කොරෝනා වසංගතය: ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

වික්ටර් අයිවන්

කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.

නූතන තාක්ෂණය හිමිකර ගෙන තිබෙන අතිවිශාල දියුණුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කෙරෙහි සේම ඒකාධිපති රටවල් කෙරෙහිද බලපා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මහජන යහපත හා දියුණුව සදහා යොදාගන්නා විට ඒකාධිපති පන්නයේ රටවල් ඊට අතිරේකව මහජනයා මත පවත්වාගෙන යන ඒකාධිපති බලය තරකර ගැනීම සඳහා ද තාක්ෂණික දියුණුව යොදා ගන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පුරවැසියන්ගේ ආදායම්වලට අදාළ සියලු තොරතුරු එකතු කරන ලබන මුත් පුරවැසියන්ගේ පුද්ගල ජීවිතවලට අදාළ තොරතුරු එකතු කරන්නේ නැහැ.

එහෙත් ඒකාධිපති රටවල් ඒ වර්ග දෙකටම අයත් තොරතුරු එකතු කරනවා. දුරකතන සංවාද පටිගත කරනවා. සමාජ ජාලා ඔස්සේ පළකරන අදහස් එකතු කරනවා. යන ගමන් බිමන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ සියලු දේවල් සිදුවන්නේ නවීන තාක්ෂණය යොදාගෙන. පුද්ගලයෙකුට අදාළ ඒ සියලු තොරතුරු ඒ පුද්ගලයා සඳහා පවත්වාගෙන යන විද්‍යුත් ගිණුමකට එකතු වෙනවා.

චීනයට කොරෝනා මර්දනයේදී ආසාදිතයෙකු හමුවූ විට ඔහු සම්බන්ධකම් පැවැත්වූ සියලුදෙනා දැනගැනීමේ හැකියාව චීන බලධාරීන්ට තිබුණා. කොරෝනා මර්දනයේදී චීනයට තිබුණ වාසිය ප්‍රජාතන්ත්‍රවාදී රටවලට තිබුණේ නැහැ. චීනය පවත්වාගෙන ගිය ජනතා විරෝධී සම්ප්‍රදායක් මේ විශේෂ මොහොතේදී ඒ රටේ වාසියට හේතුවුණා. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවත්වාගෙන ගිය ජනතා හිතවාදී සම්ප්‍රදායක්. මේ මොහොතේදී අවාසියට හේතුවුණා. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් හොඳ බව ඉන් සනාථ වන්නේ නැහැ.

මිනිසුන් මොනතරම් දියුණු වුණත් මිනිසුන්ට වහාම හෝ පසුව පාලනය කළ නොහැකි දේවල් තිබෙනවා. පරිසර පද්ධතියේ මහා වෙනස්කම් මනුෂ්‍ය වර්ගයා පළවීමට පෙර යුගවලත් සිදුවී තිබෙනවා.

මනුෂ්‍ය වර්ගයා පහළ වී ඔහුගේ මොළය දියුණුවීමත් සමග ස්වභාව ධර්මයට හා පරිසරයට සවිඥානකව අභියෝග කරන එකම සත්ව වර්ගයා වුයේ මනුෂ්‍ය වර්ගයාය. මනුෂ්‍ය වර්ගයා අත්පත් කරගත් දියුණුව කෙරෙහි බලපෑවේද එම අරගලයයි. එය නොකඩවා ගලායන මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට දඬුවම් කරන, දීර්ඝ කාලයක් ඉවසා සිටීමෙන් පසු සමහර විට ශතවර්ෂයකට පමණ පසු.

ස්වභාව ධර්මය විසින් මනුෂ්‍ය වර්ගයාට පෙරළා දඬුවම් කරන නිම නොවන ගැටුමක් ලෙසද සැලකිය හැකිය. මනුෂ්‍ය වර්ගයා එම අනවරත අරගලයේ ඇතැම් අවස්ථාවලදී පරිසරය හා ස්වභාව ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් කන් කෙඳිරි ගානු ඇතත් සියලුම මනුෂ්‍ය වර්ගයා කෙසේ වෙතත් අඩුම වශයෙන් සියයට දහයක්වත් පරිසරයේ හෝ ස්වභාව ධර්මයේ ආරක්ෂාව සඳහා ගල් යුගය කරා ආපස්සට යනු ඇතැයි සිතිය නොහැකිය.

මේ මොහොතේ මනුෂය වර්ගයා මුහුණ දී සිටින්නේද ස්වභාව ධර්මය ශත වර්ෂයකට එක් වරක් සමස්ත මනුෂ්‍ය වර්ගයා අභියෝගයට ලක් කළ අවස්ථාවකය. සිය වසකට වරක් සිදුකරන එවැනි අභියෝගයක්දී සියලු සත්ව වර්ගයා අතරින් නිර්භීතම හා උද්ධච්චම සත්ව වර්ගයා ලෙස සැලකිය හැකි මිනිස් වර්ගයා භීතියට හා ත්‍රාසයට පත්වන අතර විශාල මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වනමුත් මනුෂ්‍ය වර්ගයා සමස්තයක් ලෙස විනාශ වන්නේ නැත. සිදුවන මහා විනාශයෙන් ඉතුරු වන අය ස්වභාව ධර්මයේ ආරක්ෂාව සදහා පරණ ගල් යුගයට යන්නේද නැත.

දැන් ලංකාවේ අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ එම අර්බුදයටය. කොරෝනා අර්බුදයට පෙරත් ලංකාව තිබුණේ ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය. කොරෝනා වසංගත තත්ත්වය නිසා දැන් අප ඉන්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය.

ලංකාව දේවල් බලන විදියේ අවුලක් පවතී. ලෝකයේ ඕනෑම රටක් රෝහල් ක්‍රමය සකස් කරන්නේ රටක ජනගහනයෙන් විවිධ හේතු මත ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාාව ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන ප්‍රමාණයකටය. කවදා හෝ කිසියම් අවස්ථාවක සමස්ත ජනගහනය හෝ ඉන් බාගයක් හෝ කාලක් රෝහල් ගතකිරීමට සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන රෝහල් පද්ධතියක් හා සුව සේවක පද්ධතියක් ඇති කරන්නේ නැත.

ධනවාදී ක්‍රමයක් යටතේ ඇති නොකරනවා සේ ම සමාජවාදී හෝ රදළ වැඩවවසම් ක්‍රමයක් යටතේද ඇති කරන්නේ නැත. ඕනෑම රටක (ධනවාදී සමාජවාදී හෝ වෙනත්) දොස්තරවරුන් සිටිය හැක්කේ ජනගහණයේ දාහකට 5ත් දෙකක් අතර ගණනකි. මොනම රටක්වත් මොනම ක්‍රමයක් යටතේවත් ජනගහණයේ 1000කට දොස්තරවරුන් 50ක් හදන්නේ නැත. ICU ඇඳන් තිබෙන්නේද ජනගහණයෙන් ලක්ෂයකට ඇඳන් 30ත් 5ත් අතර ගණනකි.

ඉතාමත් කලාතුරකින් සමහර ශත වර්ෂයකට වරක් ඇතිවන වසංගත තත්ත්වයක් නිසා පිළිගත් ඇස්තමේන්තු කිහිප ගුණයකින් ඉක්මවා ගිය ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ඇතිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයක් නොව අසාමාන්‍ය තත්ත්වයකි. දැන් අපේ රට සේ ම සියලු රටවල් මුහුණ දී තිබෙන්නේ එවැනි අර්බුදයකටය. එවැනි අර්බුදයක් ක්‍රමයේ අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. කුමන ක්‍රමයක් තුබුණද මෙවැනි අතිවිශේෂ අවස්ථාවකදී අර්බුදයට යන්නේය.

ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

වෛරසය සුව කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ ගැනද ලංකාවට තිබෙන්නේ සුරංගනා කතාය. වෛරසය මර්දනය කිරීම සඳහා Avigan පෙති 5000ක් ලංකාවට වහාම ලබා ගැනීමට ජපානය කැමති කරවා ගත් බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව සිදුවන්නක් බවද තවත් තැනක ප්‍රකාශ වී තිබුණි. චීනයට වෛරසය ජයගැනීමට හැකිවූයේ එම ඖෂධය නිසා බව කියන වාර්තාද පළවී තිබුණි.

ජපන් සමාගමක් විසින් (Fuji Flim joyama Chemicals) 2014 වසරේදී නිපදවා තිබෙන Avigan නැමති ඖෂධ පෙත්ත නිපදවා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග සඳහාය එය කහ උණ හා ඉබෝලා උණ සඳහා පාවිච්චි කර තිබේ.

එය වෙනත් ඖෂධ සමග කොරෝනාවලට ප්‍රතිකාර කිරීම සඳහා සාර්ථක ලෙස යොදාගත් බව චීනය ප්‍රකාශ කර ඇතත් ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා අසාදිතයින් හැත්තෑවක් පදනම් කරගත් සායන පරීක්ෂණයක් කර ඇතත්, සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැති බවය.

ලංකාවට පෙර ඉන්දුනීසියාව මෙම ඖෂධය කොරෝනා මර්දනය සඳහා යොදාගෙන ඇතත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හැකිවී නැත.

කියුබාව නිපදවා තිබෙන Intagarferon Alfa- 2B යන ඖෂධය ගැන සේ ම කියුබාව ඒ මගින් කොරෝනාව ජයගත් බව කියන කතාද නිවැරදි නැත. මෙම ඖෂධ විශේෂ දෙක සමග කොරෝනා සඳහා සොයාගත් ඖෂධ ගණනාවක්ම තිබෙන්නේ සායන පරීක්ෂණවලට ලක්වෙමින් තිබෙන තත්ත්වයකය. තවමත් කොරෝනාවලට ඖෂධයක් සොයාගෙන නැත.

කියුබාව කොරෝනාව ජය ගත් රටක් ලෙස හැඳින්වීමද වැරදිය. කියුබාවට වසංගතය එන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය. මාර්තු 11 වැනිදා පළමු අසාදිතයා හමුවී තිබෙන අතර මාර්තු 24 වැනිදා වන විට අසාදිතයින්ගේ සංඛ්‍යාව 40 දක්වා වර්ධනය වී තිබෙන අතර පළමු මරණය සිදුවී තිබෙන්නේද එදිනය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *