ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක් / ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට / සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට / කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක් /ග‍්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ

ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක්
කොරෝනා වෛරසය වේගයෙන්ම ව්‍යාප්ත වන රටක් බවට මේ වන විට ඉරානය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය කියනවා.
ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවී ගිය පැය 24 තුළ කොරෝන වෛසරය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ නව මරණ 149ක් තහවුරු කර ඇති අතර ඒ අනුව ඉරානයේ සමස්ත මරණ සංඛ්‍යාව 1284ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වී පැය 24ක කාලයක් තුළ රට තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවයි එරට සෞඛ්‍ය අංශ කියන්නේ.
මේ අතර ඉරානයෙන් ගත වූ පැය 24ක කාලය කොරෝනා වෛරස ආසාදිතයන් 1046 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ඉරානයේ කොරෝනා ආසාදිතයින් ගණණ 18,407ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලිරේසා රයිසි පැවසුවා.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියනූෂ් ජහාන්පූර් අද (19) සදහන් කළේ වර්තමානය වන විට සෑම විනාඩි 10කට වරක් එක් ඉරාන ජාතිකයෙකු නව කොරෝනා වෛරසයෙන් මිය යන බවත් සෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බව එහි නගරාධිපතිනිය අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිටත් බොහෝ පිරිසක් වෛරසය ආසාදනය වීමේ ලකුණු පෙන්වන අතර වහා අනතුරට පත්විය හැකි සියයට 15 පමණ ජනතාවට මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක් විය හැකි බවයි නගරාධිපතිවරිය පවසා ඇත්තේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ වයස්ගත හෝ වහා අනතුරට භාජනය විය හැකි සෞඛ්‍ය තත්ත්වයක පසුවන අයෙකුට මෙම වෛරසය ඇසාදනය වී පැය 24ක් හෝ 48ක් තුළ ජීවිත හානියක් සිදුවිය හැකි බව ද නගරාධිපතිනිය අනතුරු අගවා තිබෙනවා.
මැඩ්රිඩ් නගරාධිපතිනිය මෙවැනි භයානක අනතුරු ඇගයීමක් කරන අතර ස්පාඤ්ඤය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම මගින් 767 දෙනකු මියගොස් ඇතැයි ද පසුගිය දිනක කාලය තුළ මියගිය සංඛ්‍යාව සියයට 20ක ඉහළ යාමක් පෙන්වන බව ද ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට ස්පාඤ්ඤය තුළ සමස්ත ආසාදිතයන් 17,147ක් වාර්තා වන බවත් ඉන් 939 දෙනෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය කියනවා.

ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන්ගේ මරණ 37ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. එම කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2760ක්ද එරටින් වාර්තා වී තිබෙනවා.
මේ වන විට ඇමෙරිකාව තුළ කොරෝනා මරණ 149ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 8898ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට
මේ අතර සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බවත් ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කියනවා. එම වාර්තා කියන්නේ එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බවයි.
සිංගප්පූරුවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි පුද්ගලයින් බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක්
ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික සහ කම්කරු ක්ෂේත්‍රවලට එල්ල වන බලපෑම හේතුවෙන් ලොව පුරා මිලියන 25කට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය අනුව ලැබූ තොරතුරු මත පළකළ වාර්තාවකයි මේ බව සදහන් වන්නේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම අර්බුදයට විසදුම් ලෙස රැකියා ස්ථානයේ සේවානියුක්තිකයන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ආර්ථිකය දිරිගැන්වීම සහ ආදායම් හා රැකියා තත්ත්වය වෙනුවෙන් සහය දැක්වීම යන ක්‍රියාමාර්ග එම සංවිධානය යෝජනා කර තිබෙනවා.
ඒ අනුවල සුළු සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල රාජකාරිවල නියුතු පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය, වැඩකරන කාලය ආදී දෑ ද අනුව ගත යතු ක්‍රියාමාර්ග ද සොයාබැලිය යුතු බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
රුසියාවෙන් සහ මෙක්සිකෝවෙන් පළමු මරණ වාර්තා වෙයි
මේ අතර රුසියාවෙන් සහ මෙක්සිකෝවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බවත් ඔහු දියවැඩියා රෝගියෙකු බව හදුනා ගෙන ඇති බවත්ය. අදාළ පුද්ගලයාට වයිරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ හඳුනාගත්තේ මාර්තු 9 වැනිදා බවයි මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
මේ වනවිට මෙක්සිකෝවේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගණන 93 දක්වා ඉහළ ගොස් ඇති බව ද සදහන්.
මේ අතර කොරෝන වෛරසය ආසාදනය වීමෙන් රුසියාවේ මොස්කව් නුවර පුද්ගලයකුද මියගොස් ඇති අතරල ඔහු කොරෝනා වයිරසයෙන් රුසියාවේදී මිය ගිය පළමුවැන්නා බව හඳුනාගෙන තිබෙනවා.
පසුගිය මාර්තු 13 වැනිදා රෝහල්ගත කළ 79 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගිය බවයි රුසියානු සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වනවිට රුසියාවෙන් ආසාදිතයන් 147ක් වාර්තා වී තිබෙනවා.
ග‍්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ
තම රට තුළ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා නව නීති හදුන්වාදීමට ග‍්‍රීසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් වන අතර නිවාසවලින් පිටතදී අත්‍යවශ්‍ය ම කටයුත්තකට හැර පුද්ගලයන්ට රැස් නොවන ලෙසත් එසේ කරන්නේ නම් ඉතා ම සීමිත පිරිසකට එය සීමාකරගන්නා ලෙස ග‍්‍රීක අමාත්‍ය නිකෝස් හර්ඩලියාස් මහතා ඉල්ලා සිටිනවා.
ග‍්‍රීක සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් පනවා ඇති එම සීමාව උල්ලංඝනය කරන කිසිවකු වේ නම් එම තැනැත්තාට යුරෝ 1000ක දඩයකට ලක්වීමට සිදුවන බවයි.
මේ අතර ග‍්‍රික පොලිස් නිලධාරීහු ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් එළිමහනේ රැඳී සිටින මිනිසුන්ට නිවාසවලට යන්නැයි උපදෙස් දෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.
ග්‍රීසියේ කොරෝනා ආසාදිතයන් ගණන 418දක්වා ඉහළ ගොස් ඇති අතර 5දෙනෙකු මිය තිබෙනවා.