අද දිනයේ Covid 19 උණුසුම් දේශීය පුවත් සියල්ලම

පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ජනපති නියමයෙන් සහන

කොවිඩ් 19ට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සදහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාලයේදී සිය පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත‍්‍රණය කි‍්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන, නිවෙස්වලට ඍජු දුරකථන මෙන්ම කේබල් ටීවී පහසුකම් සපයන්නන් වෙත ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දී තිබෙන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

කොරෝනා ආසාදිතයින් ගණන 82ට නගී

අද දිනයේ (22) නව කොරෝනා වෛරසය ආසදිත පුද්ගලයින් 04 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යා (චීන කාන්තාව ද සමග* 82ක් වන බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ඊ- ඉගෙනුම් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට  අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත. වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.

පවතින තත්ත්වය සමනයට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කෙරේ.

ප‍්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව සංස්ථාව කියයි

හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛනිජ තෙල් සැපයුම කිසිදු බාධාවකින් හා හිගයකින් තොරව සිදු කෙරෙන බව ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

රටේ අවශ්‍යතාවට ප‍්‍රමාණවත් ඉන්ධන තොග ගබඩාවල පවතින බවත් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවේ සිට සාමාන්‍ය දෛනික කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ඛනිජතෙල් ලබා ගැනීමේදී පොලිම්වල සිටීම හෝ අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සභාපතිවරයා පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලුම බැංකු විවෘත කරන ලෙස මහ බැංකුවෙන් උපදෙස්

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැංකු ශාඛා, හෙට (23) දිනයේ පැය දෙකක කාලයක්වත් මහජනයාගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.

මේ සමග ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාගෙන් කරනු ලබන ප්‍රධානතම ඉල්ලීම වන්නේ හැකි තරම් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙණු කිරීමටත් සෙනඟ අඩුවෙන් ගැවසෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තමන්ගේ ගනු දෙනු කරගන්නා ලෙසත් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින මහ බැංකුව අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙසද ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බැංකු සේවක සේවිකාවන්ට අවවාද කර සිටී,

හෙට සහ අනිද්දා කොටස් වෙළෙද පොළ ගනුදෙන නෑ

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බවත් ඒ අනුව එම දිනවලදී  වෙළෙඳපොළ ගනුදෙනු සිදුනොවන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.

දුෂ්කරතාවට පත්ව සිටින අපනයනකරුවන්ට සහන

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත. පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී.

 දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත. උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී

රාගම රෝහල ‍Covid 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සකසයි

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22දා) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ද ලබා දීමේ අරමුණින්, අද (2020 මාර්තු 22) එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි සියලුම බෞද්ධ වන්දනාකරුවන්  ගෙන්වා ගනු ලබයි 

ඉන්දියාව එරටට ඇතුළු වන වාණිජ මගී ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපලවල් වසා දැමීමට පෙර, අද දින (22) පැය 05:10 ට නවදිල්ලියෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත ගුවන් යානය මඟින් බෞද්ධ වන්දනාකරුවන් 48 දෙනෙකු ආපසු පැමිණීමත් සමඟ, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව සිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් මේ වන විට පැමිණ ඇත.

මෙදිනම, ඊට පෙර පැය 03:00 ට චෙන්නායි සිට පිටත් වූ තවත් විශේෂිත ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් බෞද්ධ වන්දනාකරුවන් 97 දෙනෙකු කොළඹට රැගෙන එන ලද අතර, මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණි මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව 145 දෙනෙකි.

මාර්තු 21 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 196 දරන ගුවන් යානයෙන් සම්පූර්ණ වශයෙන් වන්දනාකරුවන් 298 දෙනෙකු නවදිල්ලියෙන් පිටත්ව ආ අතර, එම ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූයේ පැය 19:31 ටය.

මෙරටට පැමිණෙන වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කරන අවස්ථාව වන විට, ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1500 දෙනෙකු පමණ ඉන්දියාවේ රැඳී සිටියහ. එතැන් සිට මේ සියලු වන්දනාකරුවන් කල් තබා ඉන්දියාවෙන් පිටත්ව ගියේ, නියමිත වාණිජ ගුවන් ගමන් මඟින් සහ පසුව අතරමං වූ වන්දනාකරුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා යොදවන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂිත ගුවන් යානා මගින් ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *