‘කොරෝනාවට පෙර බඩගින්නේ මැරෙයි ද?’ අගුළු දැමීමත් සමග ඉන්දීය කුලීකරුවන් අසරණ තත්ත්වයක

කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීමේ පියවරක් වශයෙන් ඉන්දියාව දවස් විසි එකක කාලයකට වසා දමනු ලැබ ඇත (lockdown). එකී කාලය ඇතුළත නිවෙස් තුළ ම රැඳී සිටින ලෙස මහජනයාට උපදෙස් දී ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කරන ලද එම නව නිර්දේශ අනුව කටයුතු කිරීමේදී මහජනතාව ඔවුන් දිනපතා මුහුණ දෙන ගැටලු සමග පොරබදන ආකාරය සම්බන්ධයෙන් බීබීසියේ විකාස් පාන්ඩේ( Vikas Pandey) විවරණයක නිරත වෙයි.

‘නොයිඩා’ (Noida) කාර්මික සංවර්ධන පුරයේ ‘ලේබර් චෝක්’ (Labour Chowk) ආයතනය, ඉදිකිරීම් අංශයේ රැකියා සොයා එන සිය ගණනක් ශ්‍රමිකයන්ගෙන් පිරී ඉතිරී යාම සුලභ දර්ශනයක් වී තිබිණි.

නවදිල්ලි අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක පිහිටි එම කුඩා මංසන්ධිය කුලීකරුවන් සොයා ගැනීම සඳහා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයකි.

එහෙත් අද එම මුළු කලාපය ම දැඩි නිහඬතාවක ගිලී පවතී. සියල්ල ඇණහිට ඇත. ඒ අතරවාරයේ එක් කෙළවරක මිනිසුන් රංචුවකි.

ඔවුන් අතර සිටි රමේෂ් කුමාර් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘බණ්ඩා’ (Banda) දිස්ත්‍රික්කයෙන් පැමිණි කුලීකරුවෙකි.

”අද අපි කුලියට ගන්න කවුරුවත් නැති බව අපි දන්නවා. ඒත් හදිසියෙවත් අවස්ථාවක් ලැබේවි කියලයි බලාගෙන ඉන්නේ,” ඔහු බීබීසියේ විකාස් පාන්ඩේට කියා සිටියේය.

”මම දවසකට රුපියල් හය සීයක් හම්බ කරනවා. මම පස්දෙනෙක් නඩත්තු කරන්න ඕන.තව ටික දිනකින් ගෙදර තියෙන කෑම ටික ඉවර වෙනවා. කොරෝනා අනතුර මට තේරෙනවා. නමුත් මට මගේ දරුවෝ බඩගින්නේ ඉන්නවා බලාගෙන ඉන්න බැහැ.”.

දවසේ කුලියක් කරමින් එදා වේල පිරිමහ ගනු ලබන දශ ලක්ෂ ගණනක් ඉන්දියානුවන්ගේ තත්ත්වය එයයි. අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (මාර්තු 24) ප්‍රකාශයට පත්කළ නිවැසියන් ගෙදොරදොරේ ම රැඳී සිටීමේ ක්‍රියාදාමයත්(lockdown) සමග ඉදිරි සති තුනක කාලය තුළ ආදායමක් සරිකර ගැනීමේ අවස්ථාවක් සම්බන්ධයෙන් ඔවුන්ට බලාපොරොත්තු තැබීමේ මාවතක් නොමැත. ඉදිරි දින දෙකතුන ඇතුළත ඔවුන්ගෙන් ඇතැමෙකු ආහාර අහේනියකට මුහුණ දෙනු ඇත.

අලහබාද් නගරයේ රික්ෂෝ පදවන්නෙකු වන කිෂන් ලාල්ට දින 4කින් ආදායමක් නැත
අලහබාද් නගරයේ රික්ෂෝ පදවන්නෙකු වන කිෂන් ලාල්ට දින 4කින් ආදායමක් නැත

හය සියයකට අධික ඉන්දියානුවන් දැනට කොරෝනාවෛරසයට ගොදුරුවී ඇති අතර දහ දෙනෙකු මරණයට පත් වූ බව නිවේදනය කෙරිණි.

මේ අතර රමේෂ් කුමාර් වැනි කම්කරුවන්ගේ ගිණුම්වලට කෙලින් ම මුදලක් බැර කරන බවට උත්තර් ප්‍රදේශ්, කේරළ සහ දිල්ලි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රතිඥාවක් දී ඇත.

නිවසේ කොටු වෙන දවසේ කුලියට රැකියා කරන පුද්ගලයන් වෙනුවෙන් උපකාර වෙන බවට අගමැතිවරයා ද ප්‍රතිඥාවක් දී තිබේ.

එහෙත් තවත් අභියෝගයක් වන්නේ සේවා සහ භාණ්ඩ සැපයුමයි.

ලෝක කම්කරු සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ඉන්දීය ශ්‍රම හමුදාවෙන් යටත් පිරිසෙයින් 90% ක් පමණ මුරකරුවන්, පිරිසිදු කරන්නන්, රික්ෂෝ පදවන්නන්, පදික වෙළෙඳුන්, කුණු කසළ එකතු කරන්නන් සහ ගෘහ සේවකයන් ලෙස අවිධිමත් රැකියාවන්හි නිරත වෙති.

ඔවුන්ගෙන් අතිබහුතරයට විශ්‍රාම වැටුප් නොමැත. එපමණක් නොව, ලෙඩ නිවාඩු හෝ රක්ෂණයෙන් තොර වෙති. එසේ ම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට බැංකු ගිණුම් නොමැත. එම ජනතාව යැපෙන්නේ දවසේ පඩියට කුලියක් කිරීමෙනි.

එවැනි කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් රැකියා සොයා තමා අයත් ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වී එහි ජීවත් වන්නෝය. ඒ සමග ප්‍රාන්ත ජනගහනය වේගයෙන් වැඩි වෙයි. රැකියා සොයා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සංක්‍රමණය වෙන හෙයින් එවැනි කම්කරුවන් එක ප්‍රාන්තයක දීර්ඝ කාලයක් රැඳී සිටින්නේ ද නැත.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අකිලේෂ් යාදව්(Akhilesh Yadav) පවතින දැවැන්ත අභියෝගය පිළිගනියි.

”කිසි ම ආණ්ඩුවක කවුරුවත් මේ වගේ අභියෝගයකට මින් පෙර මුහුණ දීලා නැහැ” ඔහු පිළිගනියි.

”සියලුම ආණ්ඩු විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. මොක ද? තත්ත්වය දිනපතා ම වෙනස් වෙමිනුයි තියෙන්නේ. අපි ප්‍රජා මට්ටමේ විශාල මුළුතැන්ගෙවල් පටන් ගන්න ඕන. ආහාර අවශ්‍ය ජනතාවට ඒවා සපයන්න ඕන. මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ සල්ලි ද? හාල් ද? පිටි ද? මොන ප්‍රාන්තෙන් ආව ද කියල බලන්නේ නැතිව, මහ ජනයාට ඒ අවශ්‍ය දේවල් අපි සපයන්න ඕන,” හිටපු මහ ඇමති අකිලේෂ් යාදව් කියා සිටියි.

හිටපු මහ ඇමති අකිලේෂ් යාදව්ට විශේෂ කනස්සල්ලක් ඇත. ඊට හේතුව ඔහුගේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඉන්දියාවේ වැඩි ම ජනගහනය සහිත ප්‍රාන්තය වීමයි. එහි ජනගහනය මිලියන 220 කි.

”ප්‍රජා මට්ටමින් වෛරසය පැතිර යාම වළක්වා ගැනීමට අපි නගරයෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම නතර කරනවා. ඒක කරන්න තියෙන එක මාවතක් තමයි – ඔවුන්ට ආහාර සැපයීම. අර්බුද අවස්ථාවලදී මිනිස්සු තමන්ගේ ගම්බිම් කරා යන්න පටන් ගන්නවා”

අලහබාද් වාසී රික්කෂෝකරුවෙකු වන කිෂාන් ලාල් (Kishan Lal ) පවසන්නේ තමා පසුගිය දවස් හතරේ කිසිදු මුදලක් හරිහම්බ නොකළ බවය.

”මට මගේ පවුල රැකගන්න සල්ලි හම්බකර ගන්න ඕන.මට අහන්න ලැබුණා – ආණ්ඩුව අපට සල්ලි දෙනවා කියල .ඒත් මට පැහැදිලි නැහැ – කවද්ද? කොහොමද? කියල”

කිෂාන් ලාල්ගේ මිතුරෙකු වන අලි හසන් අලහබාද් වෙළෙඳසලක් පිරිසිදු කරන්නෙකි. ආහාර මිලට ගැනීමට මුදල් නැති බව හසන් පවසයි.

”දවස් දෙකකට පෙර කඩේ වැහුවා.මට පඩිය දුන්නෙත් නැහැ. කඩේ කවදා අරීවි ද කියල මම දන්නේ නැහැ. මම හරි ම බයකින් ඉන්නේ.මට දරු පවුලක් ඉන්නවා.මම කොහොමද ඔවුන්ට ආහාරපාන සපයන්නේ? හසන් විමසයි.

ඉන්දියාවේ මහා මාර්ගවල සුළු ව්‍යාපාරික කටයුතු කරමින් ස්වයං රැකියාවේ නිරත ජනයා දශ ලක්ෂ ගණනකි.

මොහොමඩ් සබීර්
මොහොමඩ් සබීර්

මොහොමඩ් සබීර් දිල්ලි අගනුවර වීදියක් යෝගට්වලින් තැනූ පානයක් විකුණමින් ජීවිතය ගැටගසා ගනියි. ඉදිරි ග්‍රීෂ්ම කාලයෙහි සිය ව්‍යාපාරය තවත් සරුවනු ඇත විශ්වාසයෙන් ඔහු තවත් දෙදෙනෙකුත් කුලියට ගෙන තිබිණි.

”දැන් මට ඔවුන්ට පඩි ගෙවන්න බැහැ. මගේ අතේ කිසි ම මුදලකුත් නැහැ.මගේ පවුල කීයක් හරි හම්බ කර ගන්නේ ගමේ ගොවිතැනක් කරලා. මේ අවුරුද්දේ මහ වැස්සට අහුවෙලා ඒවත් විනාශ වුණා. ගෙදර මිනිස්සු මගේ උදව්ව බලාපොරොත්තුවෙන් ඉන්නේ,” ඔහු පවසයි.

”මම හරි ම අසරණයි කියල දැනෙනවා. මට භයක් හිතෙනවා – කොරෝනා වෛරසයට ගොදුරුවෙන්න ඉස්සර වෙලා අපි බඩගින්නේ මැරේවි ද? කියල”

රටේ සියලු වැදගත් ස්ථාන වසා දමනු ලැබ ඇති හෙයින් සංචාරක කර්මාන්තයෙන් මුදලක් උපයාගත් බොහෝ කණ්ඩායම්වලත් බඩට වැදී ඇත.

කැමරාකරුවෙකු වන තේජ්පාල් කාශ්‍යප් (Tejpal Kashyap,) දිල්ලි අගනුවර ඓතිහසික මහා ද්වාරයෙහි (India Gate) ඡායාරූප ගනිමින් මුදලක් උපයා ගන්නා අතර මේ දිනවල කිසිදු වැඩක් නොලද බව පවසයි.

”පසුගිය සුමාන දෙක ම හරිම නරක කාලයක්. නිවෙස්වලට කොටු කිරීමේ නීතිය එන්න ඉස්සර පටන් ම තිබුණේ ඒවගේ ත්ත්වයක්. දැන් මට ආයෙත් මගේ ගමට යන්නත් නැහැ. වැඩත් නැහැ. මම දිල්ලියේ හිරවෙලා. මගේ ගම තියෙන්නේ – උත්තර් ප්‍රදේශවල. මම මගේ පවුල ගැන නිතර ම කනගාටුවෙන් ඉන්නේ ”

මේ තත්ත්වය ඌබර් සහ ඕලා වැනි කුලීරථ සේවාවන්හි රියැදුරන්ටත් බලපා ඇත. ජගින්ර්දර් චෞදරී (Joginder Chaudhary) දිල්ලි ගුවන් තොටුපොළේ රැකියා කරන්නන් ප්‍රවාහනය කරන කුලී රියක් පදවයි. ඔහු කියා සිටින්නේ තමා වැනි පුද්ගලයන්ට රජයෙන් සහන දිය යුතු බවය.

”අපට එළියට යන්නේ නැතිව ඉන්න කියපු කාරණේ වැදගත්කම මට තේරෙනවා. කොරෝනා වෛරසය භයානකයි. අපි අපි ආරක්ෂාව සලසා ගත යුතුව තියෙනවා. නමුත් මේ තහනම සති කීපයක් බල පැවත්වුණොත් මම කොහොම ද මගේ දරු පවුල රැක ගන්නේ? ඔහු ප්‍රශ්න කරයි.

මේ සපත්තු ඔප දමන්නා කොරෝනාවෛරසය නිසා ඉන්දියාව අක්‍රිය වූ බව නොදනී
මේ සපත්තු ඔප දමන්නා කොරෝනාවෛරසය නිසා ඉන්දියාව අක්‍රිය වූ බව නොදනී

එහෙත් ‘කොරෝනා’ ගැන අසා නැති පුද්ගලයන් ද නැතුවා නොවේ. ” මම අලහබාද් දුම්රිය පොළට එන මහත්වරුන්ගේ සපත්තු මැදීමයි කරන්නේ. ඒත් මේ දවස්වල කවුරුවත් පෙන්නේ නැහැ” නම් සඳහන් නොකළ සපත්තු ඔප දමන්නෙක් පැවසීය.

මිනිස්සු ගමන් බිමන් නතර කිරීමට හේතුව තමා නොදන්නා බවත් සපතේරුවා පවසයි.

”මම දන්නේ නැහැ – මොනව ද වෙන්නේ කියල. මේ දවස්වල ස්ටේෂමට වැඩි දෙනෙක් එන්නේ නැහැ. ඇඳිරි නීතිය පනවල කියල මම දන්නවා.නමුත් හේතුව මොකක් ද කියල නම් දන්නේ නැහැ”

විනෝද් ප්‍රජාපති (Vinod Prajapati) එම ප්‍රදේශයේ ම වතුර බෝතල් අලෙවි කරන්නෙකි.

”කොරෝනා වෛරසය ගැන ඔක්කොම මම දන්නවා. එක හරි ම භයානකයි. මුළු ලෝකය ම වෛරසය තුරන් කිරීමේ අරගලයක නිරත වෙනවා. ගෙදරක් තියෙන සල්ලිකාරයන්ට ඇතුළට වෙලා ඉන්න පුළුවන්. නමුත් අපි වගේ මිනිස්සුන්ට ආරක්ෂාව ද ?බඩගින්න ද? කියන දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියෙනවා. මොකක් ද අපි තෝරගන්නේ?

BY BBC

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.