ගෙවතු වගාව – නුහුරු නුපුරුදු අයටත් ගොවිතැනේ ආශ්වාදය

ළඟ එන ආහාර හිඟයකට තරමක සහනයක්

‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින්

නාගරික පරිසරයක බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකරන මාගේ පැරණි පාසැල් සගයෙක් මහ දවාලේ ඇඳිරි නීතිය රජයන පසුගිය දිනෙකදී හදිස්සියෙන් වාගේ මා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ‘සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන’ පිළිබඳව රූප පෙට්ටියෙන් දැනගන්නට ලැබුණු බවත්, රජයේ අනුග්‍රහයෙන් බෙදා හරින එළවලු බීජ පැකට්ටුවක් දෙකක් සොයා ගැන්මට උත්සාහ කලද, මේ දක්වා තම බලාපොරොත්තුව ඉටු නොවූ බවත් ඔහු චෝදනා මුඛයෙන් පැවසූවේ රටක් රාජ්‍යයක් අහිමිවූවෙකු පරිද්දෙනි.

මහත් විපර්යාසයකි. ගොවිතැන් කරනවා තබා, තම සුපිරි කෑම මේසය මතට සේවකයින් විසින් ගෙනැවිත් තබන පිසූ ව්‍යංජන දීසි වලින් ඔබ්බට තම සිත මෙහෙයවා නැති එවැනි මිනිසුන්ගේ සිදුවී ඇති මෙම හදිසි රූපාන්තරණය නම් මා හට මහත් අරුමයක්මය.

වසංගතයක පිටතට පෙනෙන විනාශකාරී ප්‍රතිබිම්බය සිදුරුකරමින් එහි පිටුපසට ගොස්, බැලූ බැල්මට නොපෙනෙන, එහෙත් ඒවාහි පිටුපසින් තිබෙනා සැඟවුණු ගුණ සුවඳට ඉව අල්ලන්නෝද සිටිනා බව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් ඔස්සේ පෙනීයයි. වසංගතය විසින් මරණය බෙදාහරිනවාට අමතරව, ඒ මගින් ලෝකගෝලය වට කීපයක් ආපසු කරකවා, මිනිසා විසින් වළලා දමන ලද සාරධර්මයන් යලි ගොඩ දැමීම වසංගත හරහා සිදුවෙන බවක් ඔවුහු පවසති.  

කම්හල් නැවතී, මහා මාර්ගයන් රථවාහන වලින් හිස්වී මේ සිදුවන්නේ වියපත් දූෂිත වායුගෝලයේ තිරිහන් වීමයයි එක්තරා ලේඛකයෙක් ලියා තිබුණි. අසාමාන්‍ය මෙන්ම අසාධාරණ සම්පත් බෙදාගැනීම හේතුවෙන් ලෝකය පුරා මිලියන 15 ක් අධිපෝෂණයෙන් මැරෙද්දී, තවත් තැනක මිලියන 10 ක් මන්ද පෝෂණයෙන් වළපල්ලට යාම, යම් පමණකට හෝ තුලනය කරමින් ආහාර බෙදාහදා ගැනීමට සාධාරණ පදනමක් ආරෝපණය කිරීමටත්, ආහාර නාස්තිය අවම කරමින් පිරිමැසුම කියාදීමටත්, පැමිණි අදෘෂ්‍යමාන බලවේගයක් යනුවෙන් වසංගතය හඳුන්වා දුන් අවස්ථාවක්ද දකින්නට හැකිවිය.

වසංගතයේ කළු සුදු ප්‍රතිබිම්බයන් තරාදියේ දෙපැත්තට දමා කිරා මැන බලන්නට තරම් වර්තමානය නිසංසල හා සාමකාමී නොවුනත්, මේ උදාවී ඇත්තේ වසර දහස් ගණනාවක් තිස්සේ පරපුරෙන් පරපුරට පැවත ආවත්, බාහිර බලපෑම් හේතුවෙන් පිටතට ප්‍රකාශවන්නට ඉඩ නොලද, අපට ආවේනික ගති ලක්ෂණයන් කීපයක් අවදිවීමේ යුගයක් බවනම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

2050 වසර වනවිට ලෝක ජනගහණය බිලියන 9 ක මට්ටමකට ලඟාවෙත්දී, වත්මන් ආහාර නිෂ්පාදනය තවත් 70% කින් පමණ ඉහල දැමිය යුතුයයි පවසමින් විද්‍යාඥයින් ඉලක්කම් හසුරුවන්නට පටන්ගෙන දැන් කාලයක් ගතවී ඇත. මේ අභියෝග ජයගැනීම උදෙසා සමස්ත ලෝකයම හඹායන්නේ අධි තාක්ෂණික කෘෂිකර්මාන්තයකි.

යැපුම් පාදක කෘෂිකර්මාන්තය ප්‍රමාණවත් නැති බැවින් අධිවේගී මාර්ගය තෝරාගැනීමේ සාධාරණත්වය ගැන විවාදයක් නැත. එහෙත් අපට වැරදුන තැන වන්නේ ප්‍රධාන ආහාර සැපයුම් කාර්යාවලි එසේ ජවසම්පන්නව ඉදිරියට ඇදෙද්දී, අපගේම ආහාර සුරක්ෂිතතාවය උදෙසා පෞද්ගලික මට්ටමෙන් කළහැකිව තිබූ යුතුකම් කොටස අතපසු කිරීමයි.

විවිධ වකවානුවලදී බලයට පැමිණි රාජ්‍ය පාලනයන් විසින් දේශීයව නිපදවිය හැකි දෑ වගාකරන්නටත්, ඒවා පාරිභෝජනය හුරුකරවන්නටත්, විදේශීය අනුප්‍රාප්තික ආහාර මගහරවන්නටත්, තම ගෘහස්ථ පරිභෝජනයේ අඩුමකුඩුම යම්කිසි ප්‍රමාණයක් ගෙවත්තේම නිපදවන්නට උපදෙස් දෙන්නටත්, උත්සාහ කල තරම මහත් විශාලය.

‘ගෙවතු වගාවේ’ වර්තමාන අනුවාදය

විවිධ වකවානුවලදී බලයට පැමිණි රාජ්‍ය පාලනයන් විසින් දේශීයව නිපදවිය හැකි දෑ වගාකරන්නටත්, ඒවා පාරිභෝජනය හුරුකරවන්නටත්, විදේශීය අනුප්‍රාප්තික ආහාර මගහරවන්නටත්, තම ගෘහස්ථ පරිභෝජනයේ අඩුමකුඩුම යම්කිසි ප්‍රමාණයක් ගෙවත්තේම නිපදවන්නට උපදෙස් දෙන්නටත්, උත්සාහ කල තරම මහත් විශාලය.

එය කිසි විටෙකත් සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. විටෙක ‘වගා සංග්‍රාමය’ නමින්ද, තවත් අවස්ථාවක ‘අපි වවමු, රට නගමු’ හෝ ‘දිවිනැගුම’ වැනි යෙදුම් හරහාද ජනතාව වෙතට ගෙන ආවේ එකම පණිවිඩයකි. එම වැඩසටහන් මගින් පැවසූ දෑ කෙතරම් දුරට ජනතාව අතරට ගියාද, වැයකරන ලද ශ්‍රමයට අදාලව කුමන ප්‍රතිශතයකින් ප්‍රතිලාභ ලැබුනාද යන්න මේ මොහොතේ හාරා අවුස්සා බැලිය යුතු නැති වුවත්, ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබුණු පරිසරයක් යටතේ ‘ගෙවතු වගාවේ’ වර්තමාන අනුවාදය සමාජගත කරන්නට දැන් හැකියාව ලැබී ඇති බව නම් පැහැදිලිය.

මේ වනවිට ලක්‍ෂ ගණනක් වූ පාසැල් දරුවන් ගෙදරය. කෙලිලොලෙන් ගතවෙන සහ නෑ හිතමිත්‍රාදීන් පිරිවරාගත් සිංහල අවුරුද්දක් ඔවුනට උදාවූයේ නැත. ගුරුවරුන් සමග රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ලක්‍ෂ සංඛ්‍යාවක්ද නිවෙස් තුලය.

මේ අතරින් බහුතරයද කෘෂිකාර්මික මූලධර්ම ආශ්‍රිත තාක්ෂණිකව සවිමත් ගොවිතැනක් ගැන දන්නේ නැත. ‘ගෙවත්ත‘ යන වචනය ශබ්දනගා උච්චාරණය කෙරුවත් එහි අර්ථය නිසියාකාරව හඳුනන්නේ නැත. පර්චස් තුන හතරක ඉඩම් කට්ටියක් මිලදීගෙන ගෙවල් පොඩ්ඩක් හදා ගත්තෙකු හෝ මහල් නිවාසයකින් ඒකකයක් මිලදී ගත්තෙකු හෝ එහි පදිංචිය සඳහා එනවිටත් ‘ගෙවත්ත’ යන වචනය ඔවුන්ගේ ශබ්දාවලිය සමග ගෙට ගෙවදින්නේද නැත.

ගෙවත්තක් නොමැත්තන් බවට ස්වයං ලියාපදිංචියක් ඔවුන් විසින්ම කරගෙන ඇති පසුබිමකදී ගෙවත්තක් ප්‍රසූත කරන්නටත්, ඉදිරියේ උදාවියහැකි ආහාර හිඟයක් තරමකින් හෝ සමනය කරනු උදෙසා ගෙවත්තේ සෙවන ලබාගැනීමට සුදානම් වෙන ලෙසටත්, අප ඔවුන්ව දිරිගන්වමින් සිටින්නෙමු.  

තමාට ගෙවත්තක් නැති බව විශ්වාස කරමින් හැසුරුණු මෙම නාගරිකයින් පමණක් නොව, ඉඩකඩ ඇතිව වත්තේ පිටියේ ඇවිද ගිය ඇතැම් ගැමි ජනතාව පවා, කඩිගුලක් සේ ඇවිස්සී හතර අතේ විපරම් කරමින් එළවලු ඇට හා පැල සොයමින් යන්නට පටන්ගෙන තිබේ.

‘ගොවිතැන’ නමැති ආවේනික ගති ලක්ෂණයක පිබිදීම

රටවැසියන්ගෙන් බහුතරය අද නිවෙස් තුල, ගම තුල හෝ නගර තුල කොටුවී, නෑ හිතමිත්‍රාදීන් හා ඇසුර නැතිවී සීමිත සමාජයක හුදකලා වී සිටිති. හෙට දිනයේ බත්පත සැරසෙන්නේ මොනවායින්දැයි නොදැන අවිනිශ්චිතව සිටිති.

තමාට ගෙවත්තක් නැති බව විශ්වාස කරමින් හැසුරුණු මෙම නාගරිකයින් පමණක් නොව, ඉඩකඩ ඇතිව වත්තේ පිටියේ ඇවිද ගිය ඇතැම් ගැමි ජනතාව පවා, කඩිගුලක් සේ ඇවිස්සී හතර අතේ විපරම් කරමින් එළවලු ඇට හා පැල සොයමින් යන්නට පටන්ගෙන තිබේ. මේ පෙනෙන්නට තිබෙන්නේ දේශීය ගොවිතැන ජනගත කරන්නට ඉතිහාසය තුල කිසිදු කාල වකවානුවක නොවූ නැකතක් උදාවී ඇති බව නොවේද? සමස්ත ලාංකික ජනප්‍රජාව තුල විවිධ බාහිර බලපෑම් හා පෙළඹවීම් හමුවේ, මෙතෙක් කලක් අකර්මන්‍යව පැවති ‘ගොවිතැන’ නමැති ආවේනික ගති ලක්ෂනයක පිබිදීම නොවේද?

හරියට මේ නැකතට වැඩ ඇල්ලුවොත් ගොවිතැනෙන් ලැබෙන ආශ්වාදය අමතක කරන්නට බොහෝ දෙනෙකුට අමතක වෙනවා ඇත. වසංගතය හැමදාටම පවතින්නක් නොවේ. ඇසට නොපෙනෙනා ජීවියෙක් ජනතාව මැද්දට පැන, උඩු යටිකුරු කරනාලද සමාජ හැසිරීම් රටාවන් ඉක්මනින් මුල් පිහිටීමට පැමිණේයයි සිතන්නටද බැරිය. යම් කාලයක් අපට සීමා මායිම් වලට යටත්ව සීමිත නිදහසක් භුක්ති විඳිමින් හිත හදාගන්නට සිදුවේවි. ඒ නිසා මේ මොහොතේ ජීවිතයට ආරෝපණය කරගන්නා වූ ගතිපැවතුම් වෙනදාට වඩා ස්ථාවරව යම් කාලයක් සමාජය තුල රැඳෙනු ඇත්තේ, ස්වභාව ධර්මයා විසින්ම ඒ හා බැඳී ජීවත්වන්නට කෙරෙන බලකිරීමක් එතන තිබෙනා බැවිනි.

ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් වී, සාමාන්‍ය ජන ජීවිතය හරහා මිනිසා ටිකෙන් ටික කාර්ය බහුල වූවද, ගෙවත්තේ ඇති පැල කීපයකට සුළු සත්කාරයක් කරන්නට විනාඩි කීපයක් සොයාගන්නට මේ නිසා ඉදිරියේදී ඔහු පසුබට නොවනු ඇත. ආර්ථික ලාභ ප්‍රයෝජන පසෙකින් තැබුවත්, ඉන් ලැබෙන මානසික තෘප්තියට මිනිසා ඇලුම් කරනා බැවිනි. දේශීය ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන්නට තිබෙන ඉදිරි වැඩසටහන් පෙළක ආරම්භය වශයෙන් ‘ගෙවත්ත’ ඉදිරියට ගැනීම මේ මොහොතේ ඉතාමත් කාලෝචිත පියවරක් වන්නේ ඒ නිසාය.

තමාගේ සීමාවට ගැලපෙන ‘ගෙවත්ත’ යනු කුමක්දැයි පළමුව ඔවුන් විසින් හඳුනාගත යුතු වේ. කෘෂිකාර්මික මූලධර්ම ඉගෙනගන්නා සිසුන්ට ‘ගෙවත්ත’ යනුවෙන් හඳුන්වාදෙන දර්ශීය භෞතික සැලැස්මෙන්, නාගරිකයාගේ ප්‍රායෝගික ගෙවත්ත යම් තරමකින් වෙනස් වීම, මෙම හදිසි අවශ්‍යතාවය හමුවේ  එතරම් කලබල විය යුතු කාරණයක් නොවේ.  

ගෙවතු දශ ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන

ගෙවත්තක ආදර්ශනයක් – Sri Lankan Home Gardens and Household Food Security – G.A.S. Ginigaddara

රජය විසින් සෞභාග්‍යා නමින් හඳුන්වාදෙමින් ගෙවතු දශ ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන මෙහි නිල සම්ප්‍රාප්තිය වන අතර එය ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ, ඉඩකඩ සීමිත නාගරික හා අර්ධ නාගරික ජනතාව වෙනුවෙන්ය. ඇට හෝ පැල වශයෙන් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාවයක් වැඩිපුරම දැනෙන්නේත් එම ජන කොට්ඨාශයටයි. නුහුරු නුපුරුදු ගොවිතැනකට පිවිසෙන්නන් නිසා නිවැරදි මග පෙන්විය යුතු බහුතරය වන්නේද ඔවුන්ය.

තමාගේ සීමාවට ගැලපෙන ‘ගෙවත්ත’ යනු කුමක්දැයි පළමුව ඔවුන් විසින් හඳුනාගත යුතු වේ. කෘෂිකාර්මික මූලධර්ම ඉගෙනගන්නා සිසුන්ට ‘ගෙවත්ත’ යනුවෙන් හඳුන්වාදෙන දර්ශීය භෞතික සැලැස්මෙන්, නාගරිකයාගේ ප්‍රායෝගික ගෙවත්ත යම් තරමකින් වෙනස් වීම, මෙම හදිසි අවශ්‍යතාවය හමුවේ  එතරම් කලබල විය යුතු කාරණයක් නොවේ.  

පාඩම් පොතේ එන ගෙවත්ත පිහිටන්නේ තම වාසස්ථානයේ සිට උදේ හවා ඇවිද යා හැකි දුරකිනි. බැලූ බැල්මටම එහි ඇත්තේ මිශ්‍ර වගාවක්ය. එළවලු, පලතුරු, ඉඟුරු රම්පේ කරපිංචා වැනි කුළුබඩු, ඖෂධීය ශාක පමණක් නොව කුකුළන් වැනි සතුන්ද ගෙවත්තකට ඇතුලත්වේ. මේ වෘක්ෂලතාදී සංයුතිය නිසාම දර්ශීය ගෙවත්ත බහුස්ථරීය ව්‍යුහයක්ද වන්නේය. එනම් ඉහලින් වැටෙන සූර්යාලෝකය ගහකොළ අතරින් බෙරීගෙන ඇවිත් බිම් පලසක් සේ වැඩෙන පලාකොල වැනි දෑ මත වැටී, ඒවා පවා පෝෂණය කරයි. හිරුගේ සාරය බිඳක්වත් අපතේ යන්නේ නැති තරම්ය.

නාගරික හා අර්ධ නාගරික ප්‍රජාව මේ මොහොතේ කල යුත්තේ, පොත්වල ලියවී ඇති ආකාරයේ මෙවන් ගෙවත්තක් තමාගේ පරිසරය තුල සොයනවාට වඩා, සිත තුල නිදිගැන්වී ඇති ඔබට ගැලපෙන ගෙවත්ත අවදි කරවා ගැනීමයි. සඳළුතලයේ තැබෙන බඳුන්ගත පැල කීපයක් වුවත් මහල් නිවාසයක වෙසෙන්නෙකුගේ ගෙවත්ත බවට පත්වන්නේ මේ ආකාරයෙනි.

වැඩේ පහසුවෙන් පටන් ගන්නට ‘ගෙවත්ත’ නමැති පදයක් ඉස්සරහට දමාගෙන අප පැමිණියාට, නාගරික හා අර්ධ නාගරික ප්‍රජාව මේ මොහොතේ කල යුත්තේ, පොත්වල ලියවී ඇති ආකාරයේ මෙවන් ගෙවත්තක් තමාගේ පරිසරය තුල සොයනවාට වඩා, සිත තුල නිදිගැන්වී ඇති ඔබට ගැලපෙන ගෙවත්ත අවදි කරවා ගැනීමයි. සඳළුතලයේ තැබෙන බඳුන්ගත පැල කීපයක් වුවත් මහල් නිවාසයක වෙසෙන්නෙකුගේ ගෙවත්ත බවට පත්වන්නේ මේ ආකාරයෙනි.

ගෙවතු වගාව කළ හැකි මාධ්‍යය- Sri Lankan Home Gardens and Household Food Security – G.A.S. Ginigaddara

වගාකිරීමට බෝග තෝරා ගැනීමේදීද කරුණු කීපයක් සැලකිල්ලට ගත යුතු වන්නේය. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගතවී  ඇති බැවිනි.

වගාකිරීමට බෝග තෝරා ගැනීමේදී

වගාකිරීමට බෝග තෝරා ගැනීමේදීද කරුණු කීපයක් සැලකිල්ලට ගත යුතු වන්නේය. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගතවී  ඇති බැවිනි.

නිතර රෝගයන්ට පාත්‍රවන, පළිබෝධකයින්ට ගොදුරුවෙන සංවේදී බෝග කරා නොගොස්, පරිසරයට වඩාත් අනුවර්තනය වූ බෝග මාදිලි තෝරා ගැනීමද වැදගත්ය. රෝග හා පළිබෝධකයින් හඳුනාගන්නටත්, පාලනය උදෙසා උපදෙස් සොයන්නටත් සිදුවේනම් එය මේ අවස්ථාවට ගැලපෙන්නක් නොවේ. දේශීය බෝග මාදිලි යනු මෙම අනුවර්තනය හොඳින් පෙන්වන ඒවාය. නියං වැටකොළු, ඇත්දළ බණ්ඩක්කා, කැකිරි වර්ග, ආලංගා වැනි පාරිසරික තත්වයන්ට හොඳට හැඩගැසුණු ගමේ ගොඩේ බෝග වර්ග රාශියක් අපගේ වගාබිම් ආශ්‍රිතව තිබේ.

නගරයෙන් බැහැර ගෙවත්තක් උදෙසා මෙවැනි බෝගයන්හි බීජ හෝ පැල සොයාගැනීමේ බරපතල අපහසුතාවයක්ද නොපවතී. තුන්වෙනුව සැලකිය යුත්තේ මෙරට ඇති විෂම දේශගුණික තත්වයන්ට හැකිතාක් දුරට ගැලපෙන බෝග මාදිලි වෙතටයාමයි. ශ්‍රී ලංකාව වනාහී කෙටි දුරක් තුල ඉතා පැහැදිලිව දේශගුණය වෙනස් කලාපයන් හමුවෙන රටකි. මේ හැම තැනකම එකසේ වගාකළ හැකි පොදු බෝග නොමැති තරම්ය. එහෙත් පුළුල් පරාසයකට ගැලපෙන බෝග මෙහි විරල නැත.

තෝරාගන්නා බෝගයේ පෝෂණ අගයද තක්සේරුකර, වැයකරන ශ්‍රමයට උපරිම ප්‍රතිලාභයක් ලැබීම තහවුරු කරගැනීමට උනන්දු වන්නේනම් එයද මේ මොහොතේ වැදගත්ය. රනිල බෝගවල පෝෂණ ගුණය වැඩිය. දඹල, බුෂිටා වැනි බෝග වර්ග කෙටි කාලීන වෙනවා මෙන්ම, රෝග පලිබෝධ අවදානමද අඩුය. තම්පලා වැනි පලා වර්ග ඇතැම්විට වල් පැලෑටි ලෙස පවා වැවේ. ඉතා පසුවෙන් වැවිය හැකි පලා වර්ගයක් ලෙසට එය තෝරා ගත හැකිය.

කෙටි කාලීන බෝග කෙරෙහි මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමුකලත්, වැඩි ඉඩක් ඉල්ලා සිටින්නේත් නැති, එතරම් අවධානයක් අවශ්‍ය වන්නේත් නැති, බහු වාර්ෂිකව ගෙවත්තට ඇතුලත්විය යුතු ශාක කීපයක් ගැනද මතක් කිරීම වටී. ඒ අතරින් රම්පේ හා කරපිංචා ප්‍රධානය. මේවා වසර පුරාම සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වන ද්‍රව්‍යයන් නිසා ගෙවත්තේ තිබෙන්නේ නම් සැලසෙන ප්‍රතිලාභය ඉමහත්ය.

අලබෝග අතරින් මඤ්ඤොක්කා පඳුරු කීපයක් ගෙවත්තට ඇතුලත් වන්නේ නම්, එහි ලපටි කොළ පලා වර්ගයක් ලෙසද භාවිතා කරනවාට අමතරව මාස හයක පමණ සිට ඉදිරියට, අවශ්‍ය විටෙකදී අල ලබාගැනීමටද හැකියාවක් පවතී. දේශීයව ඇති මඤ්ඤොක්කා ප්‍රභේදයන්හි විෂ භාවය ඉතාමත් අඩු අගයක පවතින නිසාත්, තිබෙන යමක් වුවත් පිසීමේ ක්‍රියාවලියේදී ඉවත්ව යන නිසාත් අනියත බියක් ඇතිකරගත යුතු නොවේ.

විදේශික බීජ හා කෘෂි රසායන ද්‍රව්‍යයන් යොදාගෙන සිදුකෙරෙනා එවන් වගාවන්ගෙන් ලැබෙන්නේ ගමේ කෑම නම් නොවේ

වස විස නැති ආහාර

පසුගිය කාල වකවානුව තුලදී කොළ එළවලු වල අන්තර්ගත කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව විවිධාකාරයේ අදහස් ඉදිරිපත් විය. බොහෝ කොළ එළවලු වර්ග අමුවෙන්ම හෝ අඩ වශයෙන් පිස ආහාරයට එක්කර ගැනීම නිසා එවන් කතිකාවක් සමාජය තුල ගොඩනැගීමේ අසාධාරණත්වයක්ද නැත. හිරු උදාවන්නටත් පෙර, සමාජයේ ඇස ගැටෙන්නටත් පෙර වස දියරයෙන් නැහැවෙන කීර කොටුවල ඇති දෑ, තවත් දින දෙක තුනක අවෑමෙන් අමුවෙන්ම වාගේ පාරිභෝගිකයාගේ උදර ගතවීම වැලක්වීමටත්, ගෙවත්ත ඉතා ආරක්‍ෂිත මෙහෙයක් ඉටුකරයි.

බොහොමයක් පලා වර්ග නිවසේ පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය වශයෙන් බඳුන් තුල වුවද වගාකළ හැකිවේ. තම්පලා වැනි බෝග ඇතැම්විට වල්පැලෑටි ලෙස වුවත් වගා බිම් ආක්‍රමණය කිරීමෙන් පෙනෙන්නේ ඒවා කිසිදු අතිරේක අවධානයක් ඉල්ලා නොසිටින බවයි. නිවසෙහි ආහාර වේලකට අවශ්‍ය ප්‍රමාණයට සරිලන කංකුන් දඬු ප්‍රමාණය ගෙවත්තෙන් නෙලා ගන්නා විට දැනෙන්නේ පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත කොළ එළවළුවක් ලැබීමෙන් ඇතිවූ සතුට පමණක් නොවේ. රුපියල් 40 ක පමණ මුදලක් තම සංචිතයන්හි ඉතිරිකිරීමේ ආර්ථික වාසියක්ද එතැන ඇති බව තේරුම්ගත යුතුය.

ගෙවතු වගාවට යොමුවෙන අතරවාරයේම ආහාර සුරක්‍ෂිතතාවය හා සම්බන්ධ, අවධානය යොමුකළයුතු තවත් කරුණු බොහොමයක් ඇත. ගමේ කෑම යනුවෙන් පුරාජේරුවට කතා පවත්වමින් අනුභව කලද, මේවා බොහොමයක් අද දවසේ වාණිජව වගාකෙරන බෝග මාදිලි බවට පත්වූ ඒවා වේ. අපේ පැරැන්නන් අතේ කටු ඇනෙන බැවින් පොල්කොලයක් දෙකට නවා පඳුර තුලට යවා කැඩූ ‘තලන බටු’ නොහොත් ‘එලබටු’ වාණිජ වගාවන් තුල වර්තමානයේ වගා කෙරෙන්නේ නැත. අද තිබෙනා ‘එලබටු’ තලන්නට බැරි තරමටම විශාලය.

විදේශික බීජ හා කෘෂි රසායන ද්‍රව්‍යයන් යොදාගෙන සිදුකෙරෙනා එවන් වගාවන්ගෙන් ලැබෙන්නේ ගමේ කෑම නම් නොවේ. ගෙවත්තේ දිගුකාලීනව පලදරමින් පවතිනා කොච්චි පඳුර තවත් උදාහරණයකි. පොහොර, කෘෂි රසායනික කිසිවක් නොමැතිව හොඳින් වැවෙන කොච්චි වර්ග රාශියක් රට පුරා විසිරී පවතින බැවින් යෝජිත ගෙවත්තේ තැනක් එයට වෙන්කර දීමේ කිසිදු අපහසුතාවයක් නැත. ඒ නිසා ගමේ කෑම පසුපස හඹා යන අයට, තම සිතැඟි රුචිකත්වයන් පල දරවන්නට මේ මොහොතේ උදාවී ඇති ගෙවතු ප්‍රවර්ධන වැඩ සටහන යහපත් ආරම්භයක් ලබාදෙයි.

ආහාර අපතේ යැවීම වර්තමානයේදී මහා පරිමාණයෙන් සිදුවෙන නාස්තියකි. වාණිජ කාර්යාවලිය හා බැඳුනු අවිධිමත් ප්‍රවාහන ක්‍රමවේදයන් හරහා එළවලු හා පලතුරු 40% ක ප්‍රමාණයක් අපතේ යන බව පැවසේ. මේ කතා කරන්නට යන්නේ එවන්නක් නොව අපගේ ගති පුරුදු වල සිදුවිය යුතු සංශෝධනයකි.

ආහාර හා බැඳුනු තවත් ගුණාංගයක්

නිවසේ ආහාර අවශ්‍යතාවයට උරදීමක් වශයෙන් හදිසි ගෙවත්තක් සාදාගැනීමට සැලසුම් සාදන අතරවාරයේ, පැරැන්නන් සතුව තිබී නව පරපුර වෙතින් ගිලිහී ගිය ආහාර හා බැඳුනු තවත් ගුණාංගයක් ඔප මට්ටම් කරගැනීමටත් මෙය හොඳ අවස්ථාවක් බව පෙනේ.

ආහාර අපතේ යැවීම වර්තමානයේදී මහා පරිමාණයෙන් සිදුවෙන නාස්තියකි. වාණිජ කාර්යාවලිය හා බැඳුනු අවිධිමත් ප්‍රවාහන ක්‍රමවේදයන් හරහා එළවලු හා පලතුරු 40% ක ප්‍රමාණයක් අපතේ යන බව පැවසේ. මේ කතා කරන්නට යන්නේ එවන්නක් නොව අපගේ ගති පුරුදු වල සිදුවිය යුතු සංශෝධනයකි.

දැනට පරම්පරා දෙක තුනකට පෙරදී නිවෙස් වලින් පිටතට මේ තරමට ආහාර ඉවතලෑවේ නැත. ගෘහණිය අතින් සහල් ඇට කීපයක් බිමට හැලුනත්, එදා ඒ සියල්ල ඇටයක් පාසා ආපසු ඇහිඳීමට පවා ඇයට විවෙකයක් හා කැමැත්තක් තිබුණි. රටේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් විදේශයන්ගෙන් එත්දී, සහලට තිබූ එම ගෞරවය ස්වයංපෝෂිත තත්වයෙන් නිපදවන දේශීය සහල් වෙත ලැබෙන බවක් අද දවසේ දකින්නට නැත. කොස්ඇට වැනි ආහාරයට ගතහැකි ද්‍රව්‍ය පවා ගම්මුන් විසින් යම් ක්‍රමවේදයන් හරහා කල් තබාගනිමින් ආහාරය පිණිස ගත්තා මිස නිකරුනේ අපතේ යාමක් සිදුවුයේ නැත.

ගෙවත්ත ශක්තිමත් සංකල්පයකි. එය තම පරිසරයට, හැකියාවට අනුකූලව සීරුමාරු කල හැකිය. රජය විසින්ද මේ මොහොතේ දිරි ගන්වනු ලබන්නේ පවතින තත්වයට ගැලපෙන පරිදි ගෙවත්ත ගොඩනැගීමටයි.

පෙර සූදානමක් නොමැතිව, හැකි පමණින් පැල හා බීජ නිපදවන්නටත්, ඒවා බෙදාහරින්නටත් රාජ්‍ය අංශය කටයුතු යෙදුවද, තම සිත තුල නිදන්ගතව ඇති ගෙවත්ත අවදිකරවා ගැනීමේ මූලික වගකීම ඇත්තේ ජනතාව අතරය. එය නිසිලෙස සිදුවන්නේ නම් වසංගතය නිමාවූවද, ඉපදුන ගෙවත්තත්, ඒ හා බැඳී ඔපමට්ටම් වී සමාජගතවූ පැරණි ආහාර සංස්කෘතියත් යලි නින්දට නොයනු ඇත.

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.