කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් අමතා මෙම ඉල්ලීම කළ බවයි.
සිරිසේන මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් පිළිතුරක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහාතා එහිදී දැනුම් දුන් බවත් ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයා ප‍්‍රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා කියා සිටියේ කලින් තීරණය කළ පරිදි කලුතර, නුවරඑළිය, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවයි.
දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවට දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එම රැස්වීමේදී පෙන්වා දුන් බවත් ඒ අවස්ථාවේදී හිටපු ජනපතිවරයා දුරකථනයේ බැසිල් රාජපක්ෂ මහතාට අමතා කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සදහන් කළේය.
මේ අතර ශ‍්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක ද ‘අත’ ලකුණ යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට වෙනම අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවයි.
මේ තත්ත්වය තුළ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලට ද මහින්ද අමරවීර හම්බන්තොටට ද ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත්වීම සඳහා මේවනවිටත් නාමයෝජනා අත්සන් කර තිබීම විශේෂත්වයකි.