පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

සුමිත් චාමින්ද

දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි.

ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් වීම සහ වෙනස්වීම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉතාම කැපී පෙනෙන නිදර්ශකයක් ලෙස සැලකිය හැකිය. 

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ සැබවින්ම පක්ෂ ලෙස හැඳින්විය හැකිද යන කාරණයට අදාළව දේශපාලන විද්‍යාඥයින් අතර පවතින්නේ නොකඟතාවක් නොහොත් විවාදයක් බව සැබවි. නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එක්කෝ යමෙකුට යුරෝපාකරයේ හෝ වෙනත් කොතැනක හෝ පවතින ඊනියා පරමාදර්ශී පක්ෂ මොඩලයක් උපකල්පනය කරන්නට සිදුවේ; නොඑසේනම්, පක්ෂ පිළිබඳ මනෝමූලික නොහොත් ප්ලේටෝනික පරම ආකෘතියක් උපකල්පනය කරන්නට සිදුවේ.

එම උපකල්පන දෙකම අතිශයින් ප්‍රශ්නකාරීය. එබැවින් මගේ ප්‍රවේශය වන්නේ පක්ෂ යනු කතිකාමය ගොඩ නැංවීමක් ලෙස සැලකිය යුතුය යන්නයි. සරලව, සමාජ කතිකාව තුළ මෙරට පවතින පක්ෂ ‘පක්ෂ’ ලෙස පිළිගනු ලැබීම ඒවා පක්ෂ ලෙස සැලකීම සඳහා ප්‍රමාණවත්ය.

ඒ අරුතින් මෙරට සංවිධානාත්මක බහුජන දේශපාලන පක්ෂ පවතිනවා පමණක් නොවේ; මෙරටටම ආවේණික ද්වි-පක්ෂ, ද්වි-සන්ධාන නැතහොත් බහු-පක්ෂ දේශපාලන සම්ප්‍රදායන්ද ගොඩ නැගී විකාශනය වී ඇත. එබැවින් තරුණ දේශපාලන විද්‍යාඥයින් විසින් කළ යුතුව ඇත්තේ මෙරට දේශපාලන පක්ෂ නොපවතීය යන පහසු නිගමනයට පැමිණීම නොව ලාංකීය පක්ෂ දේශපාලනයට අදාළ සුවිශේෂකත්වයන්ද, එහි නව්‍ය ප්‍රවණතාද සංකල්පගත කරන්නට ප්‍රයත්න දැරීමය      

මේ කෙටි ලිපියේ අරමුණ ලාංකීය පක්ෂ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන පරිවර්තන කිහිපයක් වටහාගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි සංකල්පීය කටු සටහනක් ඉදිරිපත් කිරීමය.  

දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ

පක්ෂ ඓන්ද්‍රීය ශරීර ලෙස 

දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ. නමුත්, ඇතැම්විට පක්ෂ තුළ පවතින ඝනීභූත ආයතනික ව්‍යුහයන් හේතු කොටගෙන ඒවාට හැමවිටම සමාජයීය වෙනස්කම්වලට සුඛනම්‍ය ලෙස හැඩ ගැසීමට සමත් වන්නේ නැත. වත්මනෙහි එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින තත්ත්වය ඒ සඳහා කදිම නිදසුනකි.

ග්‍රාම්ස්චි දේශපාලන පක්ෂ ස්වකීය ඓතිහාසික ජීවිතයේදී මුහුණ දෙන පරිවර්තන ගැන ඔහුගේ කාලයේ ඉතාලියට සහ යුරෝපයට අදාළව පරීක්ෂා කොට ඇත. අපට එම විග්‍රහය එලෙසින්ම අදාළ නොවූවත් එයින් යම් ආලෝකයක් ලබා ගත හැකිය. ඔහු දේශපාලන අර්බුදයක් නොහොත් ඓන්ද්‍රීය අර්බුදයක් තුළ පක්ෂවල සිදුවන පරිවර්තන සලකා බලන ආකාරය මෙහිදී ඉතාම වැදගත්ය. 

ග්‍රාම්ස්චිට අනුව ඓන්ද්‍රීය අර්බුදයක් යනු යම් යම් සමාජ පංතීන් නොහොත් කණ්ඩායම් තමන් එතෙක් සාම්ප්‍රදායිකව පිළිගත් පක්ෂවලින් කැඩී වෙන්වීමේ තත්ත්වයක් තුළ පැන නගින්නකි. ඔවුන් සාම්ප්‍රදායිකව පිළිගත් නායකත්වයන් එලෙසම පිළිගැනීමට තවදුරටත් සූදානම් නැත. මෙවන් අර්බුදයේ මොහොතක් තුළදී පක්ෂ විවිධ ආකාරයෙන් එයට ප්‍රතිචාර දක්වයි. පක්ෂවල නායකත්ව ශ්‍රේණීන් වෙනස් කර ගැනීම, පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම්, නව වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කිරීම සහ මින් පෙර නොවූ විරූ ආකාරයේ සංධාන ඇති කර ගැනීම යනාදිය මෙහිදී අපේක්ෂා කළ හැකිය. නමුත්, කලින්ද පැවසූ ලෙස පක්ෂ ව්‍යුහයන්හි ඇති ඝනීභූත ස්වරූප හේතු කොටගෙන යම් පක්ෂයක් මෙසේ වෙනස්කම්වලට ලක් වන්නට අසමත් වන්නේ නම් එම පක්ෂය පරිහානියට පත් වනු ඇත. 

මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ. 

පක්ෂ අර්බුද ඓතිහාසිකව විමසා බැලීම 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයක් තුළම පාහේ වත්මනෙහි පවතින අර්බුද පළමුව අප ඓතිහාසික පර්යාලෝකයක් තුළ ස්ථානගත කොට විමසා බැලිය යුතුය යන්න මගේ යෝජනාවයි. මන්ද යත්, මෙම අර්බුද එක්තරා ඓතිහාසික ගැටළුවක් සමග සම්බන්ධ බැව් නිරීක්ෂණය කළ හැකි බැවිනි.

එම ගැටළුව නම් මා මින් පෙර කිහිප වරක්ම පැහැදිළි කොට ඇති ලාංකීය ධනේශ්වර හෙජමොනියේ අසාර්ථකත්වය පිළිබඳ ගැටළුවයි. එයින් අදහස් වන්නේ මෙරට පශ්චාත් යටත් විජිත ධනේශ්වරය පොදු සමාජය මත තම නායකත්වය ස්ථාපිත කර ගන්නට ඓතිහාසිකව අසමත් වීමයි. එම අසමත්භාවයට විසඳුමක් ලෙස ආගමික සහ ජනවාර්ගික ජාතිකවාදය වෙත හැරෙන්නට ඔවුනට සිදු විය. නමුත්, එහි ප්‍රතිපලය වූයේ මෙරට පක්ෂ ක්‍රමය ආගමික සහ ජනවාර්ගික පසමිතුරුතා අනුව හැඩ ගැසීමයි. ඒ අනුව, 1930 දශකයේ සිට 1950 දශකයේ මැද භාගය දක්වා මෙරට දේශපාලන ජීවිතයේ ප්‍රමුඛ පසමිතුරුතාව වූ වම දකුණ යන බෙදීම වෙනුවට ආගමික සහ ජනවාර්ගික බෙදීම් ප්‍රමුඛත්වයට පැමිණියේය. මෙය ලාංකීය දේශපාලන ක්‍රමය අස්ථාවරත්වයට පත් කරන ව්‍යුහාත්මක සාධකයකි. 

වත්මන් ආණ්ඩුව ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය යැයි නිතරම පාහේ පැවසුවද, මෙරට දේශපාලන අස්ථාවරත්වයේ ව්‍යුහාත්මක සාධකයක් වන ජාතික ප්‍රශ්නය නොතකා හරී. ජේ.ආර්. ජයවර්ධන පවා ධනවාදී සංවර්ධනය සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගොඩ නැගීමට අසමත් විය. ඒ ඔහු ලී කුවාන් යූ ගෙන් ඉගෙන ගැනීමට අසමත් වූ වැදගත් පාඩමක් විය හැකිය. 

මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ.        

මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ.

ධනවාදය සහ දේශපාලන ස්ථාවරත්වය

විශේෂයෙන්ම 1977 වසරේ ජයවර්ධන ව්‍යාපෘතිය මගින් සලකුණු වන්නේ එවන් වැදගත් ඓතිහාසික ඛණ්ඩනයකි. එහිදී ඔහු ධනවාදී සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද යළිත් වරක් මා ඉහත තේරුම් කළ හෙජමොනික ගැටළුවට මුහුණ දුන්නේය. එනම්, ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙලට ජන සමාජය තුළ කැමැත්ත ගොඩ නැංවීමේ බුද්ධිමය සහ සදාචාරාත්මක නායකත්වයක් නොමැති වීමයි; ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ස්ථරයක් නිර්මාණය කර ගැනීමට අසමත් වීමයි.

ග්‍රාම්ස්චියානු අරුතින් පක්ෂයම සමෝධානික බුද්ධිමතෙකු (integral intellectual) බවට පත් කිරීමටද ඔහු අසමත් විය. එයට විසඳුමක් ලෙස ජනවාර්ගික ජාතිකවාදය සහ යුදවාදය වැළඳ ගැනීමත්, මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණ යොදා ගැනීමත් ඔහුගේ තෝරා ගැනීම් විය. නමුත්, අප දැන් දන්නා පරිදි මෙම තෝරා ගැනීමේ ප්‍රතිපලය වී ඇත්තේ දේශපාලන ක්‍රමය මුළුමනින්ම අස්ථාවරත්වයට පත් වීමයි.

මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ. නමුත්, ඇතැම්විට, ජයවර්ධනගේ අසමත්භාවය හේතු කොටගෙන ඔහුගේ අනුප්‍රාප්තිකයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මගක් ගත්තේය.

ධනවාදී සංවර්ධනයත් ජාතික ගැටළුව දේශපාලනිකව විසඳීමත් අතිනත ගෙන යා යුතුය යන ලිබරල් සාම ප්‍රවේශය වික්‍රමසිංහ සේම කුමාරතුංගද පිළිගත්තේය. ඒ සඳහා තෘෂ්නි යුද්ධයෙන් පසුකාලීන ලෝක පර්යාය තුළ එක්සත් ජනපද, ඉන්දීය සහ යුරෝපා ධනවාදී බලවතුන්ගෙන් සේම ගෝලීය මූල්‍ය ආයතනවලින් එල්ල වූ තෙරපුමද නිසැකවම බලපෑවේය. නමුත්, තම ආර්ථික වැඩ පිළිවෙලට සේම ජාතික ප්‍රශ්නය පිළිබඳ ප්‍රවේශයටද මහජනයා අතර සුජාතභාවයක් ලබා ගැනීමේ දෘෂ්ටිවාදී නායකත්වයක් සැපයීමට චන්ද්‍රිකා කුමාරතුංග සේම රනිල් වික්‍රමසිංහද මුළුමනින්ම අසමත්ව තිබේ. රාජපක්ෂ ව්‍යාපෘතිය දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස පෙරට පැමිණෙන්නේ මෙම සංධර්භය තුළය. (එය ගෝලීය වශයෙන් ගත් කල, නව-ලිබරල් හෙජමොනිය අර්බුදයට ලක් වෙමින් පැවතුනු සහ චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික ධනවාදයේ නැගීම සිදුවෙමින් පැවති කාල වකවානුවක් බවද සැලකිය යුතුය). 

අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත.

ව්‍යුහාත්මක විග්‍රහයක් 

අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත. වත්මන් පාලක පක්ෂය නිදසුනක් ලෙස ගනිමු. ඒ තුළ නායකත්ව ශ්‍රේණීන් කිහිපයක් ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන බව පෙනෙන්නේ සිංහල නව ධනේශ්වර ව්‍යාපාරික, කළමනාකරණ සහ වෘත්තීයවේදී කණ්ඩායම්වල අභිලාෂයන්ය. එම පංති ස්ථරය ආර්ථිකමය වශයෙන් බලවත් වුවද, තමන්ට ප්‍රමාණවත් දේශපාලන නියෝජනයක් ලැබී නොමැත්තේ යැයි කල්පනා කරන බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කෙරෙන ධනවාදී සංවර්ධනය පිළිබඳ දැක්මට පොදු ජන සමාජයෙහි සුජාතභාවයක් ලබා දෙන ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය භාර ගත් පිරිසක්ද ඇත. (මෙය ජේ.ආර් ජයවර්ධනට නොතිබුණු වරප්‍රසාදයකි). 

නමුත්, ඔහුගේ ව්‍යාපෘතියට දැන් අභ්‍යන්තර බාධාවක් මුණ ගැසී තිබේ. ඒ, මහින්ද රාජපක්ෂගේ ජනතාවාදී නායකත්වයෙන්ද, බැසිල් රාජපක්ෂගේ අනුග්‍රාහකවාදී දේශපාලන ජාලයෙන්ද සැදුම් ලත් පොහොට්ටු පක්ෂයයි. එම පක්ෂය සමන්විතව ඇත්තේම දේශපාලන අනුග්‍රහය පදනම් කොටගත් ආර්ථික කටයුතු මගින් ධනය උපයන දේශපාලන-ව්‍යාපාරික පැලැන්තියකිනි.

ජනාධිපති විසින් ඉදිරිපත් කෙරෙන යහපාලන ප්‍රතිසංස්කරණ සඳහා පොහොට්ටු පක්ෂයේ දේශපාලක-ව්‍යාපාරික කණ්ඩායම් වෙතින් එල්ල වන්නේ බාධාවකි. එහෙයින්, ඔවුන් අතර ඇති ගැටුම අතිසරලව සහෝදරයන් අතර ගැටුමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍යය. ඒ වෙනුවට එය සිංහල නව ධනේශ්වරයේ ස්ථර දෙකක් අතර මෝදු වෙමින් පවත්නා අභිලාෂයන් අතර ගැටුමක් ලෙස වටහාගත යුතුය යන්න මගේ යෝජනාවයි.

හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි

නව-ලිබරල් සංස්ථාපිතයේ බිඳ වැටීම 

අවසන් වශයෙන්, වත්මන් එජාප අර්බුදය වටහා ගැනීමේදී විශේෂයෙන්ම සමකාලීන ගෝලීය දේශපාලනයේ ප්‍රවණතා සැලකිල්ලට ගැනීම වැදගත්ය. මන්ද යත්, එජාපයේ වික්‍රමසිංහ නායකත්වය පැහැදිලිවම ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතය සමග සම්බන්ධ නිසාත් ඔහුගේ ආර්ථික දැක්ම ඒ අනුව හැඩ ගැසී පැවතීම නිසාත්ය.

මා කලින් පැහැදිලි කළ සුවිශේෂී ලාංකීය ඓතිහාසික සාධක හේතු කොටගෙන වික්‍රමසිංහට ඔහුගේ ආර්ථික දැක්මට සමාජයීය සුජාතභාවයක් ගොඩ නගා ගත නොහැකි වී තිබේ. ඊට අමතරව, කොහොමටත් 2008 වසරෙන් පසුව ලොව පුරාම උදාවෙමින් ඇත්තේ නව-ලිබරල් සංස්ථාපිතයේ පරාජයේ කාල වකවානුවකි. එය වටහා ගන්නට දුර ඈත යුරෝපය හෝ එක්සත් ජනපදය දෙස බැලිය යුතු නැත. අපගේ අසල්වැසි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රභූ නායකත්වයට සිදු වූ දෙය දෙස බැලීම පවා ප්‍රමාණවත්ය. කෙසේ වුවත්, එජාපයේ අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකුගේ අර්බුදයක් ලෙස අර්ථකථනය කිරීම අතිශයින්ම සරලමතිකය. සැබෑ අර්බුදයේ මූල හේතූන් පවතින්නේ දේශපාලන ආර්ථිකය තුළය. 

එහෙයින් හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි. රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් නියෝජනය කෙරෙන දක්ෂිණාංශික ජාතිකවාදය පැමිණෙන්නේ නව-ලිබරල් හෙජමොනියේ අර්බුදයට දක්වන ධනවාදී ප්‍රතිචාරයක් ලෙසය. එනම්, ආර්ථික ආරක්ෂණවාදය සමග මුසු වූ අධිකාරීවාදී ධනවාදය වෙත හැරීමයි. ඊනියා ආසියාතික වටිනාකම් සහිත ධනවාදය යනු එයයි. අද ලොව පුරා මෙවන් දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාරවලට විකල්ප ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ වාමාංශික ජනතාවාදී සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයන්ය. 

පැහැදිලිවම රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් අනතුරට ලක් කෙරෙන්නට ඉඩ ඇත්තේ සුළුතර ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාවන්ය; ආර්ථිකමය සහ සමාජයීය නිර්ධනයන්ය. එසේම, නිදහස, බහු-විධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන ඇගයුම්ය. අනාගත ඓන්ද්‍රීය දේශපාලන නායකත්වය බවට පත් විය හැක්කේ මෙසේ රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් බැහැර කෙරෙන සමාජ කණ්ඩායම්, අනන්‍යතා, අභිලාෂයන් සහ වටිනාකම් යනාදිය විකල්ප ව්‍යාපෘතියක් වටා සංවිධානය කර ගන්නට සමත් වන බලවේගයකට පමණි.     

               සුමිත් චාමින්ද                  

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *