Metformin ගැන ඇත්ත නැත්ත නිවැරදිව දැන ගනිමු

සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ (Type two) දියවැඩියා රෝගීන්ටයි. පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා

මෙට්ෆෝමින් (Metformin) නම ඇසූ පමණින්ම හැමෝම දන්නා බෙහෙතක්. එය ඒ තරමට ජනප්‍රිය ඖෂධයක්. ඔබ අප කවුරුත්  දන්නා දියවැඩියාව ( Diabetes ) පාලනය සඳහා බහුලවම යොදගන්නා ඖෂධයක් තමයි මේ  මෙට්ෆොර්මින් කියන්නේ. මෙය වර්ගීකරණයේදී බ්යිගුවනිඩ් (Biguanide) නම් කාන්ඩයට අයත් වෙනවා.

එතකොට සෑම දියවැඩියා රෝගියකු සඳහාම මෙට්ෆෝමින් (Metformin) දෙනවාද ?

සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ (Type two) දියවැඩියා රෝගීන්ටයි. පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා.

නමුත් දෙවන කාන්ඩයේ රෝගියෙකුට වුවත් රෝගියාගේ රුධිරගත සීනි මට්ටම පාලනය වන රටාව අනුව ගිලින පෙති වර්ග වලට අමතරව ඉන්සියුලින්ද නිර්දේශ කරනුලබන අවස්ථා තිබෙනවා. ගිලින පෙති වර්ග නිර්දේශ කරන අවස්ථාවල බොහෝවිට මුලින්ම නිර්දේශ කරනු ලබන්නේද මෙම ඖෂධයයි. එසේවුවත් සමහර රෝගින්ට මුලින්ම මෙම ඖෂධය නිර්දේශ නොකර වෙනත් ඖෂධ නිර්දේශ කරන අවස්ථා තිබෙනවා. එයට හේතුවන්නේ වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමේ නොතිබීම සහ වෙනත් හෙතූන් නිසාය.

මෙට්ෆෝමින් (Metformin) අපට ලැබෙන්නේ කුමන ආකාරවලටද ?

බහුලවම භාවිතා වන්නේ මෙට්ෆෝමින්(Metformin) 500mg පෙත්තයි. ඊට අමතරව 850mg සමහර රෝගීන් සඳහා භාවිතා වෙනවා. මීට අමතරව ඖෂධය භාවිතා කරන වාරගනන අඩුකිරිම, අතුරු අබාධ අඩුකිරීම අදී කරුණු සලකා නිර්මාණය කල Metformin SR 500mg පෙත්තද භාවිතයේ තිබෙනවා. රජයේ රෝහල්වල ඖෂධීය නාමය (Generic name ) භාවිතා වුවද පුද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන ආදියේ විවිධ වෙලද නාමයන්  (Brand Name) යටතේ භාවිතා වෙනවා.

මෙහිදී සාමාන්‍ය මෙට්ෆෝමින්(Metformin) 500mg පෙත්ත භාවිතා කරන රෝගියෙකුට තමන්ගේ අභිමතය පරිදි මෙට්ෆෝමින් (Metformin) 850mg, හෝ Metformin SR 500mg භාවිතා කල නොහැකයි. ඒවා වෛද්‍යවරයෙකු විසින් අනිවාර්යයෙන් නිර්දේශ කලයුතු වෙනවා. එසේම SR,MR,XR ආදී අක්ශර දෙකක්ද සමඟ එන මෙට්ෆෝමින් (Metformin) පෙති වර්ග කැඩීමෙන්, කුඩුකිරීමෙන්, දියකිරීමෙන් වැලකිය යුතුයි. එසේ කලහොත් එහි ක්‍රියකාරිත්වය නිසි පරිදි සිදුවන්නේ නැහැ.

මෙට්ෆෝමින් (Metformin) ශරීරය තුල ක්‍රියකරන්නේ කෙසේද?

රුධිරගත සීනි මට්ටම අඩුකිරීම ලෙස සරලව දැක්විය හැකි වුවත්, එය ආකාර කීපයකින් ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. නිරෝගි පුද්ගලයකුගේ ශරීරය තුල  සීනි මට්ටම පාලනය කිරීමට අග්න්‍යාසය තුල නිපදවෙන ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය වැදගත් වෙනවා.

නමුත් සමහර රෝගීන්ගේ ශරීරය තුල මෙම හෝමෝනය ප්‍රශස්ත මට්ටමේ තිබුනද එය ක්‍රියාකිරීමට ශරීරය තුලින්ම ප්‍රතිරෝධීතවයක් (Resistant) තිබෙනවා. මෙට්ෆෝමින් මගින් එය අඩුකරනු ලබනවා. එවිට ඉන්සියුලින් වඩා හොදින් ක්‍රියකාරීවී සීනි මට්ටම අඩුකරනවා. එසේම, අක්මාව තුලදී අලුතින් ග්ලූකෝස් නිපදවීම (Gluconeogenesis) අඩුකරනවා. තවද, ශරීර පර්‍යන්තයේ ග්ලූකෝස් භාවිතාවීම (Peripheral utilization ) වැඩිකරනවා.ඒ අතරම කුඩා අන්ත්‍රය තුල ග්ලූකෝස් අවශෝශනය වීම අඩු කිරීමද සිදුකරනු ලබනවා.

මෙට්ෆෝමින් (Metformin) භාවිතා කරන්නේ සීනි මට්ටම අඩුකිරීමට පමනක්ද?

නැත. සමහර කාන්තවන්ට ඇතිවන පොලිසිස්ටික් ඔවරිඅන් සින්ඩ්‍රෝම් (polycystic ovarian syndrome) නම් තත්වයේදී ඩිම්බ මෝචනය (ovulation) උත්තේජනය කිරීමටත් අධික දේහබර සහිත පුද්ගලයන්ගේ දේහ බර අඩු කිරීමටත් මෙය භාවිතා කරනවා. ඔබ මතක තබා ගතයුතු වැදගත්ම කරුණ නම්, මෙම අවස්තවන් සදහා මෙම ඖෂධය භාවිතා කිරීමටනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බවයි.

මෙට්ෆෝමින් (Metformin) අනිකුත් දියවැඩියා පාලන ඖෂධවලට වඩා විශේෂ වන්නේ

සාමාන්‍යයෙන් බොහොමයක් දියවැඩියා පාලන ඖෂධ වලින් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම (Hypoglycemia) සිදුවියහැකිය. නමුත්  මෙට්ෆෝමින් භාවිතයේදී එවන් තත්වයක් හටගන්නේ නැහැ. එසේම මෙය ස්ථූල (Obese) රෝගීන් සඳහාද හොදින් ප්‍රතිචාර දක්වනවා. එනිසයි එය අනිකුත් ඖෂධ වලට වඩා විශේෂ වන්නේ. එසේ වුවත් ඉතාමත් කලාතුරකින් Metformin භාවිතා කරන රෝගියෙකුට වුවත් සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම (Hypoglycemia) සිදුවිය හැකිය.බොහෝවිට එසේ වන්නෙ රෝගියා නිසි වේලවට ආහාර ලබා නොගැනීම, ආහාර වේල් මගහරීම ආදිය විය හැකිය.

මෙම ඖෂධයේ අතුරු ආබාධ පවතිනවාද ? ඒවා අවම කරගත හැකිද ?

ඔව්. අනිකුත් සෑම ඖෂධයකටම වාගෙ මෙම ඖෂධයටත් අතුරු ආබාධ තිබෙනවා. එනම් බඩ දැවිල්ල, ඔක්කාරය, බඩ පිපීම වැනි තත්වයන් බහුලව දැකිය හැකිය. සමහර අයට බඩ එලියේ යාම (diarrhea) ඇතිවිය හැක. කලාතුරකින් කෙනෙකුට ලැක්ටික් අසිඩෝසිස් (Lactic acidosis) ඇතිවිය හැක. එහි ලක්ශන වන්නේ අසාමාන්‍ය මා0ශ පේශි වල වේදනාව, උන ගතියක් දැනීම, ශ්වසන අපහසුතා, හර්ද ස්පන්දනය අක්‍රමවත්වීම  ආදිය ඇතිවිය හැක.

එතකොට මෙට්ෆෝමින් (Metformin) භාවිතා කරන අයට වකුගඩු ආබාධ ඇතිවෙනවා කියන්නෙ ඇත්තද ?

කිසිසේත්ම නැත. මෙය සම්පූර්ණ වැරදි මතයකි. අප භාවිතා කරන බොහොමයක් ඖෂධ එහි ක්‍රියාකාරිත්වය ලබාදීමෙන් අනතුරුව යම්කිසි කාලයකට පසුව ශරීරයෙන් ඉවත්වෙනවා. එසේ නොමැති වුවහොත් එම ඖෂධ සාන්ද්‍රණය ශරීරය තුල වැඩිවී විශවීම සිදුවිය හැක. මෙට්ෆෝමින් (Metformin) වලටත් මෙය පොදුයි. නියමිත ප්‍රතිඵල ලබාදීමෙන් පසුව වකුගඩු හරහා එවා ශරීරයෙන් ඉවත්වෙනවා. වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු රෝගියෙකුට තව දුරටත් මෙට්ෆෝමින් (Metformin) ලබාදුනහොත් එවා ශරීරය තුල එකතුවී ලැක්ටික් ඇසිඩෝසිස් (Lactic acidosis) ඇතිවිය හැකි අතර මෙය අනතුරුදායක තත්වයකි.

ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියට අනුව(US Food and Drugs Authority – US FDA) මුත්‍රා වල ඉහළ ක්‍රියැටිනින් (High Serum Creatinine level) සහ eGFR අගය 30 ට වඩා අඩු රෝගීන්ට මෙම ඖෂධය නවත්වනවා. මේ අවස්ථාවේදී රෝගීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිතන්නේ  මෙට්ෆෝමින් (Metformin) නම් ඖෂධය නිසා වකුගඩු වලට හානිවීමෙන් වෛද්‍යවරු එම ඖෂධය නවතාදැමූ බවයි. ඔවුන් සිතන්නේ මෙට්ෆෝමින් නිසා එය සිදුවූ බවයි.

නමුත් සත්‍ය එය නොවේ.වකුගඩු වලට එම ඉරණම අත්ව තිබෙන්නේ බොහෝවිට ඔබගේ නොසැලකිලිමත්කම නිසාවෙනි.එනම් නිවැරදිව දියවැඩියා පාලන ඖෂධ නොගැනීම , වෙනස් කිරීම, නොගෙන සිටීම, රෝගී තත්ත්වය ගනන් නොගැනීම ආදිය නිසා අධික රුධිර පීඩනය( high blood pressure) අධික රුධිරගත සීනි මට්ටමක් කාලයක් තිස්සේ පැවතීම (Diabetes) නිසා බොහෝවිට වකුගඩු වලට හානි පැමිණීම සිදුවෙනවා. මීට අමතරව වකුගඩුවලට හානි පැමිනෙන තවත් හේතු ගනනාවක්ම තිබෙනවා. වකුගඩුවලට හානිවූ තත්වයක් තුල මෙට්ෆෝමින් භාවිතා කලහොත් භයානක ප්‍රතිඵල ඇතිවියහැකි නිසායි වෛද්‍යවරුන් මෙම ඖෂධය නවත්වන්නේ.

මෙම හේතුව නිසා බොහෝවිට වෛද්‍යවරුන් මෙම ඖෂධය ආරම්භ කිරීමට ප්‍රථම serum creatinine හා eGFR යන පරීක්ෂණ සිදුකර වකුගඩුවල ක්‍රියාකාරිත්වය මැන බලනවා.

මාත්‍රාවක් අතපසුවුවහොත් කුමක් සිදුවේද ?

ඖෂධයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම් එය රුධිරයේ අපේක්ෂිත සාන්ද්‍රනයෙන් පැවතීම ඉතාම වැදගත්වේ. මෙය සාක්ශාත් කරගැනීමටයි ඖෂධ මාත්‍රව දිනකට  නියමිත වාර ගනනක් ගතයුතු බව සදහන් කර තිබෙන්නේ. මේනිසා ඔබ එක් මාත්‍රවක් හෝ මගහැරීම, නොගෙන සිටීම මගින් ඉහත කී පාලනය හරියාකාරව සිදුවන්නේ නැහැ. එවිට රෝගී තත්ත්වය උත්සන්න වියහැකිය. මේ නිසා එක වේලක් මගහැරුනහොත් මතක්වූ විගසම එය ගන්න. ඒත් ඔබට එය මතක්වුනේ ඊලඟ වේලට ආසන්නව නම් ඒ අමතක වූ වේල නොගෙන ඊලඟ නියමිත වේල පමනක් ගන්න.කිසිම විටක වේල් දෙකක් එකවර ගන්න එපා.

ඖෂධය අධි මාත්‍රාවක් ශරීරගත වුවහොත් කුමක් සිදුවේද ?

Hypoglycemia (රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහල බැසීම ), Lactic Acidosis ( ලක්ටික් අම්ලය අධිකව එකතුවවීම නිසා ඇතිවන හානිකර තත්වයක් ) ඇතිවිය හැක.

මෙම ඖෂධය භාවිතා කරන අතරතුර නොගතයුතු දේවල් මොනවාද ?

මෙම ඖෂධය භාවිත කරන අතරතුර මධ්‍යසාර භාවිතයෙන්  (Alcohol) වැලකිය යුතු වේ. මධ්‍යසාර මගින් තවදුරටත් සීනි මට්ටම පහත හෙලන අතර ලැක්ටික් ඇසිඩෝසිස් අවදානම වැඩිකිරීමටද එය හැතුවේ.

මෙම ඖෂධය ලබනොදෙන්නේ කුමන රෝගීන්ටද ?

  • මෙම ඖෂධයට අසාත්මිකතවයක් දක්වන රෝගීන්ට
  • වකුගඩු රෝගිතත්වයන් ඇති රෝගින්ට, අක්මා රෝග ඇති අයට
  • metabolic acidosis හෝ diabetic keto acidosis යන තත්වයන් ඇතිවිට.

ඔබ කිසියම් ශල්‍යකර්මයකට බ්හජනය වීමට සිටීනම් හෝ ඩයි වර්ගයක් යවා ලබාගන්නා එක්ස් කිරන පරීක්ශාවකට(X – Ray) හෝ සීටී ස්කෑන් (CT Scan) පරීක්ශනයකට යොමු වීමට සිටීනම් මෙම ඖෂධය තාවකාලිකව නතර කරනු ලබනවා.

ඔබ වෛද්‍යවරයාව දැනුවත් කලයුතු අවස්ථා මොනවාද ?

  • ඔබ මත්පැන් පානය කරන්නෙකුනම්
  • ඔබගර්භණී නම්
  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම්
  • ඔබ ඉන්සියුලින් හෝ වෙනත් දියවැඩියා පාලන ඖෂධ ලබාගන්නා කෙනෙකුනම්
  • ඔබ හදවත් රෝගියකු නම්

මෙට්ෆොර්මින් නම්වූ මෙම ඖෂධය පිලිබඳව කරුනු  කාරනා රැසක් ඔබට මෙම ලිපියෙන් දැනගැනීමට  ලැබුනා. යම් හෙයකින් මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් වුවහොත්  මෙම වටිනා ඖෂධයට සමාන ගුන සහිත ඖෂධයක් මේවනතුරු සොයාගෙන නැහැ.

එච්.එම්. අමිල කාංචන හීන්කෙන්ද B.Pharm (Hons),Dip. In Pharm ඖෂධවේදී, බාහිර රෝගී අංශය, ජාතික රෝහල, කොළඹ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *