කොරෝනාවලින් පසු ලෝකය සහ ලංකාව ගත යුතු මග කුමක්ද ?

දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය.

ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම  සුවපත් වේවා.  ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, තම මුහුණ අල්ලන්න එපා, මට මගේ නොවන මගේම මුහුණක් ? මේ වනාහි මහා ලෝක බලවතුන් සියවස් දෙකයි තුන්කාලක් තිස්සේ වගාදිගාකරගත් අස්වැන්නය. අනෙකා තබා තමාට තම මුහුණ පවා අහිමිකොට ඇත.

ලෝකයට වැරදුණේ කොතැනද? අපට වැරදුනේ කොතනද? ව්‍යසනය විසින් පෙන්වා දෙන නිවැරදි යහ මග කුමක්ද? ඒ මග අප පිළිපැදීමට සුදානම් නම් එවැනි ගමනක මුල කුමක්ද? එවැනි ගමනක් සඳහා ඇති කරගත යුතු හෘදසාක්ෂිය කුමක්ද? යන කරුණු   මැදි කරගෙන මෙවර ලිපිය ලියමි.

එසේම මේ මොහොතේ මෙරට රාජ්‍යය මැදිහත් වීම සිදුවන ආකාරය පිළිබඳව ද ප්‍රශංසා කරමි. එය ප්‍රශස්තය, විධිමත් ය. ජනතා සහය ද වඩවඩාත් වර්ධනීය මට්ටමක පැවතීම අගය කළ යුතුය.   

කුඩා කළ අප අම්මාගෙන් අසා ඇති කිසිදා අමතක නොවන “පොල් අත්ත දහ අට දේසේ කැරකුනත් වැටෙන්නේ ගහ මුලට” යන උපමාව ක්‍ෂුද්‍ර මට්ටමේ දී පවුලටත් සාර්ව මට්ටමේ දී රටටත් මේ තරමටම ගැලපෙන බව මට පසක් වුණේ, රට අලුයම ලූ කෙළ පිඩක් සේ පිළිකුල් කරන රට හැරගොස් සිටින බොහෝ ජනයා මෙන්ම වීඅයිපී සහ වීවීඅයිපී දරුවෝ පවා විශේෂ ගුවන් යානා මගින් රැකවරණ පතා අපේ රටට සැපත් වූ පුවත් දකින විට ය.

පුදුමය කියන්නේ මේ දරුවෝ බලා සිටියේ පොල් අත්තක් සේ ඔහේ වැටෙන්නට නොවේ. මතු දිනක, හේ බා ගිය පොල් අතු වැනි මෙරට පීඩිත සහ ‘අනුවණ’ ජනයාගේ නගර ගම් නියංගම් මත හෙණයක් සේ පතිත වන්නටය. පතිත වී තම මා පිය උරුමයෙන් එන පාලක කරුමයෙන් ඒ ජනතාව පෙලන්නට ය. හැබැයි දැන් ඒ හැමෝට ම වැඩ වැරදී ගහ මුලටම  වැටී ඇත. ඒ කොරෝනා නිසා ය. 

මෙරට අධ්‍යාපන, සෞඛ්‍යය, සහ ප්‍රවාහනය යන තීරණාත්මක අමාත්‍යංශවල වයස අවුරුදු අසූ නවයකි. නමුත් මෙරට සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ ප්‍රවාහනයට අදාළ යටිතළ සහ සේවා පහසුකම් තවමත් නිසි ලෙස සහ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කොට නැත, පරිපූර්ණ කොට නැත.

මා මේ උත්සාහ කරන්නේ මේ මොහොතේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය මැදිහත්වීම අවතක්සේරු කිරීමට නොව පාඩමක් කියා දීමට ය.  

මෙරට ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාලකයින්ගෙන් සියයට අනුවකගේ පමණ දරුවන් අධ්‍යාපනය ලැබූයේ සහ ලබන්නේ විදේශීය අධ්‍යාපන ආයතනවල හෝ විදේශවල බවට පසු ගිය දිනවල ලංකාවට ආ වීවීඅයිපී සහ වීඅයිපී දරුවෝ උදාහරණ ය. ඉතින් මේ රටේ අධ්‍යාපනය අසූ නව අවුරුදු පාලකයින්ට ඇමතිකම් සහ නිලධාරීකම් නඩත්තු කරන පාලන කලාපයක් හෝ වැයික්කියක් මිස වඩා දියුණු ස්වදේශික මානුෂීය කලාපයක් කිරීමට අවැසි ජාතික හෘදසාක්ෂියක් ලැබීමට ඔවුන්ගේ යටිහිත සහ පවුල ඉඩ දෙන්නේ නැත.

ඉහළ පාලක-නිලධාරී-ව්‍යාපාරික පැලැන්තිය තම සෞඛ්‍ය පහසුකම් සලසා ගත්තේ සහ සලසා ගන්නේ ද මෙරට මිළ අධික වාණිජ රෝහල්වලින් හෝ විදේශවල ඇති මවුන්ට් එලිසබෙත් වර්ගයේ රෝහල්වලින් ය. ඉතින් එහෙව් අසූ නව අවුරුදු පාලකයින්ට මෙරට ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික සෞඛ්‍යයට අදාළ රෝහල් සහ අනෙකුත් අදාළ පහසුකම් දියුණු කිරීමට හිත දෙන ජාතික හෘදසාක්ෂියක් ඇති නොවීම ඔවුනගේ පැත්තෙන් බලන විට ඉතාම සාධාරණ ය.  

මෙරට පාලකයින් ව්‍යාපාරිකයින් සහ බලවත් නිලධාරීන් අන් සියල්ලට ම වඩා ප්‍රවර්ධනය කලේ සහ කරන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ කියනාකාරයේ “ බොරු ෂෝක් පරිභෝජනවාදය” ය. මා දකින ආකාරයට ගෝලීයකරණය පසු පස්සේ යන ‘ලෝකයම යන දිහාවට සහ කියන දිහාවට ම අපිත් ගමනේ යා’ ආකාරයේ ආර්ථික-සමාජ ක්‍රමයක්ය.

ඇත්තටම අප වැනි රටවල ආර්ථික ක්‍රමයක් නැත. ඇත්තේ ගෝලීය ධනවාදයට ගැට ගැසූ ගැති ආර්ථික ක්‍රියාවලියක් සහ ගෝලීය වෙළඳපොලට ගැටගැසූ, ඊට ගැති, සතිපොලක් වැනි තැරව්කාර වෙළඳපොළ ක්‍රියාවලියක් ය. එවැනි පසුබිමක මෙරට ‘ශ්‍රී ලාංකික මහා ධනපතීන්’ ලෙස නම් දරා සිටින මුදලාලිවරු, බලවත් ‘රාජ්‍ය නිලධාරීන්’ සහ ‘ප්‍රජාතාන්ත්‍රීය පාලකයින්’ වනාහි අර ගෝලීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරැව්කරුවන් ය, බ්‍රෝකර්ලා ය.

මේක මේ රටේ විතරක් නොව අප වැනි හැම රටකටම අදාළ තත්ත්වයක් ය. මේ තත්ත්වය, එනම් නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පොදු ජනයා නො සලකා හැරීම ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළය. ලෝකයේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත අති දැවැන්ත ඒකාධිකාරයක් බලපවත්වන ඇමරිකා බලවතුන් ඒ කිසිවකින් පොදු මහ ජනයා ආවරණය කොට නැත. ඇමරිකාවේ කොරෝනා හැසිරීම ඊට අත ළඟ උදාහරණය ය.

ලෝකය ක්ෂණයකින් විනාශ කළ හැකි සුනුවිසුණු කළ හැකි අවිආයුධ ඇති, ඉතා ඉහළ යුධමය ධාරිතාවක් ඇති ලෝක බලවතුන්, කෙළ බිඳිත්තක රැඳුණු වයිරසයකට උත්තරයක් සොයාගත නොහැකිව ප්‍රමාණවත් සෞඛ්‍ය ධාරිතාවක් නොමැතිව ලතවෙන හැටි, බිය වන සැටි කියා දෙන්නේ ලෝකයේ ධන-බල පෙරේතයින් ලෝකයම දක්කාගෙන ගිය වැරදි ගමනක් පිලිබඳ පාඩමය.         

ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇති බව මා ගියවර අවධාරණය කළ කරුණකි. ‘‘මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ආර්ථිකය සහ වෙළඳපොළ ක්‍රමය ලෝකය පුරා දිවීමක්‘‘ ය කියා කියූ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ගේ අදහසත් ගෝලීයකරණය වන්නේ මානවහිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය යනුවෙන් කියූ වන්දනා ශිවා ගේ අදහසත් එහි දී අවධාරණය කෙරිණි.

එසේම ‘‘ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂණය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය‘‘ යනුවෙන් කියූ  ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ගේ අදහසද ඒ අතර විය.

කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුණ පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය, කට්ටඬියාගෙන් මිදුන යකෙක් ය, යනුවෙන් මා කියූ අදහසට තවත් දෑ එකතු කළ යුතුමය. 

1760 ගණවල සිට යුරෝ-කේන්ද්‍රීයව වර්ධනය වී ව්‍යාප්ත වූ කාර්මීකරණය, නාගරීකරණය, වෙළඳපොළකරණය, තොරතුරුකරණය සහිතව මේ වන විට ගොඩනැගී ඇති ඒකාධිකාරී සහචර ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ ක්‍රමය විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි.

තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද?  මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන ආකාරයට ජනවාරියට පෙර ලෝකය හෝ ලෝක ක්‍රමය තව දුරටත් අවශ්‍ය ද?  

ඒ ලෝක ක්‍රමය තුළ රැව් පිලි රැව් දුන් කාර්මික දියුණුව, සංවර්ධන රාමුව, විද්‍යාවේ දියුණුව, ගෝලීයකරණය, සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙළඳපොළ නියාමනය, බොරු ෂෝක් පරිභෝජන චර්යාව, කේන්ද්‍රීය පරිභෝජනයේ ලෝකකරණය සහ වෙළඳපොළකරණය, ගෝලීය ආර්ථික ක්‍රමය සහ ගෝලීය වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය හකුළුවා වෙළඳපොළ ප්‍රසාරණය කිරීම, ප්‍රජාවේ ලෝකකරණය, ඒ සියල්ලට සහය දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන, සහ සහචර ධනේශ්වරයට ආයු වඩන, තර්ක තනන බුද්ධිමය ශ්‍රේණි සහිත පූර්ව ජනවාරි ලෝක ක්‍රමය මුළුමනින්ම ඇද වැටී ඇත. අතාර්කික වී ඇත.

සොබා දහම හමුවේ ‘ධනේශ්වර සොබා දහම’ පරාජය වී ඇත.   එවැනි පසුබිමක පශ්චාත් ජනවාරි හෝ පශ්චාත් කොරෝනා ලෝක ක්‍රමය ජනවාරියට පෙර ලෝක ක්‍රමයෙන් සපුරා ම වෙනස් විය යුතු ම ය. නමුත් පූර්ව ජනවාරි (එනම් ජනවාරියට පෙර) ලෝක ක්‍රමයේ හාම්පුතුන්ට සහ ඔවුන්ගේ පරිධියේ තැරව්කරුවන්ට/කාරියන්ට මානව-සොබාදම් කේන්ද්‍රීය සහ ස්වයං පෝෂිත-ස්වදේශික කේන්ද්‍රීය නව ලෝක පර්යායක් ගොඩ නැගීමට අවැසි හෘදසාක්ෂියක්, වුවමනාවක්, දැනුමක් ඇත්තේම නැති තත්ත්වයක ඇතිවන හිඩැස පිරවිය හැක්කේ කාටද?

හිඩැස පුරවන්නට නොහැකි වුවහොත් අර පරණ ක්‍රමයම ඒ පරණ අය විසින් ම ප්‍රතිෂ්ඨාපනය කොට මානව වර්ගයා සහ සොබාදහම මීටත් වඩා මහා ව්‍යසනයකට ඇද ගෙන යනු නො අනුමානය.  

ලෝකය, ගම් සංවිධානය නොකොට ඒවා සූරාකන නගර ශක්තිමත් කළේ නුතන නගර යනු විනාශයේ සංකේත බව නොදැනය. අප වැනි රටවල පාලක බලවතුන් ගෝලීය කේන්ද්‍රීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරව්කරුවන් ම පමණක් ය. එනිසා එහි අනුහසින් තම සුඛ විහරණය සලසා ගත හැකිය යන අපේක්ෂාව කරණකොට ගෙන තම යටත් රටවල ජන සමාජයට අවැසි මුලික එනම් අත්‍යවශ්‍ය සේවා සහ යටිතළ පහසුකම් ප්‍රශස්ත මට්ටමින් නඩත්තු කිරීම තවමත් අතහැර දමා ඇත. යමක් කළේ නම් ඒ බලය අරමුණු කරගෙනම මිස මහා සමාජ හෘදසාක්ෂියකින් නොවේය.

මේ මොහොතේ රටේ ඇමතිවරු තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ‘ඡන්ද ප්‍රචාරක බඩුමලු’ බෙදීමෙන් ස්වකීය ජාතික වගකීම අමතක කොට ඇති හැටි නිරීක්ෂණය කරන්න. වසමකට ඍජුව 6 ක් සහ වක්‍රව 50 කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් සිටින 14021 ක් වන මෙරට ග්‍රාම වසම් ප්‍රමාණය නිසි ලෙස අභ්‍යන්තරිකව එකාබද්ධව සංවිධානය කොට නො තිබීමෙන් පෙනී යන්නේ අප අනුගමනය කරන ආර්ථික-දේශපාලන-සමාජ-සංවර්ධන ක්‍රමයේ සහ රාමුවේ වැරද්ද ය. බොරු ෂෝක් පරිභෝජනවාදය සහ ලෝකය සමඟ ඉදිරියට යෑම යන රැවටීම ඔස්සේ පොදු ජනයා මුලාවේ දමා ඇති ආකාරය ය.  

1970 සිරිමාවෝ බණ්ඩාරනායකත් 2010 දී බැසිල් රාජපක්ෂත් ගම සංවිධානය කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් විය. නිලධාරිවාදය බලවත් විය. ගම ස්වයංපෝෂිත නොකොට, සංවිධානය නොකොට දිස්ත්‍රික්ක සීමා හුදු පාලන උපක්‍රම සහ සීමා ලෙස යොදා ගැනීම තාර්කික නැත.

කොන්ෆියුසියස් රාමුවේ තර්කයකට ගියොත් ස්වයං පෝෂිත ක්‍රියාවලිය, පුද්ගලයා, පවුල, ගම, ප්‍රදේශය, දිස්ත්‍රික්කය, පළාත, රට සහ ලෝකය යන පියවර අනුගමනය කළ යුතුය.

අපේ පාලකයින් සහ බලවතුන් අනුගමනය කළේ ලෝකය පමණක් ය. නමුත් ඉන් ඔවුන් පමණක් හෝ රැකෙනු ඇත යන විශ්වාසය ‘පොල්වල්ල ගලේ ගැසුවා සේ’ සී සී කඩ විසිර ගොස් ඇත. දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. ඊට අවශ්‍ය කැඩපත දැනට කියුබානු ජනරජය ය. හැබැයි ඊට මඟ පෙන්වීම, නිකම්ම නිකම් පාර්ලිමේන්තුකාරයින්ට සහ කාරියන්ට කළ හැකිද යන්න මට නම් සැක සහිතය.

ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *