කොරෝනා බලපෑමෙන් කඩා වැටුණ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට පියවර

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ රටතුළ පවතින තත්ත්වය සමනය වු වහා ම මීට අදාළ පියවර ගන්නා බවයි.

මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක් ව තිබේ. ශ්‍රී ලංකාවට ද මේ තත්ත්වය බලපා ඇත. මේ නිසා සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

පහුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට සිදු වු පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද මෙරට සංචාරක කර්මාන්තය බිද වැටුණු බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ව සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ පියවර රැසක් ගෙන තිබු බව ද සදහන් කරයි. සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් ව්‍යාපාරිකයන්, සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ට කැබිනට් මණ්ඩල සමග සාකච්ඡා කර විවිධ සහන ලබා දීමට පියවර ගැණින. සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දීම, ලීසිං පහසුකම් යටතේ ලබා ගත් සංචාරක බස් රථ වලට අදාළ ලීසිං පහසුකම් ගෙවීමට සහන කාලයක් ලබා දීම එලෙස ගත් පියවර කීපයකි.

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙමින් පැවති අතර කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක කර්මාන්තය කඩා වැටුණු බවත් සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති බවත් රණතුංග මහතා කීවේය.

කොරෝනා වසංගතය පාලනය වීමත් සමග සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා එහිදී ක්ෂේත්‍ර යේ නිරතව සිටින අයට සහන ලබා දීම සදහා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.