Covid 19: අද දිනයේ රටවටා සියලු පුවත් කෙටියෙන්

දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක්


ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන සියලු දෙනාගේ දෑත් දෝවනය කර ගැනීමට සහ මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම්  ලෙස ජලය, විෂබීජ නාශක සහ සබන්වැනි දෑ පළමු අදියර වශයෙන් සපයා ඇති බවත්,  

දෙවැනි අදියර වශයෙන් දේශිය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විෂබීජ නාශකයක් අවශ්‍යතාවය පරිදි ලබා දෙන බවත් මෙමගින් අවශ්‍ය නම් මුහුණ පවා පිරිසිදු කරගැනීමට හැකි බවද දියවඩන නිලමේවරයා කියා සිටියා. මාළිගාව තුළට දානමාන රැගෙන යන සියලු බැතිමතුන්ටත් මේ අවස්ථාව සලසාදී තිබෙන බවත් දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසුවා.

තෙවැනි අදියර වශයෙන් දළදා මාළිගා පරිශ්‍රය තුළ රැඳිසිටින විශාල බැතිමතුන් පිරිසක්  සිටින බවත් ඒ නිසා දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර දූමායනයක් මුළු දළදා මාළිගාව පරිශ්‍රය තුළම සිදුකරන බවත් සදමන් කළා. 

මෙවන් කටයතු මගින් දළදා මාළිගා පරිශ්‍රයේ සියලු බැතිමතුන්ට බියෙන්, සැකයෙන් තොරව වන්දනාමාන කිරීමට හැකි පරිදි  විශේෂ අවධානය යොමු කර සකස් කර ඇති බවත්, දළදා මාළිගාවට පැමිණෙන සියලු බැතිමතුන්ට බියෙන් සැකෙන් තොරව දළදා වහන්සේ වැඳපුදාගන්න අවස්ථාව ඇති බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී තව දුරටත් සදහන් කළා.

දේවමෙහෙයයන් පැවැත්වීම අත්හිටුවන්න – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ


දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයයන් පැවැත්වීම මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති. ඒ අනුව දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය සහ අනිකුත් දේව මෙහෙයයන් මාර්තු මස 31 වැනිදා දක්වා නොපැවැත්වේ.

කොළඹ මහනගර සභාව විෂබීජහරණය අරඹයි


කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කළා.

චමල් – නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි


රට තුළ පවතින අයහපත්  වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තම රජය වඩා සැලකිලිමත් වන බවත් එම නිසා මෙම තීරණය ගත් බවත් ඔවුන් කියා සිටියා.

සත්වෝද්‍යානය – ජාතික උද්‍යාන වසා දමයි

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමේ උපායයක් වශයෙන් දෙහිවල සත්වෝද්‍යාන, පින්නවල අලි අනාථාගාරය, රිදීගම සෆාරි උද්‍යානය මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති උද්භිද උද්‍යාන සියල්ලම සති දෙකක් පුරා වසා දැමීමට රජය තීරණය කර තිබේ.  

සියලුම සිනමාශාලා වසා දමයි

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කළා.

කැළණියේ බාහිර උපාධි පරීක්ෂණ අත්හිටුවයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සළකා බලමින් හෙට (15දා) කැළිණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ බාහිර උපාධි පරික්ෂණය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්

කොරෝනා වෛරසය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත්  සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා තිබෙනවා.

මෙම වැඩ පිළිවෙළ අද (14) ආරම්භ වන අතර ජලය හා  දෑත් සේදීමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබා දීමටත් ඒ සඳහා වන පහසුකම් ලබා දීමටත්  පියවර ගෙන තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.