම් කියා දෙමින් සිටී. මේ නිසාම, මතක ඇති කලක කොත්තමල්ලි ටිකක, වෙනිවැල් ගැට ටිකක, පත්පාඩගම් ටිකක රස නොවිඳි අප සමාජයේ බොහෝ දෙනෙකු මුළු මහත් ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කරමින් ඒවා සොයා රස බලන්නට විය. එය කෙතරම්ද කිවහොත් ඇතැම් වෙළඳසැල් හි බොහෝ කාලයක් විකුණා ගැනීමට නොහැකි ව ගොඩ ගැසී තිබුණු කොත්තමල්ලි හා වෙනිවැල් ගැට හිස් වූයේ හිරු දුටු පිනි බිඳක් මෙනි.

මෙහිදී, බොහොමයක් පාරිභෝගිකයන් ඉල්ලුම් කරන පරිදි සැපයුම් ලබාදීම ට වෙළඳසැල් හිමියාට හැකියාවක් නොලැබීම හේතුවෙන් එක් එක් පාරිභෝගිකයාට දෙනු ලබන කොත්තමල්ලි, වෙනිවැල් ගැට හා පත්පාඩගම් යනාදිය සීමා කිරීමට ද සිදු වුණි.  එසේම, ජීවිතය ‘කොරෝනා’ මගින් කොර නොවනුවස් බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් තම තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැන්මට කල හැකි සෑම හෙළ වෙදකමක්ම අත්හදා බලමින් සිටී. මේ අතර පෙරුම්කායන්, වද කහ යනාදිය ජීවිතයට දැක නොමැති අප සහෝදර ජනතාව මේවා සොයන්නට වූයේ කතරක අතරමං වූ පුද්ගලයෙකු ජීවිතය, ජීවත් කරවීමට දිය පොදක් සොයන්න සේය.

එතකින් නොනැවතී, බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් කෘතීම ආහාර භාවිතයෙන් ඈත්ව, දේශීය ආහාර රටාවනට හුරු වෙමින් පවතී. තවද, මාංශ අනුභවයෙන් ද බොහෝමයක් දෙනා වැලකී ඇති අතර මේ හේතුවෙන් සත්ත්ව හිංසනය ද බොහෝ සෙයින් පහත ගොස්ව ඇත. එපමණක් නොව, පවතින තත්ත්වය හමුවේ බොහෝමයක් ජනතාව නිවෙස් වලටම වී සිටීම හේතුවෙන් වෙන කවරදාක හෝ නොවූ අයුරින් වායු දුෂණය ද බොහෝ සෙයින් පහත ගොස් ඇත. සොබාදහම යම් තරමකට සමතුලිතව ඇත.

බොහෝ කලකට පසුව, පවුලේ සැවොම පාහේ නිවෙස්වල අඛණ්ඩවම දින කිහිපයක් සිටින හෙයින් අපට මග හැරුණු අප සතුව පැවති එකමුතුකම ගොඩනගා ගනිමින් පවතී. අප සතුව පැවති, නමුදු දැන් මිහිදන්ව පවතින වටිනාකම් යලි ගොඩ නගා ගැනීමට සැවොම අදිටන් කරමින් පවතී. වැළලී ගිය අපගේ ඉතිහාසයට නැවතත් පණ දිය යුතු යැයි බොහෝ දෙනෙකුට වැටහෙමින් පවතී.

බුදු දහමෙන් ආශීර්වාදය ලැබූ මේ පින්වන්ත භූමියට ‘කොරෝනා’ මගින් විශාල හානියක් කළ නොහැකි බව ඒකාන්තය. නමුදු, අප වෙනස් විය යුතුය. ඒ මන්දයත් වර්තමානය වන විට අප බොහෝ දෙනෙකු විවිධ වූ මිරීගුන් පසු පස හඹා යමින් පවතී. සංවර්ධනය යනු අපට ජීවය දෙන, අපව ජීවත් කරවන කරවන මේ සොබාදම් මාතාව විනාශ වන ලෙස වන සංහාරයන් ඇති කරමින් මුදල් ඉපයීම නොවන බව අප සියලු දෙනා තේරුම් ගත යුතු පරම සත්‍යය වන අතර එය පහදාලීමට පැමිණි ‘කොරෝනා’ අනාගතයේ දී අපගේ ජීවිත වෙනස් කරගත යුතු අයුරු අපට කියා දෙමින් සිටී.

සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු පර්යේෂණ නිලධාරී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *