ලෝකයේ කිසිදු වරායකින් භාර නොගත් එම්.එස්.සී මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මව් රටේ ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ක්‍රියා කරයි.
MSC Magnifica නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 2,700ක් වූහ. ජනවාරි 05 වන දින ගමන් ආරම්භ කළ නෞකාව ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා ඕස්ට්‍රේලියාවේදී සංචාරය නතර කළේය. පවතින තත්ත්වය මත නෞකාව භාරගැනීම සියලුම වරාය ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් මව් ශාඛාව පිහිටි ඉතාලිය බලා ගමන් කරමින් සිටි නෞකාව ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට කොළඹ වරායට පැමිණෙමින් තිබිණ. නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ඉතාලියට යාමට පෙර තමා ශ්‍රී ලංකා මුහුදේ දී රටට භාරගන්නා ලෙස මුහුණු පොත මඟින් ඊයේ (05) ඉල්ලීමක් කළේය. එය දුටු ජනාධිපතිතුමා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට තරුණයා මෙරටට භාරගන්නා ලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව, ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය අද (06) අලුයම කොළඹ වරායට කිලෝමීටර් 09 ක් ඈතින් මුහුදු තීරයේදී අනුර බණ්ඩාර හේරත් මහතා තම භාරයට ගත්තේය. 75 වියැති ජර්මානු ජාතික කාන්තාවක ද ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා හදිසි ප්‍රතිචාර ඒකකය සහය විය.
ගොඩබිමට රැගෙන පැමිණි අනුර බණ්ඩාර මහතා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් ජර්මානු ජාතික කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත යැවීමට පියවර ගත් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.