නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල අංශ වලින් ඉල්ලයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව ඇමතිවරයා නිදහස් වෙළද කලාප වල කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ. දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළද කළාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. ඇදිරි නීතිය හේතුවෙන් සිය නවාතැන් පොලවල් වලට සීමා වී සිටි වසා දැමුණු කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ රජයේ මැදිහත් වීමෙන් පසුගිය දිනවලදී ඔවුන්ගේ ගම් බිම් වලට පිටත් කර හැරිණි.
ආයෝජන මණ්ඩල වාර්තා අනුව පසුගිය දින කීපය තුල කටුනායක 5144 ක්, බියගම 3264ක්, මීරිගම, වතුපිටිවල හා මල්වත්ත කලාපයේ 450ක් , හොරණ 962 හා සීතාවක 280 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැර තිබේ. ඒ අය අතර නිදහස් වෙළද කාලපයේ සේවක සේවිකාවන් නොවන වෙනත් ස්ථාන වල සේවය කල පිරිස්ද වූහ..
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළද කලාපයේ නොවන වෙනත් කර්මාන්ත ශාලා හා ආයතන වල සේවය කල පිරිසක් සිය ගම් බිම් වලට යාගත නොහැකිව බෝඩිං වලට සීමා වී සිටින බව ඊයේ (29) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හෙලිවිය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියේ එම පිරිස්ද ආරක්ෂක අංශ සහයෝගයෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් ඇතිව ගම්බිම් බලා පිටත් කර හැරීමට කටයුතු කරන බවයි. ඒ අනුව පොලිස් ස්ථාන හරහා ඔවුන්ගේ නාම ලේඛණයක් සකසන ලෙස ඇමතිවරයා බස්නාහිර උතුර පලාත භාර නියෝජ්‍ය පොලිස් පතිවරයාට උපදෙස් දුන්නේය.