Covid-19 වසංගතය නිසා නාගරික ගොවිතැන සවිබල ගැන්වීමේ ‘මහඟු අවස්ථාව’ උදාවෙලා

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, කෘෂි ආර්ථික රටාවක් ඔස්සේ රට සංවර්ධනය සිදුකලයුතු බවත්, සෑහෙන කාලයක සිට අප අතර ගැවසෙන කතාබහක් බවට විවාදයක් නැත. පෙර රජ දරුවන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම මතවාදය සාධාරණය කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙනු දකින්නට තිබේ.

කෙසේ වෙතත් ගොවිතැනට ඇති උනන්දුව සමාජය තුලින් ප්‍රකටව පිළිබිඹු වන්නේ, ආහාරය නොපමාව හා නොඅඩුව ලබාගැනීමේ අපහසුතාවයක් අප හමුවේ ගොඩනැගෙන්නේ නම් පමණක් වීමද අවාසනාවකි. වර්තමාන වසංගත තත්වය හමුවේද උදාවී ඇත්තේ මෙවැනි පරිසරයක්ය.

ලාභයට පහසුවට ලෝකයේ කුමන හෝ තැනකින් හෝ මිලදී ගන්නා ආහාරයක්, දින දෙක තුනක් ඇතුලත තමාගේ මුළුතැන්ගෙය වෙත ගෙන්වා ගැනීමේ කාර්යක්‍ෂම සන්නිවේදනයකින් හා ප්‍රවාහන යාන්ත්‍රණයකින් සන්නද්ධව ආඩම්බරයෙන් සිටි මිනිසා, වසංගත කුනාටුව පැමිණ මාස දෙකක් ගතවෙත්දී, රට රටවල් සමග නොව, අල්ලපු ගම සමග පවා තිබුණු සබඳතා බිඳීගොස් තැන තැන හුදකලා වී සිටී.

ගම්බදව වෙසෙනා අයට තම ආහාර වේල කළමනාකරණය කරගැන්මට කිසියම් විකල්ප සම්පතක් සොයාගැනීමට තිබුනත්, නාගරිකයින් බහුතරය නම් සිටින්නේ අසරණ තත්වයකයි. සැලකිය යුතු නාගරික ජනතාවක් තවමත් රැකියාවට නොයා ගෙදර සිටින නිසා, ඔවුනට ගොවිතැනේ මංපෙත් කියාදීමට මේ හොඳම අවස්ථාවකි.

අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි?

අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි? අධ්‍යාපන අවශ්‍යතා, රැකියා, සෞඛ්‍යය ගැටළු ආදී හේතු මුල්කරගනිමින් සැලකිය යුතු ජනතාවක් නිරන්තරයෙන් ස්ථිර පදිංචිය සඳහා තම ගම්බිම් අතහැර නගරයට සංක්‍රමණය වෙමින් සිටී.

2025 වනවිට නාගරික ජනගහනය මිලියන 10 කට ආසන්න වනු ඇතැයි ගණන් බලා ඇත. එනම් රටේ ජනගහනයෙන් භාගයකට ආසන්න ගණනක් නගරවලය. මේ හරහා ආහාර ඉල්ලුමද ඉහල යන අතර, නගරයේ නිෂ්පාදනයක් නොකර පිටතින් සැපයුම කෙරෙන නිසා ඒවාහි මිලද අධිකය.

නාගරිකයා වැඩි මිලකුත් ගෙවා මිලදී ගන්නා මෙම එළවලු පලතුරු ආදිය දින ගණනාවකට එපිටදී ගසෙන් කඩාගත් දෑ බැවින් ඒවා නැවුම් ඒවාද නොවේ. ප්‍රවාහනයේදී තැලී පොඩිවී ඇත. බෝගය නිපදවීමේදී හා කල් තබාගැනීම උදෙසා කුමන රසායනිකයන් යොදා ඇතිදැයි දන්නේත් නැත. මේ පෞද්ගලිකව පාරිභෝගිකයා මුහුණ දෙන තත්වයයි. සමස්ත පරිසරයට සිදුවෙන පාඩුවක්ද තිබේ.

ප්‍රවාහනය බහුල බැවින් රථවාහන වැඩිවීමත්, අනෙක් රථවාහන වලට ඇති නිදහස සීමාවී තදබදය නිර්මාණය වීමත් නිසා, වායු දූෂණය ඉහල යයි. මීට අමතරව ගොවියා නිපදවන බෝග අස්වැන්න නගරයට එන විට සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්වයට පත්වී අපතේ යයි. මේ අතර වගාබිම් බවට පත්කරගත හැකි, නාගරික හිස් ඉඩම් බොහෝවිට භාවිතා වෙන්නේ කර්මාන්තශාලා වලින් බැහැරකරන අපද්‍රව්‍ය මුදාහැරීමටය. ඒ හරහාද නාගරික පරිසරයට සිදුවන්නේ අවැඩක්මය.

අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ?

අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ? පළමුවෙන්ම කිව යුත්තේ මෙය රැකියාවකුත් තිබෙන විශාල නාගරික පිරිසක් වෙනුවෙන් සලසා දිය යුතු අර්ධකාලීන ආහාර නිෂ්පාදන වැඩසටහනක් බවයි. කාන්තාව රැකියාවට නොයන්නේ නම් ඇයට වැඩිපුර දායකත්වයක් සැපයිය හැකිය.

ගෙවත්ත යනු හැමවිටම තම වාසස්ථානයෙන් පීටත එළිමහනේ තිරස්ව විහිදී ඇති දෙයක් නොව, මහල් නිවාසයක තට්ටු කීපයක් පසුකර ගියවිට හමුවෙන ඉහල මහලකදී වුවද තිබිය හැකි පවුලේ ආහාර නිෂ්පාදන ඒකකයක් බව නාගරිකයා තේරුම්ගත යුතුය. එසේනම් එතැන ගෙවත්ත බොහෝවිට අවකාශය පුරා පැතිරෙන්නේ තිරස්ව නොව වැඩිපුරම සිරස්වය. වගාව කෙරෙන්නේ බඳුන් තුලය. ඒ සඳහාද අතිරේක පිරිවැයක් නාගරිකයාට වැයකළ යුතු නොවේ.

පැල සිටුවන බඳුන් ලෙස භාවිතාකල හැකි බඳුන් ඕනෑතරම් නාගරික පරිසරයන් වෙතින් සොයාගත හැකිවේ. ලීටර් දෙකේ හෝ ඒ ආසන්න විශාලත්වයකින් යුත් බීම බෝතල්, ප්ලාස්ටික් කෑන්, පැරණි ටයරයක් දෙකට කපා සාදාගන්නා බෝට්ටු හැඩ අර්ධයන් යනාදී ඕනෑම දෙයක් පැල සිටුවීමට භාවිතා කල හැකි බඳුනකි. අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය හා උනන්දුවයි. මේවා තැබීමට සුදුසු ස්ථානද නාගරික මහල් නිවාසයක වුවද විරල නැත.

හිරුඑලිය වැටෙන පිටත බිත්තියක් ඔස්සේ ලී දඬු වැනි දෙයකින් සාදාගන්නා ලද ආධාරකයක් මත, තබන බඳුන් වලින් බිත්තියට ලබා දෙන්නේද අතිරේක අලංකාරයකි. ස්ථාන තෝරාගැනීම සහ පැල සහිත බඳුන් සුදුසු තැන්වල ස්ථානගත කිරීම සඳහා ළමයින්ගේ දායකත්වයද ඉතා වැදගත්ය. කොන්ක්‍රීට් වහල ඇති ස්ථානයන්හි ඒ මත වුවද බඳුන් තබා ගෙවත්තක් නිර්මාණය කල හැකිවේ. දරුවන් සතු නිර්මාණශීලිත්වයට මේ අනුව  පිළිගැනීමක් ලැබෙන අතර, යම් පැල සංඛ්‍යාවක් ඔවුන්ටම පවරාදීමෙන්, ගොවිතැන නුපුරුදු ඔවුනට ඒ හරහා කෘෂිකාර්මික ප්‍රවේශයක්ද ලැබෙනු ඇත.

 ‘උඩුමහලේ ගෙවත්ත’

 ‘උඩුමහලේ ගෙවත්ත’ මේ ආකාරයට අතේ දුරින් පැවතීමේ ප්‍රධාන වාසිය වන්නේ, නිවැසියා කෙතරම් කාර්ය බහුල වුවත් ගොවිතැන් කටයුතු සඳහාද යම් කාලයක් මිඩංගු කිරීමට ඔහුට ඇති හැකියාවයි. පාසල් ඇරඹුණු පසු, ටියුෂන් පන්තියද හමාරකර ඇඳිරි වැටෙද්දී ගෙට ගොඩවෙන දරුවන්ද, ඇතැම්විට ඊටත් ප්‍රමාදවී පැමිණෙන වැඩිහිටියන්ද, නිවසෙන් බැහැර ඇති ගෙවත්තට ගොස් එයට අවශ්‍ය දෛනික සාත්තුවක් කරතැයි අපට බලාපොරොත්තු විය නොහැකිය. කාර්ය බහුලත්වය හමුවේ බොහෝවිට ගෙවත්ත අමතක වන්නේ මෙලෙසය. එසේ නමුත් තමාගේ නිවාස තුලම තිබෙන පවුලේ ආහාර නිෂ්පාදනය ඒකකය නොහොත් ‘සිරස් ගෙවත්ත’ එලෙස අතපසු නොවේ.

නාගරික කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන මෙම පවුලේ මැදිහත්වීම හැරුනුකොට රාජ්‍ය අංශය විසින් කලයුතු දිරිදීම්ද තිබේ. පළමු ලෝක යුද සමයේදී ඇතිවූ ආහාර අහේනිය මගහරවන්නට රජය විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේ තමාගේ ගෙවත්ත පමණක් නොව, අතට හසුවෙන හැම බිම් අඟලක්ම වගා කරන්නටයි. රජය සතු පොදු හිස් ඉඩම් ඇත්නම් ඒවා වුවද වවන්නට තහනමක් වූයේ නැත. අපටද මෙය හොඳ ආදර්ශයකි.

මෙරට නාගරික ප්‍රදේශයන්හි ඇති පාසැල්, රෝහල්, කාර්යාල පරිශ්‍ර යනාදී තැන්වල හිස් ඉඩම් කොපමණ තිබෙනවාද? පිටස්තරයින් එම ස්ථානයන්ට කැන්දා පාත්ති කීපය බැගින් බෙදා දීම අදාළ ආයතනයට අනාරක්ෂිත යයි සිතෙන්නේ නම්, ආයතනයේ සේවකයින්ටම කොටස් වශයෙන් බෙදා දිය හැකිය. ඒවා වගා කර ලබනා අස්වැන්නද ඔවුන්ටමය. ඇඟට නොදැනෙන්න ඉතා සුළු බදු මුදලක් අයකෙරුවාත් කමක් නැත. ඒ ගැන ආයතන පාලකයින් තන්හාවක් සිතට ගතයුතු නොවේ. දිරිගැන්වීම ලබාදිය යුත්තේ එලෙසිනි.

අමකර රැකියාත් ලබා දිය හැකියි

යම් පුද්ගලයෙක් තමාගේ පාත්තිය නිසි නිෂ්පාදනයක් උදෙසා මෙහෙයවන්නේ නැතිනම් ඊළඟ වගා කන්නයේදී එය වෙනත් සේවකයෙකුට පැවරිය හැකිවේ. ඇතැම් දියුණු රටවල පවා නාගරික කෘෂිකර්මාන්තය අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි. කාර්යාල සේවකයින් එවිට රාජකාරි වේලාවෙන් පසු ගොවිතැනට යොමුවී තවත් පැයක් පමණ කාලයක් තමාට අයත් පාත්තිවල වැඩ කර ගෙදර යනු ඇත.

අස්වැන්න වැඩිපුර ලැබෙන්නේ නම් අලෙවි කිරීමෙන් අතිරේක ආදායමක් උපයනු ඇත. කෙසේ හෝ අවසන් ප්‍රතිපලය වන්නේ නාගරික ආහාර නිෂ්පාදනය ඉහල යාමයි. ඒවා කිසි විටෙකත් අපතේ යන්නේ නැත. කාගේ හෝ කුස පිරවීමට යෙදෙන නිසා ගමෙන් නගරයට එන එළවලු ලොරි ගණන නම් අඩුවේ. මහාමාර්ග දෙපස වුවද ඉඩ ඇති තැන්වල වගාකරන්නට ඒ අසල පදිංචිකරුවන්ට අවසර දෙන්නේ නම්, මාර්ගය දෙපස තණකොළ කපමින් සතියකට වරක් වැඩකරන පලාත්පාලන ආයතනයන්හි කම්කරුවන් අවශ්‍ය නොවන බව පෙනේවි.

ඇමරිකාවේ බොස්ටන් හි පිහිටි Fenway උයන දෙවන ලෝක යුද සමයේදී මෙලෙස බිහිවී අදටත් ක්‍රියාත්මකවෙන වගා බිමක් වුවත්, මේ වනවිට එහි වැඩිපුර වවන්නේ මල් ප්‍රභේදයන්ය. නමුත් මිනසෝටා හි පිහිටන Dowling මහජන උයන අදටත් එළවලු බෝග වගාකරමින් මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම විවෘතව තැබේ. විවිධ ජන වර්ගයන්ට අයත් 250 කට වැඩි ප්‍රදේශවාසී වගාකරුවන් පිරිසක්, මෙහි බිම්කට්ටි 190 ක් පුරා ප්‍රදර්ශක ගෙවතු වවන්නේ නරඹන්නන් හට ගෙවතු වගාවේ සුන්දරත්වය රිසි සේ විඳ ගන්නටය.

නාගරික ගෙවත්තේ නිපදවෙන එළවළු සැමවිටම නැවුම්

නාගරික ගෙවත්තේ නිපදවෙන එළවලු නෙලා ගන්නේ එදිනෙදා පාරිභෝජනයට අවැසි ප්‍රමාණය පමණක් නිසා ඒවා සෑමවිටම නැවුම්ය. එම නිෂ්පාදනය 100% ක්ම කාබනික ආහාර වශයෙන් නිපදවා ගත හැකිවේ. කුමන සහතිකය සහිතව වෙළඳපොලෙන් කාබනික එළවලු යනුවෙන් යමක් මිලදී ගත්තත්, තමා නිපදවූ ආහාරයට දෙන විශ්වාසවන්තභාවයේ සහතිකය ඒවාට කිසිදා දිය නොහැක. තට්ටු නිවාසයක පිහිටුවන ලද බඳුන් ගෙවත්තකින් සම්පත් අරපිරිමැස්මද උපරිම ලෙස සිදුවේ. ළඟපාතක වගාව තිබෙන නිසා නිවසේ කටයුතු වලදී ඉවත්කෙරෙන ජලය පවා මෙම වගාවේ ජල අවශ්‍යතාවයට යෙදිය හැකි බව පෙනේවි. එසේම ගස් වලින් වැටෙන වියලි කොළ යොදා තැනෙන කොම්පෝස්ට් මගින් වගාවේ පෝෂණ අවශ්‍යතාවයත් සපුරාදේවි.

බෝවෙන රෝගයක් මගහැර ගැනීමට සමාජය අනුගමනය කල ක්‍රියාදාමයන් හරහා නාගරිකයා පවා ගොවිතැනට හුරුවෙමින් සිටී. ගමේ වැසියන්ට සාපේක්ෂව, අපත්‍ය ආහාරයන්ට බහුලව නිරාවරණය වන්නේත් මේ නාගරිකයාමය. ගමේ සිට පැමිණියත් එළවලු පලතුරු නගරයට එන්නේ ඒවාහි නියම ස්වභාවයෙන් නොවේ. ආපනශාලා මගින් අලෙවි කරන පිළියෙළ කල ආහාරවලත් රසකාරක ඇතුළු අහිතකර රසායනයන් අධිකය. බෝ නොවෙන රෝග ගණනාවකට මේ ආහාර හේතුවන බව අප මෙතෙක් කලක් සමාජය දැනුවත් කළෙමු. දැන් කියන්නට ඇත්තේ බෝවෙන රෝගයක් නිසා දැන හඳුනාගත් නාගරික ගොවිතැනෙහි දිගටම නියැලෙමින්, යහපත් ආහාර අනුභව කරමින්, බෝ නොවෙන රෝග වලින්ද නිවාරණය ලබාගන්නා ලෙසයි.

සනත් එම්. බණ්ඩාර   

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.