‘යළි ගෙවත්ත ගැන අවධානය යොමු කිරීම’ ඇගට – මනසට හා පසුමිබියටත් හොදයි

කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු

දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින කරන්නක් පමණක්ම නොව ඒ මගින් නව සමාජ හැසිරීම් හා විශ්වාසයන් පවා බිහිකරනා බව ලෝකයේ සිදුවීම් දෙස විමසිලිමත් වෙන අයට මේ වනවිට හොඳාකාරවම පෙනෙන්නට තිබේ.

කෝවිඩ්-19 වයිරසය හදිසියේම මිනිස් සමාජය ආක්‍රමණයකර ලොවපුරා වෙසෙන බහුතර ජනතාවක් නිවාස තුලට කොටුකර හමාරය. ගෝලීයකරණය ගැන උපරිම විශ්වාසය තබමින් ලාභයට හා පහසුවට ලෝකයේ තිබෙනා තැනකින් තම දෛනික අවශ්‍යතාවයන් සඳහා අවැසි දෑ ගෙන්වාගත් මිනිසා, ජාත්‍යන්තර වෙළඳාම හා ගමනාගමනයට සීමා පැනවෙත්දී කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අතරමංවී සිටී.

දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

ඝර්ම කලාපික දේශගුණයක් යටතේ ප්‍රශස්ත හිරුඑලියක් හා වර්ෂාපතනයක් සහිත පරිසරයක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට දේශීය කෘෂිකර්මාන්තයක ප්‍රබෝධය උදෙසා තම සිතිවිලි අවදි කරන්නටද මෙය හොඳ අවස්ථාවකි.

ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ

සදළුතලයේ හෝ වගා කරන්න

ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ. එසේනම් නුහුරු නුපුරුදු අයටත් ගැලපෙන ආරම්භයක් ලබාදීමට අප උත්සාහ දරමු. මේ වනවිට ලක්‍ෂ ගණනක් වූ පාසැල් දරුවන් ගෙදරය.

කෙලිලොලෙන් ගතවෙන සහ නෑ හිතමිත්‍රාදීන් පිරිවරාගත් සිංහල අවුරුද්දක් ඔවුනට උදා නොවන්නා සේ පෙනේ. ගුරුවරුන් සමග රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ලක්‍ෂ සංඛ්‍යාවක්ද නිවෙස් තුලය. මේ අතරින් බහුතරය කෘෂිකාර්මික මූලධර්ම ආශ්‍රිත ගොවිතැන දන්නේ නැත. එහෙත් ඒ සියලු දෙනාම ගොවිතැනේ නියැලෙමින් දේශීය ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටුකළ හැකි පිරිසක් වේ. එවන් මගපෙන්වීමක ආරම්භක පියවර අප මෙසේ ඉදිරිපත් කරමු.

මූලිකව සැලකිය යුතු කරුණු කීපයක්

ගොවිතැනට ආධුනික ඔබ මේ මොහොතේදී ගෙවත්තේ හෝ ඉඩකඩ සීමා සහිත සඳළුතලයක හෝ වගාකිරීමට බෝගයක් තෝරා ගන්නාකල මූලිකව සැලකිය යුතු කරුණු කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීම හදිසි අවශ්‍යතාවයක් වී ඇති බැවිනි. දෙවැනි කරුණ විය යුත්තේ පරිසරයට එතරම් සංවේදී නොවන බෝග තෝරාගැනීමට ඔබ උනන්දු වියයුතු වීමයි.

නිතර රෝගයන්ට පාත්‍රවන, පළිබෝධකයින්ට ගොදුරුවෙන සංවේදී බෝග කරා ගොස්, රෝග හා පළිබෝධකයින් හඳුනාගන්නටත්, පාලනය උදෙසා උපදෙස් සොයන්නටත් සිදුවේනම් එය, ආධුනික ඔබට මේ අවස්ථාවේ අතිරේක කරදරයක් වනු ඇත. ඒ නිසා හැකි පමණ තෝරාගත යුත්තේ, පරිසරය පහසුවෙන් ජයගන්නා බෝග වර්ගයි. එවන් දේශීය මාදිලි අප අතර සුලභව තිබේ.

නියං වැටකොළු, ඇත්දළ බණ්ඩක්කා, කැකිරි වර්ග, ආලංගා වැනි පාරිසරික තත්වයන්ට හොඳට හැඩගැසුණු ගමේ ගොඩේ බෝග වර්ග රාශියක් ඔබ අවට වටාපිටාවෙන්ම සොයාගැනීමේ අපහසුවක් නැත. තුන්වෙනුව සැලකිය යුත්තේ මෙරට ඇති විෂම දේශගුණික තත්වයන්ට හැකිතාක් දුරට ගැලපෙන බෝග මාදිලි වෙතටයාමයි.

ශ්‍රී ලංකාව වනාහී කෙටි දුරක් තුල ඉතා පැහැදිලිව දේශගුණය වෙනස් කලාපයන් හමුවෙන රටකි. මේ හැම තැනකම එකසේ වගාකළ හැකි පොදු බෝග නොමැති තරම්ය. එහෙත් පුළුල් පරාසයකට ගැලපෙන බෝග මෙහි විරල නැත. අවසාන වශයෙන් ඔබ තවදුරටත් උනන්දු නම්, තෝරාගන්නා බෝගයේ පෝෂණ අගයද තක්සේරුකර, වැයකරන ශ්‍රමයට උපරිම ප්‍රතිලාභයක් තහවුරු කරගැනීමට උත්සාහ කරන්න.

රනිල බෝගවල පෝෂණ ගුණය වැඩිය. දඹල, බුෂිටා වැනි බෝග වර්ග කෙටි කාලීන වෙනවා මෙන්ම, රෝග පලිබෝධ අවදානමද අඩුය. තම්පලා වැනි පලා වර්ග ඇතැම්විට වල් පැලෑටි ලෙස පවා වැවේ. ඉතා පසුවෙන් වැවිය හැකි පලා වර්ගයක් ලෙසට එය තෝරා ගත හැකිය.

තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත

මෙරට ගොවිතැනේ වගා කන්නයන් දෙක වන යල හා මහ අතරින් අප මේ වනවිට සිටින්නේ යල කන්නයේ අබියසයි. එය අප්‍රේල් සිට සැප්තැම්බරය පමණ දක්වා පවතී. ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශයන්ට මෙම වගා කන්නයේදී ජලය සීමාකාරී වුවත්, නිරිත දිග මෝසම් වැසි ලැබෙන නිසා තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත.

ගෙවතුවල සිටුවන බෝග ඇතැම් ඒවා බීජ වෙනම තවාන් දමා පසුව භූමියේ සිටුවන ඒවා වන අතර බටු, මිරිස්, තක්කාලි වැනි දෑ ඊට උදාහරන වේ. අනෙක් බෝග කොටසේ, බීජ හෝ දඬු කැබලි තවාන් නොදමා කෙලින්ම භූමියේ සිටුවයි. බණ්ඩක්කා, බතල දඬු, කැකිරි, වට්ටක්කා වැනි බෝග එම කොටසට නිදසුන්ය. අද දිනය වනවිට වර්ෂාව හොඳාකාරවම රට තුල ස්ථාපනය වී නොමැති නිසාත්, තවාන් පිළියෙළ කිරීම ආදී තාක්ෂණික පියවරයන් කරා නුහුරු නුපුරුදු ඔබව මේ මොහොතේ කැඳවාගෙන යා යුතු නැති නිසාත්, මා යෝජනා කරන්නේ ඉහත දැක්වූ බෝග කාණ්ඩ දෙකෙන් කුමක් වුවද කුඩා බඳුන් තුල සිටුවමින් ඔබට ආරම්භයක් ගතහැකි බවයි.

මේ හරහා ගොවිතැනට නුපුරුදු ඔබ, කෙලින්ම භූමියේ  බීජ සිටුවීමට ගොස් මුහුණදෙන අවදානමින් යම් තරමට ආරක්ෂා වනු ඇත. කුමන බෝගය වුවත් බඳුනක පැලකර, ඉන් ගලවා නැවත සිටුවීමේදී බඳුනේ පස් කුට්ටියත් සමගම සිටුවන නිසා ඔබගේ අවදානම තවදුරටත් අවම වනු ඇත. ඉවතලන යෝගට් කෝප්ප, නිවසේ ගලවා ඉවත්කරන ලද වැහි පිහිල්ලක්, වැනි කුමක් හෝ බඳුනක් මේ සඳහා යොදාගත හැකිය. එකම අවශ්‍යතාවය වන්නේ වැඩිපුර ජලය ඉවත්වීමට එහි සිදුරු තිබිය යුතු වීමත්, කොම්පෝස්ට් හා වැලි මිශ්‍ර බුරුල් පසකින් එය පුරවා ගැනීමත් පමණි.

තවාන් ක්‍රම සහ තවත් වැදගත් දේ

තවානක් සැකසීමට තරම් දැනුමක් හා ශ්‍රමය අවශ්‍ය නොවීමත්, සම්පූර්ණ තවානක පස තෙමනවා වැනි ජල සම්පාදනයක් නොකර ජලය පිරිමැසීමටත් මේ හරහා හැකි වෙනවා ඇත. හිරුඑළිය ලැබෙනා සුදුසු තැනක මෙම ‘බඳුන් තවාන’ මේ දිනවලම පිළියෙළ කරගන්නා ඔබට සිංහල අවුරුදු දින ලංවෙන විට, බෝග සිටුවීම සඳහා ගෙවත්තේ සුදුසු තැනක් පිළියෙළ කරගැනීමටත් කාලය ඉතිරිව තිබේ. හැකි පමණින් අවුරුදු චාරිත්‍රද හමාර කරන අවධිය එළඹෙත්දී ඔබගේ බඳුන් තවානේ පැල, භූමියේ සිටුවෙන මට්ටමක් දක්වා පැමිණෙමින් තිබේවි.

 ‘බඳුන් තවාන’ අවසන් කල ඔබ දැන් අවධානය යොමුකළ යුත්තේ ගෙවත්තේ කුමන ස්ථානයක් වගාව සඳහා තෝරා ගන්නේද යන්නයි. හොඳින් ජලවහනය සිදුවෙන, හිරුඑළිය ප්‍රමාණවත්ව වැටෙන ස්ථානයක් මේ සඳහා තෝරාගන්න. ඉහලින් ඇති ශාක අත්තක් දෙකක් කපා ඉවත්කර හෝ ඔබගේ වගා බිමට හොඳ සූර්යාලෝකයක් ලබාගැනීමට කටයුතු කල යුතුවේ.

ගෙවත්තේ හෝ මිදුලේ අතුගා ඉවත්  කෙරෙන කොලරොඩු ගිනිතබා විනාශ නොකොට දැන් සිටම එක් ස්ථානයකට ගොඩගසා තබන්න. එය ඉදිරියේදී ඔබගේ කොම්පෝස්ට් මිශ්‍රණය වනු ඇත. ඔබ තෝරාගත් භූමිය මීට පෙර  කිසිවක් සිටුවා නොතිබූ තැනක් නම්, පොලොව කොටා පස බුරුල් කර කැට පොඩිකර ගැනීමද අවශ්‍ය වේවි. වියලි ගොම හෝ කොම්පෝස්ට් ටිකක් මේ අවස්ථාවේදී පසට කලවම් කර ගැනීමට හැකියාව ඇත්නම් ඉතාමත් යෝග්‍යයය.

අවශ්‍යතාව හා ප්‍රමාණය ගැනත් සිතන්න

කරවිල, දඹල වැනි බෝගයක් ඔබ තෝරාගෙන ඇත්නම්, එහි වැල් යැවීම සඳහා අධාරක ලෙස භාවිතා කල හැකි, අතු බෙදුණු ශාක අතු කීපයක් ඉපල් ලෙස භාවිතා කිරීම සඳහා කපා තබන්න. බෝග සිටුවන කාලය එත්දී ඒවාහි කොළ හැලී, පදමට වේලී සුදානම්ව තිබේවි. ස්ථානයේ ඉඩකඩ ඇත්නම් කොහුලණු වැනි යමක් ඔස්සේ වුවද මේ වැල් යැවිය හැකිය. ගෙදර පරිභෝජනයට පමණක් සෑහෙන වගාවක් අරමුණු කරන්නේ නම්, ඉපල් දෙක තුනකට යැවෙන වැල් කීපයක් සෑහේ.

බීරළු රාබු පහතරට තෙත් කලාපයේ පහසුවෙන් වැවෙන කෙටි කාලීන බෝගයකි. ලෙඩ රෝගද අඩුය. මෙය නම් බඳුන්වල සිටුවා පසුව භූමියට නොගත යුතුය. පාත්තියක් සාදා පේලියට බීජ දැමීම සාමාන්‍ය ක්‍රමයයි. වැඩි පැල ඉවත්කිරීමේදී ගලවා දමන පැලද ආහාරයට ගතහැකිවීම අතිරේක වාසියකි. වෙළඳපොලෙන් ඉවතලන බතල අල වැනි දෙයක් ඔබට ලබාගත හැකිනම්, මේ අවස්ථාවේදී ඒවාද යම්තැනක සිටුවා දමන්න. ඉන් ලියලා එන දඬු, ඔබගේ ඉදිරි ගෙවතු වගාවේ රෝපණ ද්‍රව්‍යයක් වේවි.

ගොවිතැන නුහුරු නුපුරුදු ඔබ සාරවත් ගෙවත්තක හිමිකරුවෙකු වීමේ මුලික පියවර ගෙන දැන් අවසානයි. ඉහල ගුනාත්මයකින් යුත් බෝගයක් ගෙවත්තෙන්ම නිපදවීමත්, එය පවුලේ ආහාරයට එකතුකර ගැනීමත් හරහා ලබනා තෘප්තිය හමුවේ, නිවසට සිරවී හිඳිමින් වසංගතයක වේදනාකාරී පුවත් ඇසීම නැරඹීම නිසා ඇතිවෙන මානසික පසුබෑමද සැලකිය යුතු තරමින් පහව යනු ඇති බව අප විශ්වාස කරමු.

(මෙම ලිපිය සදහා උපුටා ගත් ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් තිදෙනක් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරායි. ඔවුහු මේ දිනවල සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිය. මෙහිදී සිදුවන්නේ එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති – ප්‍රධාන සංස්කාරක)

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *