කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක්

කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.

ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය.

ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.

අද (06) සියලු දිසා ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලිපියක් යොමු කළ ලේකම්වරයා ශ්‍රී ලංකාව කොරෝනා තර්ජනයෙන් නිදහස් රටක් බවට පත් කර ගැනීම සහ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා හැකි සියලු පියවර ගැනීම රජයේ අභිලාෂය බව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව වෛරසය මෙරටට පැමිණීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර අනුගමනය කරමින් සිටියි.

මෙය සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රජයේ ආයතන සහ මහජනතාව එක්ව ක්‍රියා කල යුතු ජාතික වශයෙන් වැදගත් තත්වයක් බව පෙන්වා දෙන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පාලන ක්‍රමවේදයන්ගේ උපරිම සුමට ක්‍රියාකාරීත්වය සඳහා මහජන සහයෝගය ලබාගත හැකිවන පරිදි ජන විඥානය වෙනස් කළ යුතු බව ද සියලු දිස්ත්‍රික් සහ පළාත් ලේකම්වරුන්ට දන්වා සිටී.

බොහෝ රටවල තත්වය පාලනයෙන් ඔබ්බට ගමන් කර ඇති බැවින් ශ්‍රී ලංකාව ද මේ සඳහා සුදානම් විය යුතු බව ජනාධිපති ලේකම්වරයා සදහන් කරයි. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතෙහි විධිවිධාන යටතේ ක්‍රියාකිරීමට බලය හිමි වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.