Covid 19: මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය

වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි

නාලක ගුණවර්ධන 

යුවාල් නොවා හරාරි (Yuval Noah Harari)

යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන ඔහු, ලෝක අවධානයට මුලින්ම පත්වූයේ Sapiens: A Brief History of Humankind නමින් 2014දී ලියූ විශිෂ්ට පොත නිසායි.

සාම්ප්‍රදායික ඉතිහාසඥයන්ට වඩා බෙහෙවින් වෙනස් මානවලින් මානව ඉතිහාසය විග්‍රහ කරන ඔහු ඉන් පසු තවත් වැදගත් පොත් දෙකක් ලියා තිබෙනවා. පූර්ව ඉතිහාසයේ සහ ඉතිහාසයේ පුළුල් ආඛ්‍යානයක් ගැන ඔහු කරන විග්‍රහයන් ලොව පුරා බුද්ධි කලම්බනයන්ට තුඩු දී තිබෙනවා.

තවමත් 44 හැවිරිදි මේ ලෝ ප්‍රකට බුද්ධිමතා, වත්මන් කොරෝනා වයිරස් අර්බුදය ගැන ලියූ අතිශයින් කාලීන ලිපියක් 2020 මාර්තු 15 වනදා TIME පුවත් සඟරාවේ පළ වුණා.

කොරෝනා ගැන ජනප්රිය මතවාදයන් අභියෝගයට ලක් කරන සහ සමස්ත මානව සමාජයටම අලුතින් සිතන්නට ඉඩක් සපයා දෙන මේ වැදගත් ලිපිය මා සිංහලට අනුවාදය කළා. මෙය සෘජු පරිවර්තනයක් නොවන්නේ අපේ පාඨකයන්ට උදව්වන පසුබිම් තොරතුරු ඇතැම් තන්හි මා එකතු කොට ඇති නිසයි. එසේ වුවද මෙහි විග්රහ සියල්ල හරාරිගේම බව සලකන්න.

කොරෝනා වෛරස් ආසාදනය මෙතරම් ඉක්මනට ලොව පුරා පැතිර ගියේ ගෝලීයකරණය නිසා යයි චෝදනා කරන ඇතැම් දෙනා, එයට හොඳම ප්‍රතිකර්මය ලෙස යෝජනා කරන්නේ ගෝලීයකරණය ආපසු හැරවීමයි. එනම් රටවල් අතර මානවයන් සංචරණය සීමා කිරීම, අන්තර්ජාතික වෙළඳාම අඩු කිරීම සහ හැකි නම් දේශසීමා තර කිරීම සඳහා ප්‍රාකාරයන් ගොඩ නැගීම ආදිය යෝජනා කැරෙන සැටි අප දකිනවා.

කෙටි කාලීනව නිරෝධායනය වැනි පියවර වසංගත රෝග නිවාරණයට ප්‍රයෝජනවත් වුවත්, දිගු කාලීනව ලෝකයේ රාජ්‍යයන් එකිනෙකාගෙන් හුදකලා වුවහොත් එයින් සිදුවන්නේ ලෝක ව්‍යාප්ත ආර්ථික කඩා වැටීමක් පමණයි. රටවල් හුදකලා වූ පමණට සොබාදහමෙහි වෛරස් සහ වෙනත් විෂබීජ මර්දනය වන්නේ හෝ විනාශ වී යන්නේ නැහැ.

කොරෝනා වෛරසය ඇතුළු අප දන්නා සහ නොදන්නා බෝවන රෝග වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් එකිනෙකාගෙන් හුදකලා වීම නොව, රටවල් අතර සහයෝගීතාව වඩාත් පුළුල් කිරීමයි.

ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

ගෝලීයකරණයක් සිහිනෙන් පවා නොසිතූ ලෝකයක – මහමාරිය වසංගතය (Black Death)

එංගලන්තය මහාමාරිය වසංගතයට මුහුණ දී සිටි අයුරු.

ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

මහමාරිය නිසා යුරෝපයේ සහ ආසියාවේ එවකට විසූ ජනයා මිලියන 75 සිට මිලියන 200 අතර සංඛ්‍යාවක් අකාලේ මියයන්නට ඇතැයි අනුමාන කරනවා. ඒ කාලේ නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම දුෂ්කරයි. එංගලන්තයේ පමණක් සෑම දස දෙනකුගෙන් සිවුදෙනකුම මහමාරියෙන් මියගියා.

වසර 1520 වන තුරු උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපයන්හි වසූරිය රෝගය හමුවූයේ නැහැ. 1520 මාර්තු මාසයේ හර්නාන් කෝටෙස් නම් ස්පාඤ්ඤ ජාතික දේශ ගවේශකයා අද මෙක්සිකෝව ලෙස අප හඳුන්වන ප්‍රදේශයට මුල්වරට පැමිණියා. ඔහුගේ දූත පිරිසේ සිටි එක් අයකු හරහා නොදැනුවත්වම වසූරිය වෛරසය එහි සිටි ඇස්ටෙක්වරුන් අතර පැතිර ගියා.

1520 දෙසැම්බර් වන විට වසංගතයක් ලෙස සමස්ත මධ්‍යම ඇමරිකාව හරහා පැතිර ගොස් එවකට සිටි ජනගහනයෙන් තුනෙන් එකක් එයින් මියගියා. ඒ යුගයේ දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවක් එහි පැවතියේ නෑ. අඩු තරමින් බක්කි කරත්තවත් නොතිබුණු මුත් වෛරසය කෙසේ හෝ ඉක්මනින් ව්‍යාප්ත වී බරපතළ හානි කළා.

ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

ස්පාඤ්ඤයෙන් පටන්ගෙන ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය

H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය – 1918 දී රෝගීන්ට “නැවුම් වායු ප්‍රතිකාර” ලබා දුන් ඉන්ෆ්ලුවෙන්සා කඳවුරක්

ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

හරිහැටි සංඛ්‍යාලේඛන නොමැති නිසා මියගිය මුළු ගණන මිලියන 100 විය හැකි යයි සමහර පර්යේෂකයන් කියනවා. ලිඛිත ඉතිහාසයේ බිහිසුණුම වසංගතයක් ලෙස සැලකෙන මෙය, 1914-1918 අතර කාලයේ සිදු වූ පළමු වන ලෝක යුද්ධය නිසා මියගිය සංඛ්‍යාවට වැඩි ගණනකට මරු කැඳවූවා.

ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලෙස බහුලව හැඳින්වෙන එම ඛේදවාචකයෙන් පසු ගතවුණු සියවසක කාලය තුළ, බෝවන රෝගයක් රටවල් තුළ සහ රටින් රටට ඉක්මනට පැතිරෙන්නට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. ප්‍රවාහන පහසුකම් දියුණුවීම මෙන්ම මානව ජනගහනය විශාල වශයෙන් වැඩිවීම නිසා යම් බෝවන රෝගයක් වසංගත මට්ටමට පත්වීමට ඇති හැකියාව ඉහළයි.

මධ්‍යකාලීන යුරෝපයේ ෆ්ලොරන්ස් වැනි සශ්‍රීක නගරයක වසංගතයක් පැතිරීමට තිබූ විභවයට වඩා බෙහෙවින් වැඩි ඉඩක්, වර්තමානයේ තෝකියෝ නැතහොත් මෙක්සිකෝ නුවර වැනි මහ නගරවල (mega cities) හමුවනවා. මේ නිසා අප නිතර නිතර වසංගතවලට ගොදුරුවීමේ හැකියාවක් පවතින නමුත්, අපේ වත්මන් යථාර්ථය එය නොවෙයි. මෙයට හේතුව කුමක්ද?

පසුගිය සියවස තුළ සැබැවින්ම සිදුව ඇත්තේ වසංගත රෝග හට ගැනීමේ ප්‍රවණතා මෙන්ම ඒවායේ බලපෑම් ද ප්‍රබල ලෙස අඩුවීමයි.

21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත

HIV ආසාදිතයෙක්

21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

විෂබීජ සහ මානව අප අතර දිගු කලක් තිස්සේ පවතින නොනවතින යුද්ධයේදී, මානව පාර්ශ්වය ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා. වෛරස්වලට වඩා මානවයන් යම් ක්‍රියාවලට සමත්. මානව වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් විද්‍යාත්මක ක්‍රමයට දත්ත එකතු කර විශ්ලේෂණය කරද්දී, වෛරස් ඇතුළු සෙසු විෂබීජවලට හැක්කේ ප්‍රජනනය හරහා තමන්ගෙ ජානමය ද්‍රව්‍ය වැඩි කිරීමට සහ ඉඳහිට ජාන වෙනස්වීම්වලට ලක්වීමට පමණක් නිසායි.
14 වන සියවසේ මහමාරිය යුරෝපය පුරාම මහත් ව්‍යසන සිදුකරද්දී එයට හේතුව කුමක්දැයි කිසිවකුත් දැනසිටියේ නෑ. ප්‍රවේශම් වීමට කුමක් කළ හැකිද යන අවබෝධය තිබුණේද නෑ.

මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

මිත්‍යාව මත පදනම් වූ ලෝකයක් තුළ සිතූ දේ

නුතන විද්‍යාත්මක දැනුම මෑත සියවස් තුන හතරක කාලය තුළ දියුණු වී ඒමට පෙර සියලුම ජන සමාජවල විශ්වාසය වූයේ රෝග ආබාධ ඇති කරන්නේ කෝපයට පත්වූ දෙවියන් විසින්, බිහිසුණු රකුසන් විසින් හෝ අයහපත් වාතය විසින් බවයි.

ප්‍රකෘති ඇසට නොපෙනෙන අතිශයින් විවිධ වූ ක්ෂුද්‍ර ජීවී ලෝකයක් තිබෙන බව කිසිවකුත් දැන සිටියේ නැහැ. සුරංගනාවන් සහ දේවදූතයන් ගැන ප්‍රවාදයන් බොහෝ සමාජවල විශ්වාස කළත්, තනි වතුර බිංදුවක නොයෙක් ලෙඩ රෝග ඇති කළ හැකි විවිධාකාරයේ ක්ෂුද්‍ර ජීවීන් ඉමහත් සංඛ්‍යාවක් සිටින බවට ඉඟියක්වත් තිබුණේ ද නැහැ.

එවැනි පසුබිමක මහමාරිය හෝ වසූරිය පැතිරෙන්නට ගත් විට එවකට සිටි පාලකයන්ට කළ හැකි එකම දෙය වූයේ ජනයා බේරන්නට දෙවියන්ට කන්නලව් කිරීම පමණයි. එහෙත් එය කිසි ලෙසකින් හෝ සාර්ථක උපක්‍රමයක් වූයේ නැහැ. සාමූහිකව යාඥා කරන්නට ජනයා ඒකරාශී වූ බොහෝවිට සිදුවූයේ රෝගකාරක විෂබීජ තවත් වැඩි වැඩියෙන් ජනයා අතර පැතිර යාමයි!

පසුගිය සියවසක පමණ කාලය තුළ වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා. වසංගත රෝග මර්දනය සහ නිවාරණය ගැන දැනුම මෙන්ම ක්‍රමෝපායන්ද මානව ඉතිහාසයේ වෙන කිසි දිනකට වඩා අද දියුණු වී තිබෙනවා.

පරිණාමය පිළිබඳ විද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්ත යොදා ගනිමින් නව රෝගකාරකයන් විටින් විට මතුව එන්නේ සහ පැතිරී යන්නේ ඇයි ද යන්න සාර්ථකව පහදා දීමට නවීන විද්‍යාවට හැකියි. ජාන විද්‍යාත්මක දැනුම හරහා ක්ෂුද්‍ර ජීවීන්ගේ චර්යා රටා සහ බෝවීමේ ප්‍රවණතා සියුම්ව තේරුම් ගන්නට විද්‍යාඥයන්ට පුළුවන්.

මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු

බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු, එම රෝග පාලනය සහ මර්දනය කිරීම වඩාත් ඉලක්කගතව කළ හැකි වුණා. ඉහළ ස්වස්ථතාව ( hygiene), ප්‍රතිශක්තිකරණ එන්නත්, ප්‍රතිජීවක ඖෂධ ( antibiotics) සහ දියුණු කරන ලද වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාත්මක යටිතල පහසුකම් යොදා ගනිමින් අපේ ඇස් වලට නොපෙනෙන මේ රෝගකාරක සතුරන්ට එරෙහි අරගලය වඩාත් කාර්යක්ෂම ලෙස හසුරුවන්නට නූතන මානවයාට හැකිව තිබෙනවා.

1967 තරම් මෑත කාලයේ වසූරිය රෝගය ලොව පුරා මිලියන 15 තරම් ජනකායකට වැළඳුණු අතර, එයින් මිලියන දෙකක් අකාලයේ මියගියා. එහෙත් එතැන් පටන් ගෙවුන දශකයක කාලය තුළ වසූරිය මර්දනයට ලෝකයේ රටවල් ගත් සමෝධානිත පරිශ්‍රමය නිසා සහශ්‍ර ගණනක් තිස්සේ මානව සංහතියට මහත් වධ දුන් ඒ බිහිසුණු වෛරස් රෝගය මිහිපිටින් තුරන් කිරීමට හැකි වුණා. 1979 ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළේ වසුරිය වෛරසය තවදුරටත් ස්වභාවිකව හමුනොවන බවයි.

ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

ඉතිහාසය කියා දෙන පාඩම් දෙක

මෙම ඈත මෑත ඉතිහාසය මත පදනම් වී අලුත් කොරෝනා වෛරසය ගැන අපට කළ හැකි හොඳම බුද්ධිගෝචර විග්‍රහය කුමක්ද?

ඉතිහාසයේ පළමුවන පාඩම් නම් තනි රටක දේශ සීමා වසා දැමීමෙන් එරට වැසියන් මෙම වෛරසයෙන් ආරක්ෂා කළ නොහැකි බවයි. ගෝලීයකරණය ව්‍යාප්ත වන්නට සියවස් ගණනකට පෙර පවා සාපේක්ෂව කෙටි කාලයක් තුළ අතිවිශාල බිම් පෙදෙසක පැතිර යාමට රෝගකාරකයන් සමත් වූ බව මධ්‍යකාලීන යුරෝපයේ ප්‍රබල අත්දැකීමයි. හුදකලාවීමෙන් රෝග කාරක පැතිරීම අවම කරගන්නට උත්සාහ කරනවා නම් මධ්‍යකාලීන යුරෝපයට නොව ගල් යුගය තරම් ඈත අතීතයට යන්නට සිදුවේවි. එය කිසිසේත්ම කළ හැකිද?

ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

යම් රටක් නව රෝග වසංගතයකට එක්වරම මුහුණ දෙන විට ඒ පිළිබඳව සෞඛ්‍ය විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ඉක්මනින්ම සෙසු රටවලට හෙළි කිරීමට හැකිවිය යුතුයි. එසේ කරන රටට අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අවම විය යුතුයි. එසේ හෙළි කරනු ලබන විද්‍යාත්මක තොරතුරු සෙසු රටවලට විශ්වාස කළ හැකි විය යුතුයි. එම තොරතුරු මත පදනම් වී අදාළ රටට ඉක්මනින් සහ ඇති පමණින් ආධාර උපකාර කිරීමේ යහ සම්ප්‍රදායක් ගොඩනඟා ගත යුතුයි.

රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි.

වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය

චීනය නව කොරෝනා වෛරසය සමග පොර බැඳීමෙන් ලත් දැනුම සහ අත්දැකීම් සමුදාය ලොව සෙසු රටවල් සමඟ බෙදාගන්නට හැකි නම් කෙතරම් අපූරුද? මෙය සිදුවීමට නම් ඉහළ මට්ටමේ අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අවශ්‍ය වනවා.

රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි. එහෙත් රටවල් එකිනෙකා ඇති තරම් විශ්වාස නොකරන විට අන්තර්ජාතික වශයෙන් සමෝධානිත ලෙස මෙම රෝග නිවාරණ පියවර ගැනීම අපහසු වනවා.

යම් රටකින් හෝ ප්‍රධාන නගරයකින් ආසාදිතයන් 100ක් හමුවූවා යයි සිතන්න. රෝගකාරකය තවත් පැතිර යාම වළක්වනු පිණිස lockdown කළ යුතු වුවත්, එසේ කළ පසු ටික දිනකින්ම බරපතළ ආර්ථික පසුබෑම ඇතිවනවා. ලෝකයේ සෙසු රටවල් තමන්ට උදව්වට එනු ඇතැයි ප්‍රබල විශ්වාසයක් තිබේ නම් මෙබඳු භාරදූර තීරණයක් නොබියව ගන්නට අදාළ ආණ්ඩුවට හැකි වනවා.

එහෙත් ‘අපට ඇත්තේ අපේ සරණ පමණයි’ යන දුර්වල විශ්වාසය මත තීරණාත්මක රෝග නිවාරණ පියවර කල් දමමින් සිටියහොත්, කිසිවකුට පාලනය කළ නොහැකි ලෙස වසංගතය උත්සන්න වනවා.

වසංගත රෝග පිළිබඳව වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය වන්නේ මෙයයි: කුමන හෝ රටක වසංගත පැතිරේ නම් එය සමස්ත මානව සංහතියටම තර්ජනයක්. මීට හේතුව වෛරස් දිගින් දිගටම පරිණාමය වෙමින් පැවතීමයි.

සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගල

COVID-19 රෝගකාරක කොරෝනා වෛරසය සලකා බලන්න. වවුලකු වැනි සත්වයෙකුගේ සිරුරෙහි මුලින්ම මේ වෛරසය බිහිවූවා යැයි දැනට පිළිගැනෙනවා. 2019 යම් අවස්ථාවක මේ නව වෛරසය මානවයකුගේ ශරීර ගතවුණා.

මුලින් මානව දේහය එම වෛරසයට ආගන්තුක වුවත්, නොබෝ දිනකින්ම එය නව ධාරකයාගේ ( host) දේහ පරිසරයට අනුගත වනවා. මානව දේහ තුළ වෛරස් මහා පරිමාණයෙන් බෝවෙද්දි ඉඳහිට වෛරසය ජානමය විකෘති ( genetic mutations) හටගන්නවා. මේ සමහරක් නිසා වෛරසය වඩාත් ප්‍රබල ලෙසින් පැතිර යන්නටත් ඒ ආසාදිත ශරීරවලට දැඩි හානි කරන්නටත් හැකියි.

ආසාදිත මානව දේහයන් තුළ වෛරස බිලියන සහ ටි්‍රලියන ගණනින් වැඩි වද්දී ඉඳහිට දරුණු බව වැඩි වෛරස මාදිලියක් බිහිවීමේ හැකියාව තිබෙනවා. ඔබ මේ කියවන මොහොතේත් එබඳු වූ ජාන විකෘතියක් චීනයේ, ඉරානයේ හෝ ඉතාලියේ ආසාදිත මානවයකුගේ සිරුරෙහි සිදුවෙමින් පවතිනවා පුළුවනි. එයින් වසංගතය වඩා දරුණු වුවහොත් එය බලපාන්නේ එකී රටට පමණක් නොව සමස්ත මානව සංහතියටමයි!

සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

1970 දශකයේ වසූරිය මිහිමතින් තුරන් කිරීමට හැකිවූයේ සැම රටකම වෙසෙන සෑම මානවයකුම එයට එරෙහිව එන්නෙත් කොට ප්‍රතිශක්තිය ලබා දුන් නිසයි. එම ප්‍රයත්නයේදී එක් රටක් හෝ එයට සම්බන්ධ නොවුණා නම් සමස්ත මානව පවුලම තවදුරටත් වසූරියට කවදා හෝ ලක්වීමේ අවදානම සමග දිගටම ජීවත් වන්නට ඉඩ තිබුණා.

අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකයි

වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගලයේදී දේශ සීමා ආරක්ෂා කිරීම වැදගත්. එහෙත් මෙයට අදාළ හා වැදගත් වන්නේ රටවල් අතර දේශසීමා නොවෙයි. අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

අපේ ග්‍රහලොව හැම අස්සක මුල්ලකම වෛරස් ප්‍රභේද හා මාදිලි ඉතා විශාල ගණනක් හමුවනවා. ජානමය විකෘතිවීමෙන් නව වෛරස් නිතර බිහිවනවා. මානව-වෛරස් දේශ සීමාවේ එක් තැනෙක රැකවල් කිරීම අඩාල වුවහොත් එතැනින් මානව ලෝකයට පිවිසෙන වෛරස් සමස්ත මානව වර්ගයාටම තර්ජනයක්.

පසුගිය සියවස පුරා විද්‍යාවේ දියුණුවත් සමග මෙම මානව-වෛරස් දේශ සීමාවේ රැකවල් ප්‍රබල ලෙස තර කිරීමට අපට හැකිව තිබෙනවා. මේ දේශසීමාවේ මහා ප්‍රාකාරය නම් හැම රටකම මහජන සෞඛ්‍ය සේවාවයි. දිවා රැයේ එය මුර කරන්නේ වෛද්‍යවරුන්, සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා වෛද්‍ය පර්යේෂකයන් විසින්.

එහෙත් මේ වෛරස්-මානව දේශසීමාවේ දිගු කොටස් අනාරක්ෂිතයි. අවම සෞඛ්‍ය සේවාවන් හෝ නොලබන මානවයන් මිලියන සිය ගණනක් ලොව පුරා විහිද සිටිනවා. මෙසේ දේශසීමාවේ කොටස් නිරාවරණය වීම අප සියලුදෙනාම අන්තරායට පත් කරනවා.

වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි.

අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි

අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි. මානවයන් එකිනෙකා අතර විශ්වාසය හෝදාපාලු වී යාමේ අර්බුදයක්ද අද උග්‍රව තිබෙනවා.

වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ විවිධ රටවල දේශපාලකයන් රැසක් වගකීම් විරහිතව කළ ප්‍රකාශ සහ ගත් තීරණ නිසා විද්‍යාත්මක ක්‍රමවේදය, පොදු ආයතන සහ අන්තර්ජාතික සහයෝගීතාව යන අතිශයින් වැදගත් ප්‍රපංචයන් පිළිබඳව තිස්සේ ගොඩ නැගී තිබුණු මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ අතිශයින් තීරණාත්මක මොහොතේ අර්බුද කළමනාකරණයට යොමුවීමට මානව වර්ගයාට සිදුව ඇත්තේ තම රටවැසියන්ගේ විශ්වාසය අඩු, විද්‍යාත්මකව විසඳුම් සෙවීමට අසමත් සහ සෙසු රටාල් සමග සහයෝගයෙන් වැඩ කිරීමට නොකැමති දේශපාලන නායකයන් බහුතරයක් සමගයි.

2014 ඉබෝලා වසංගතය අවස්ථාවේ සහ 2008 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේ දේශපාලන මතවාදයන් පසෙකලා අන්තර්ජාතික සහයෝගිතාව සහ විද්‍යාත්මක දැනුම මත පදනම් වූ විසඳුම් සෙවීමට ඇමරිකා එක්සත් ජනපදය නායකත්වය ලබා දුන්නා. එහෙත් මෑත වසරවල ඇමරිකාව මෙබඳු ගෝලීය නායකත්වයක් ලබාදීමට පෙරට එන්නේ නැහැ. වර්තමානයේ ඇමරිකානු රජය ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) වැනි ඉතා වැදගත් අන්තර්ජාතික සහයෝගිතාවයන්ට ලබාදෙන අරමුදල් අඩු කොට තිබෙනවා.

කොරෝනා වෛරස අර්බුදය මුලින් මතු වූ විට වත්මන් ඇමෙරිකානු රජය ඒ ගැන තැකීමක් නොකර පසෙකින් බලා සිටියා. මේ දක්වා ද (2020 මාර්තු 15) ගෝලීය වසංගතයට යන්න කීව ගෝලීය නායකත්වයක් සපයන්න සූදානමක් නැති පාටයි. පමා වී හෝ එබඳු උත්සාහයක් කළ ද එය ලෝකයේ සෙසු රටවල් කීයක් විශ්වාස කරයිද?

ඇමරිකාව විසින් අතහැර දමනු ලැබූ ගෝලීය බුද්ධිමය නායකත්වයේ හිඩස පුරවන්නට වෙන කිසිදු රටක් මේ දක්වා සමත් වී ද නැහැ. විදේශිකයින් නුරුස්නා බව, අන්තර්ජාතික සහයෝගිතාවෙන් දුරස්වීම සහ අන්තවාදී ජාතිකවාදය වැනි ප්‍රවණතා පෙරමුණට පැමිණ තිබෙන අද දවසේ තනි රටවල් මට්ටමෙන් ආත්මාර්ථකාමීව සිතා ක්‍රියා කිරීම වෙනුවට මානව සංහතිය වෙනුවෙන් පොදුවේ ක්‍රියාකරන්නට නායකත්වයක් මතු වී නැහැ.

මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි.

මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දන ලොකුම අභියෝගය

උදාහරණයකට යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල් මේ අවස්ථාවේදී වසංගත රෝග මර්දනයට ඇති තරම් සූදානම් වූ බවක් හෝ සංගමයේ වඩා ඉසුරුබර රටවල් යුරෝපයේම වඩා අගහිඟකම් ඇති රටවලට ඇති තරම් උදව් කරන බවක් මේ දක්වා දැකිය නොහැකියි. දුෂ්කර අවස්ථාවක එකිනෙකාගේ පිහිටට නොඑන අන්තර්-රාජ්‍ය හවුලක ඇති ඵලය කුමක්ද?

මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි. මානව සමාජ හා රාජ්‍යයන් එකිනෙකා සමග අසමගිව කුළල් කා ගන්නා සෑම දිනයක් පාසාම එය වෛරසයට ජයක් අත්කර දෙනවා.

එහෙත් විවිධ මතවාදී වෙනස්කම් හා පසුගිය එදිරිවාදිකම් නොතකා, අන්තර්ජාතික සහයෝගයෙන් කොරෝනා වෛරස් අභියෝගය ජය ගන්නට ලෝකයේ ආණ්ඩුවලට දේශපාලන නායකයන්ට හැකි වුවොත්, එය මේ ආසාදනයට පමණක් නොව ඉදිරි වසංගතවලටත් එරෙහිව ආරක්ෂාව සපයන රැකවරණයක් වනු ඇති.

-නාලක ගුණවර්ධන-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *