කොරෝනාවෛරසයට එරෙහිව යොදා ගත හැකි බවට බලාපොරොත්තු පළ කළ හැකි එන්නත් දෙකක රසායනාගාර පරීක්ෂණ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මෙම එන්නත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ Inovio Pharmaceutical සමග එක්ව තනා ඇත. එය සත්ව ශරීර මත පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී තිබේ.
එය කොරෝනාවෛරසයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ ද යන්නත්, එසේ නම් එය මිනිස් සිරුරට යෝග්‍ය වේද යන්නත් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා මණ්ඩලය විසින් තක්සේරු කරනු ලැබේ.
කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් පසුගිය මාසයේ දී මිනිස් සිරුරු මත පරීක්ෂණ පරීක්ෂා කිරීම ආරම්භ විය. එක්සත් ජනපදය මෙම පරීක්ෂණ ආරම්භ කළේ සත්ව සිරුරු මත මූලිකව සිදු කළ යුතු පරීක්ෂණ නොසලකා හරිමිනි.
ලොවපුරා තවත් රටවල් කිහිපයක කොරෝනවෛරසයට එරෙහිව එන්නත් තැනීමේ පරීක්ෂණ අධි වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
නමුත් ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පිළිබඳ පර්යේෂණ සංවිධානය (CSIRO) කියා සිටියේ පූර්ව සායනික පරීක්ෂණ මාලාව සම්පූර්ණයෙන් ම සිදු කෙරෙමින් සත්ව නියැදියක පරීක්ෂා කෙරෙන පළමු කොරෝනාවෛරස් එන්නත මෙය බවය.
පර්යේෂකයන් පවසන්නේ වේගය සහ ගෝලීය සහයෝගීතාව හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමකට මෙම පරීක්ෂණ පැමිණි බවය.
“සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් මේ මට්ටමට පැමිණීම සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනවා. නමුත් මාස දෙකක් වැනි කෙටි කාලයකින් අපට එතනට එන්න පුළුවන් වුනා.” ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පිළිබඳ පර්යේෂණ සංවිධානයේ වෛද්‍ය රොබ් ග්‍රෙන්ෆෙල් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 02) වාර්තාකරුවන්ට පැවසීය.
මේ එන්නත ක්‍රියාකරන්නේ කෙසේද?
පසුගිය දින කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පිළිබඳ පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයෝ මෙම එන්නත් ක්ෂීරපායී ගණයට අයත් සත්ව විශේෂයකට ශරීර ගත කළහ.
රෝම සහිත මෙම කුඩා මුගටි වර්ගයට කොරෝනාවෛරසය වැළඳෙන බවත් එම වෛරසය ඔවුන්ගේ සිරුරු තුළ ක්‍රියාත්මක වන්නේ මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන ආකාරයට සමානව බවත් මීට පෙර සනාථ කර ගෙන තිබේ.

Covid-19 රෝගය වැළඳීමට හේතු කාරක වන්නේ Sars-CoV-2 වෛරසයයි. මේ වනවිට ඒ සඳහා එන්නත් 20ක් පමණ ලොව පුරා සංවර්ධනය කරමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පිළිබඳ පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයෝ මේ සඳහා විධික්‍රම දෙකක් භාවිත කරති.
මෙහි පළමු විධික්‍රමය වන්නේ, ‘රෝගවාහක’ එන්නත් ක්‍රමයයි. මෙහිදී අසම්පූර්ණ කොරෝනාවෛරස යොදා ගැනෙන අතර එය ශරීරගත කිරීමෙන් ප්‍රතිශක්තිය ප්‍රේරණය කරනු ලබයි.
“නමුත් මෙම වෛරසය ශරීරය තුළ දෙගුණ තෙගුණ වෙමින් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මෙම එන්නතෙන් රෝගී වීමට ඉඩක් නැහැ.” ඉහත කී එන්නත සතුන් මත පරීක්ෂා කෙරෙන, වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි ඔස්ට්‍රේලියානු සත්ව සෞඛ්‍ය රසායනාගාරයේ මහාචාර්ය ට්‍රෙවෝ ඩ්රූ පැවසීය.
ඔහු විස්තර කළ ආකාරයට දෙවැනි ක්‍රමවේදය “ඊට වෙනස් මෙන්ම ඉතා උනන්දුවක් ඇති කරවන සුළු” ය.
මෙහිදී කොරෝනාවෛරසය සතු ඇතැම් ප්‍රෝටීන ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු කරනු ලැබේ. එමගින් සිදු කෙරෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම එම ප්‍රෝටීනය නිපදවීම සඳහා ශරීරය පෙළඹවීම ය.
“බහුවිධ ක්‍රම භාවිත කිරීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. එයින් සාර්ථකත්වය සඳහා හොඳම අවස්ථාව ලබා දෙනවා.” මහාචාර්ය ඩ්රූ පැවසීය.
ප්‍රතිඵල ලැබෙන්නේ කවදා ද?
සත්ව සිරුරු මත සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල ජුනි මාසය වන විට ලබා ගත හැකි බව විද්‍යාඥයෝ පැවසූහ.
එම ප්‍රතිඵල සාර්ථක නම් ඉදිරි පර්යේෂණ වෙනත් රසායනාගාර තුළ සිදුවීමට නියමිතය.
එම අදියරේදී, මෙම එන්නත වෙළඳපළට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කළ හැකිය. නමුත් මෙහි නියාමන පරීක්ෂණ සහ තත්ත්ව සම්පූර්ණ කිරීම සඳහා අවම වශයෙන් මාස 18ක් වත් ගතවිය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ කොන්දේසි සපුරාලීම සඳහා, ඔක්ස්ෆර්ඩ් සරසවිය තැනූ එන්නත මේවනවිට වෙනත් රසායනාගාරයක වෙනත් සත්ව විශේෂයක් මත අත්හදා බැලෙමින් පවතී.
“මේ හැම එන්නතක් සඳහා ම සමාගම් සහ සංවිධාන විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද, තනි සංවිධානයකට හෝ සමාගමකට කොහෙත්ම බැහැ එන්නතක් හදන්න.” වෛද්‍ය ග්‍රෙන්ෆෙල් පැහැදිලි කළේය.
නමුත් ඔහු තවදුරටත් කියා සිටියේ ගෝලීය වශයෙන් ලැබෙන සහයෝගීතාව හේතුවෙන් තමා “සර්ව ශුභවාදී” බවය.
“මේක මේ හොහොතේ වසංගතය පුරා ම ගෝලීය වශයෙන්, රාජ්‍ය මට්ටමෙන්, පෞද්ගලික සමාගම් වශයෙන් සාර්ථකත්වය කරා ළඟා වීමට ලබා දෙන සැබෑ සහයෝගිතාවක්,” ඔහු ප්‍රකාශ කළේය.
Text by bbc sandesaya